Friday 4th of December 2020

English Tamil
Advertiesment


19 හා 20 ප්‍රහේළිකා තේරුම් ගැනීම


2020-09-27 2463

(වික්ටර් අයිවන්) 

 

රටේ පාලන බලය සඳහා මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් (ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) ගෙන් සමන්විත පාලක පක්ෂ රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීම ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන ප්‍රධානතම හේතුවක් ලෙස සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ පාලක පක්ෂය රජයට අයත් පොදු දේපළවල තාවකාලික භාරකරුවන් ලෙස ක්‍රියා කරති.

පොදු දේපළ රජයට ආදායම් උපයා දෙන වැදගත් මාර්ගයක් වන අතර තමන් භාරයේ තිබෙන පොදු දේපළ වර්තමාන අවශ්‍යතාවන් සඳහා පමණක් නොව, අනාගත අවශ්‍යතාවන් සඳහාද යොදාගත හැකි වන ලෙස ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාම එම භාරකරුවන් වෙත පැවරී තිබෙන ප්‍රධාන සමාජ දේශපාලන වගකීමක් ලෙස සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන සියලුම රටවල පාහේ පොදු දේපළ භාරව ක්‍රියා කරන අයට ඒවා අයථා ලෙස පරිහරණයට තිබෙන ඉඩ වළකන ක්‍රමවේද, නීතිරීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වේ.

පොදු දේපළ පරිහරණය 1978 වන තෙක් යහපත් මට්ටමක තිබුණි. ඒ සඳහා පැවති ප්‍රතිපත්ති හා නීති කාර්යක්ෂමව ක්‍රියාත්මක වන තත්ත්වයක්ද පැවතුණි.

 

නීතියේ යථාර්ථය

 

පොදු දේපළ අවභාවිතය පාර්ලිමේන්තුවට තරග කිරීම වළකන සම්බාධකයක් ලෙස ක්‍රියා කළා සේ ම පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු එසේ ක්‍රියාකිරීමද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට තිබෙන නුසුදුසුකමක් ලෙස සැලකුණි. එම නීතිමය ප්‍රතිපාදනයන් සෝල්බරි ව්‍යවස්ථාව ඇතුළත් කර තිබුනේ 13 (3) (ඈ) වගන්තිය වශයෙනි.

එම වගන්තිය මෙසේය.

“ඔහු විසින් ඍජුව හෝ අන්‍යාකාරයකින් ඔහු විසින්ම හෝ යම් තැනැත්තකු මගින් ඔහු වෙනුවෙන් හෝ ඔහුගේ පරිහරණය හෝ ප්‍රතිලාභය සඳහා දිවයින තුළ කිරීටයේ සේවාවල භාවිත කළ යුතු හෝ යොදාගත යුතු භාණ්ඩ හෝ සේවාවන්හි හෝ විදේශයන්හි ප්‍රේරණය කළ යුතු මුදල් ලැබීම හෝ සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් කිරීටය විසින් හෝ කිරීටය වෙනුවෙන් සාදනු ලැබූ යම් ගිවිසුමක් යටතේ යම් අයිතිවාසිකමක් හෝ ප්‍රතිලාභයක් දරනු ලබන්නේ නම් හෝ භුක්ති විඳිනු ලබන්නේ නම් යම් තැනැත්තකු සෙනට් සභිකයකු හෝ මෙම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයකු විසින් තෝරා පත් කරගනු ලැබීමට හෝ පත් කරගනු ලැබීමට හෝ සෙනට් සභාවේ හෝ මෙම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසුන් ගැනීම සඳහා හෝ ඡන්දය දිීම සඳහා නුසුදුස්සකු වනු ලැබිය යුතුය.”

 

ක්‍රමය දූෂ්‍ය කිරීම

 

ජනාධිපති ක්‍රමයක් ඇතිකර ගැනීමෙන් පසු ජනාධිපති ජයවර්ධනට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය සීලයක් මෙන් රැකගෙන ආ මෙම ක්‍රමය කනපිට හැරවීමට අවශ්‍ය වී එසේ කළේය. එහෙත් ඔහු ඒ සඳහා පැවති නීතිය වෙනස් කළේ නැත. ඒ වෙනුවට පොදු දේපළ විෂයෙහි නීති කඩන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම වැළකීය.

ඔහු නීතියට පටහැනිව මන්ත්‍රීවරුන්ට රජයේ වටිනා ඉඩම් අත්පත් කරගන්නට ඉඩ දුන්නේය. ඒ මගින් ඔවුන්ට ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පෙන්වා අවශ්‍ය පුළුවන්කම ලබා දුන්නේය. ඊට අතිරේකව ඒ සමග මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කරන්නටද ඉඩ දුන්නේය. ඒ නිසා මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කරන කොන්ත්‍රාත්කරුවන් බවටත් තවත් සමහරෙක් රජයේ බලපත්‍රලාභී ව්‍යාපාරිකයන් බවට පත්වූහ.

ජනාධිපති ජයවර්ධන තමන් භාරයේ තිබූ සමහර පොදු දේපළ තමන් වෙත හිමිකර ගත්තේය. තම පවුලේ සාමාජිකයන් වෙත හා ගජ මිතුරෝ වෙත හිමිකර දුන්නේය. එසේ කිරීම රටේ තිබුණ නීතියට පටහැනි වුවත් ජනාධිපතිවරයාට ලැබී තිබුණු මුක්තියේ රැකවරණය නිසා නීතිය පිළිබඳ බියක් ඇති කර ගැනීමට හේතුවක් නොතිබුණි.

ජනාධිපති ජයවර්ධන අලුත් ව්‍යවස්ථාවක් හදා තිබුණද 13 (5) (ඈ) වගන්තියේ එන කාරණා ආධාරකය කිරීමට හේතුවන ලෙස නව නීති සකස් කර නොතිබීම නිසාත්, ඒ සඳහා නව නීති හදනතුරු 1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ, රාජ සභා ආඥාව බලපාන බව 1978 ව්‍යවස්ථාවේ සඳහන් වී තිබීම නිසා එම විෂය සඳහා සෝල්බරි ව්‍යවස්ථාව බලපෑවේය.

රටේ තිබුණ නීතියට හා පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට පටහැනිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීමට ඉඩදෙන සම්ප්‍රදායක් ජනාධිපති ජයවර්ධන හඳුන්වා දී තිබුණද එය නීතියට පටහැනි වූ නිසා ප්‍රශ්න ඇතිවූ අවස්ථාද තිබුණි. 1977 මැතිවරණයේදී එජාපයෙන් ගාලු ආසනයට තරග කොට තේරී පත්වූ ඇල්බට් සිල්වාට රජයෙන් ලබාගත් භූමිතෙල් බලපත්‍රයක් තිබුණේය කියන පදනම මත අධිකරණය විසින් ඔහුගේ අසුන අහිමි කිරීම ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයකි.

මෙම අධිකරණ තීන්දුව මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජනාධිපති ජයවර්ධන හඳුන්වාදී පවත්වාගෙන ගිය ප්‍රතිපත්තියට පටහැනි වීම නිසා ඔහු කළේ ඡන්ද පෙත්සම් තීන්දුව ප්‍රකාශ කිරීමෙන් ටික කලකට පසුව කඹුරුපිටිය ආසනයේ මන්ත්‍රීවරයා එම අසුනෙන් ඉල්ලා අස්වීමට කැමති කරවාගෙන ඒ නිසා ඇතිවූ පුරප්පාඩුවට ඇල්බට් සිල්වාව චිට් මන්ත්‍රීවරයකු වශයෙන් පත් කිරීමය. එම අධිකරණ තීන්දුවෙන් පසුව හෝ තමන් හඳුන්වා දෙන ලද දූෂිත ක්‍රමය ආපසු හැරවීමේ අභිප්‍රායක් ජනාධිපතිවරයා තුළ නොවූ බව ඉන් පෙනේ.

 

19 හා 20 නියම ඇත්ත

 

ජනාධිපති ජයවර්ධනගෙන් පසුව බිහිවන ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරුන්ද ජේ.ආර්. ජයවර්ධන ඇති කරන ලද දූෂිත ක්‍රමයට නව අංශ එකතු කරමින් එම ක්‍රමය පවත්වාගෙන ගියේය. එම ක්‍රමය ක්‍රමයේ මුදුනත පමණක් නොව, සමස්ත ක්‍රමය කුණු කිරීමට හේතුවී තිබුණි. එහෙත් එම දූෂිත ක්‍රමය ආරක්ෂා කරගැනීමෙහිලා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකින් යුතුව ක්‍රියාකළේ යැයි කිව හැකිය.

ක්‍රමයට ජනාධිපති ජයවර්ධන විසින් එකතු කර තිබුණු එම දූෂිත අංගය සමස්ත ක්‍රමය දූෂිත කිරීමට බලපා තිබුණු ප්‍රධාන නව සාධකය ලෙස සැලකිය හැකි වුවද ක්‍රමයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අය එම දූෂිත අංගය ඉවත් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියේ නැත. එම අංගය ඉවත් කිරීමෙන් පමණක් භාණ්ඩාගාරයට ඉතිරි කරගත හැකි ධනස්කන්ධයේ ප්‍රමාණය අතිවිශාල විය. 19 නිර්මාතෘවරුන් ඒ වෙනුවෙන් පෙනී නොසිටියා සේ ම දැන් 20 නිර්මාතෘවරුන්ද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.

19 ඇඳගෙන සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළිය. පෙනුම මටසිලුටුය. 20 ඇඳගෙන සිටින්නේ ඒකාධිපති සළුපිළිය. පෙනුමද ගොරහැඬිය. මේ වෙනස්කම් තිබියදී දෙදෙනාම සැලකිය හැක්කේ පික්පොකට්කාරයන් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි හැඳගත් පික්පොකට්කාරයා එසේ කරන්නේ පසුම්බියේ හිමිකරුවා දපනේ දාගෙන ඔහුට නොපෙනෙන හා නොදැනෙන ලෙසය. එහෙත් ඒකාධිපති සළු පිළි හැඳගත් පික්පොකට්කරුවන්ගේ හැසිරීම ඊට වෙනස්ය. ඔහු පසුම්බිය හිමිකරුවාගේ පපුවට උල් පිහියක් තබා බලහත්කාරයෙන්ම ඔහුට පෙනෙන ලෙසම පසුම්බිය පැහැර ගනී. දැන් ලංකාවට කිසියම් කාලයක් ජීවත්වීමට සිදුවී තිබෙන්නේ එම පික්පොකට්කාරයා සමගය.

 

Advertiesment