Tuesday 20th of October 2020

English Tamil
Advertiesment


ඒකාධිපති බල අරමුණුවලට ජන වරම පළි නැහැ


2020-09-15 5773

සිය වාසිය වෙනුවෙන් ජන වරමට අර්ථ නිරූපණ දෙනු බැහැ 

 

20 ට එරෙහිව ජනතා අයිතීන් වෙනුවෙන් සටන් කරනවා 

 

20 ගැන විශ්ව විද්‍යාල ප්‍රජාවේ මතය මෙන්න 

 

 

(සුජිත් මංගල ද සිල්වා)  

 

සිය ඒකාධිපති දේශපාලන බල අරමුණු සහ බල පිපාසය වෙනුවෙන් ජනතාවගේ ජන වරම සිය අභිමතය පරිදි අර්ථ නිරූපණය කර ගැනීමට දේශපාලන නායකයින්ට ඉඩ නොදිය යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාන සහ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජිත එම ඒකාධිපති දේශපාලන බල ව්‍යූහයට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව රටේ සිවිල් ව්‍යාපාර සමග එකට එක්ව ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ යැයි ද ඔහු කියා සිටියේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාන සහ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මේ බව පැවැසුවේ, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මගින් කොළඹ දී අඟහරුවාදා (15) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය. 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු 1978 ව්‍යවස්ථාව මගින් නිර්මාණය කෙරුණු විධායක ජනාධිපති ධූරයට අදාළ බලතලවලට පවා ඔබ්බට ගොසින් සකලවිධ බලතල එකම සහ තනි  පුදගලයෙකු වටා සංකේන්ද්‍ර ගත කර ගැනීමට දරන ඒකාධිපති උත්සහයක් බව කිව යුතු අතර එමගින් රටට හෝ ජනතාවට සිදු වන සෙතක් ඇත්තේ නැහැ. 

කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ජන වරමක් ලැබී ඇති නිසා එහි කිසිදු වරදක් නොමැති බවට ද ඇතැම් පිරිස් තර්ක කරන්නේ දේශපාලනය, ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස්සුන්ගේ මූලික අයිතීන්වලට අදාළ කරුණු කාරණා පිළිබඳ නිසි අවබෝධයකින් තොරව බව කිව යුතුයි. 

සිය ඒකාධිපති දේශපාලන බල අරමුණු සහ බල පිපාසය වෙනුවෙන් ජනතාවගේ ජන වරම සිය අභිමතය පරිදි අර්ථ නිරූපණය කර ගැනීමට දේශපාලන නායකයින්ට ඉඩ නොදිය යුතු අතර විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප ඊට එරෙහිව මේ රටේ සිවිල් ව්‍යාපාර සමග එකට එක්ව ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, නීතියේ ආධිපත්‍ය, නිදහස, යහ පාලන මූලධර්ම සහ මානව අයිතිවාසිකම් හකුළුවා රටක් ඉදිරියට ගෙන යා නොහැකි අතර බලය අයුතු ලෙස යොදා ගනිමින් ජනතාව මර්දනය කිරීමට කිසිදු බලවේගයකට ඉඩ තැබීමට ද අපට හැකියාවක් ඇත්තේ නැහැ.

එමනිසා මෙසේ ගිනි පෙළෙල්ල ලිපේ දැම්මා වගේ කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධන සිදු නොකර සියලු පාර්ශවයන් සමග දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ජනතාවගේ ද අදහස් සහ යෝජනා ගෙන ජනතාව මූලික කර ගත් ජනතාවාදී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා ප්‍රධාන රජයෙන් අප ඉල්ලා සිටිනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යළි කරුණු සලකා බැලිය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයේම කණ්ඩායම් ඍජුව කියා සිටීම ගැන අප සතුටු වන අතර එමගින් ද පැහැදිළි වන්නේ එක පුද්ගලයෙකු වටා අසීමිත ඒකාධිපති බලයක් සංකේන්ද්‍රණය වීම එකම කඳවුරේ එකට සිටින බලවේග වුණත් අනුමත නොකරන බවයි.     

Advertiesment