Friday 23rd of October 2020

English Tamil
Advertiesment


අගමැති වෙන්න බැසිල්ට බාධාවක් නැහැ-20 ට සංශෝධන නැහැ


2020-09-17 3859

20 එලෙසින්ම මැති සබයට-ජනපති දැඩි තීරණයක

 

ද්විත්ව පුරවැසිභාවය අදාළම නැහැ 

 

විමල්-උදය සටන හකුළා ගනී 

 

ජාතිකවාදීන් අනාථයි 

 

20 වගකීම ජනපති භාර ගනී 

 

 
(සුජිත් මංගල ද සිල්වා)   

 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු සංශෝධනයකින් තොරව එලෙසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ජනතාව තමාට විශාල ජන වරමක් ලබා දුන්නේ රටට වැඩ කර රට සංවර්ධනය කරමින් ජනතාව සවි බල ගැන්වීම සඳහා යි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී බදාදා (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ඊට බාධාවක් වී තිබෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ අහෝසි කරන බව ද අවධාරණය කර ඇත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා යම් යම් සංශෝධන අවශ්‍ය නම් එම සංශෝධන පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත හැකි බව පෙන්වා දී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙසේ නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාල සීමාව වගේම ජනාධිපතිවරයාට ධූරය දැරිය හැකි වාර ගණන සංශෝධනය නොකරන බව ද සඳහන් කර තිබේ.

ඒ අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට, රටේ අගමැති හෝ ජනාධිපති ධූරය දැරීමට ඉඩ නොතැබිය යුතු බව කියමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් ප්‍රධාන ජාතික වාදීන්, බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කර ගෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් ප්‍රතිපාදනවලට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරය මුළුමනින්ම පරාජයට පත්ව ඇත.

ඊට හොඳම උදාහරණය වන්නේ, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අධ්‍යයනය කිරීම සඳහා මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කළ කමිටුව, ඒ සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලයට බදාදා (16) ඉදිරිපත් නොකිරීමය.

මේ අනුව ශ්‍රී ලංකා-ඇමරිකා ද්විත්ව පුරවැසියන් වන බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට, රටේ අගමැති හෝ ජනාධිපති ධූරය දැරීමට කිසිදු බාධාවක් නොවන නමුත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටින්නේ සමහර විට ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වීමට පමණක් නොහැකි වන ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙනු ඇති බවය. 

මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කර්තෘ අඥාත බව කියමින් විපක්ෂ ඊට එරෙහිව රට පුරා ගෙන යන ව්‍යාපාරයට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ දී එම ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණ වගකීම භාර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී ප්‍රකාශයක් ද කරනු ඇත. 

Advertiesment