Friday 4th of December 2020

English Tamil
Advertiesment


G.R ඉල්ලන විධායකය ගැන J.R ගේ ස්ථාවරය මෙන්න


2020-09-15 2912

78 ව්‍යවස්ථාව ඒකාධිපති ද..?

 

විධායක ජනපතිකම ඉතිහාස සන්දර්භයේ තබා විග්‍රහ කරමු

 

ධුර කාලය දීර්ඝ කර ගත්තේ ජේ.ආර්. විතරද..? 

 

නිදහසින් පසු සිය ධුර කාලය සම්පුර්ණ කළ රාජ්‍ය නායකයින් කවුද..?

 

ජේ.ආර්.ගේ විධායක ජනාධිපති යෝජනාව ස්ථිර කළේ කවුද..?

 

විධායක බලයක් අවශ්‍ය ඇයි..? 

 
( ආචාර්ය සන්තුෂ්‍යා ප්‍රනාන්දු)

 

මේ දිර්ඝ ලිපිය විවේක බුද්ධියෙන් සහ ප්‍රකෝපවීමෙන් තොරව පාඨකයින් කොපමණ පිරිසක් කියා වනු ඇද්දැයි නොදන්නා නමුත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් වීමත් සමග ඒ පිළිබඳව සමාජ මාධ්‍ය සහ ජන මාධ්‍යවල විවිධ මත රාශියක් කුණාටු සේ පැතිර යයි. 

ඒ ඇතැම් මත කරුණු මත පිහිටා ඇති අතර අනෙකුත් මත හුදු ප්‍රාථමික මට්ටමේ හිතළු සහ පෞද්ගලික මතවාද වෙයි. මේ අනුව මේ වන විට අපි ඉතිහාසයේ සන්ධිස්ථානයකට පැමිණ සිටිමු. අප මේ පැමිණ සිටින තැන අප කියවා ගත යුත්තේ විධායක ජනාධිපති ධුරය පළමුවෙන්ම ඉතිහාසයේ සන්ධර්භය මත පිහිටුවාය.

මේ දිනවල මම දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ලියු "MEN AND MEMORIES" නමැති පොත කියවමින් සිටිමි. ඒ ඉතා වැදගත් පොතක් වන්නේ එම පොත ජේ ආර් විසින් ඇත්තටම ලියු පොතක් වීමය. අවතාර කර්තෘන් විසින් එම පොත ලියා නැත. "ඔබ සංකීර්ණ සංකල්පයක් පරතෙරට හදාරා ඇත් නම් ඔබට එම සංකල්පය කුඩා දරුවකුට වුවද තේරෙන පරිදි කියා දිය හැකි විය යුතුය" යනුවෙන් මහා ප්‍රාඥ ඇල්බට් අයින්ස්ටයින් පැවසුවේය. 

ජේ .ආර්. ගේ මේ පොත කිය වන විට ඔහුගේ තීක්ෂණ විචක්ෂණ බුද්ධිය කෙතරම් දැයි වැටහේ. අටේ පන්තියට යන තෙක් පමණක් ඉංග්‍රීසි උගත් අයෙකුට වුවද ඔහුගේ මේ පොත කියවා තේරුම් ගත හැකිය. මෙම පොත පුරාවටම ඔහු, ඔහු විසින් අදහන යමක් වේද එම අදහස සිය පපුවට ගසා ගන්නේ නැතිව, කිසිදු වර්ණනාවකින් තොරව, කිසිදු ක්‍රෝධයක් නොපෙන්වා, සූක්ශ්ම සහ පරිනත මිනිසකු ලෙස ලියයි. 

මා දන්නා සියලු දේශපාලකයන් අතරින් පස් දෙනකු පමණ හැරුණු කොට අන් අය පොතක් ඉවර වන තුරු කියවන්නට තරම්වත් බුද්ධියක් හෝ විනයක් නැත්තෝ වෙති. ඊට ප්‍රධාන හේතුව ඔවුන් උගතුන් වීම හෝ නුගතුන් වීම නොවේ. ඊට හේතුව ඔවුන් මමත්වයෙන් මත් වුවන් වීමයි. මමත්වය සහ අගතිගාමී සිතුවිලි (Bias ) පසෙක තබා මෙම පොත කිය වුව හොත් ඔබට අප සිටින මේ මොහොත වඩා හොඳින් සහ ඥානාන්විතව තේරුම් ගත හැකි වනු ඇත.

එසේ නම් විධායක ජනාධිපති ධුරයේ නිර්මාතෘවරයාගේ වචනවලින්ම ඒ පිළිබඳ ඔහුගේ අදහස කියවන්න. ඔබ ජේ.ආර්.ගැන බොහෝ දේ අසා ඇතිවාට සැක නැත. ඔබ පුරුද්දට විවෘත්ත ආර්ථිකයට ගරහන්නෙකු විය හැක. පුරුද්දට ජේ.ආර්. ජයවර්ධනට "කපටි හිවලා " (wise old fox ) කියන්නෙකු විය හැක. ඔහු මැකියාවේලිගේ අවතාරයක් යයි සිතා නින්දා කරන්නෙකු විය හැක. ඒ සියල්ල කළාට කම් නැත. එසේ කිරීමට පෙර පොත් කියවන්නෙකු වන්න. අනෙකෙකුගේ දෘෂ්ටි කෝණය සහ දෘෂ්ටිවාදයේ සාවධානිත සවන් දෙන්නෙකු වන්න.

පහත මා විසින් පරිවර්තනය කර ඇත්තේ ඉහත කී "MEN AND MEMORIES " පොතේ 90-98 දක්වා පිටු 8කි. එහි දැක්වෙන්නේ මගේ අදහසක් නොව විධායක ජනාධිපති ධුරය ගැන ජේ.ආර්. ගේ අදහසයි. ඔහුගේ විත්තියයි. ඔහුගේ එම අදහස සාවධානව කියවන්න. එම කොටස කියවීමෙන් ඔබගේ දෘෂ්ටිවාදය වෙනස් නොවුණ ද ඔබගේ දැනුමේ පරිමාව වෙනස් වනු ඇත.

ඔබට මේ ලිපිය කියවීමෙන් ඉතිහාසයේ සාන්තුවරුන් හෝ අපරාධකරුවන් නොව කුණාටුවක් මධ්‍යයේ නැවියන්, දුර්වලයන්, අස්ථිර ජයග්‍රාහකයන් ආදීන් පමණක් ඇති බව සිතෙනු ඇත. ධුර කාලය දීර්ඝ කර ගත්තේ ජේ.ආර්. විතරද..? නිදහසින් පසු රාජ්‍ය නායකයින් කී දෙනෙකු සිය ධුර කාලය සම්පුර්ණ කළාද..? ජේ.ආර්. ගේ විධායක ජනාධිපති යෝජනාව ස්ථිර කළේ කවුද..? 1978 ව්‍යවස්ථාව ඇත්තෙන්ම ඒකාධිපතිත්වයට ආරුඪ වුවක්ද..? මේ ප්‍රශ්නවලට ඔබ නොසිතන පිළිතුරු සමහරක් මේ පරිවර්තනයේ ඇත.

ජේ.ආර්. ගේ අදහස්වලට මම සම්පුර්ණයෙන් එකඟ නොවෙමි. නමුත් එකඟ නොවුණ ද , එකඟ නොවිමට ඔහු හා එකඟ වෙමි. ඉතිහාසය දෙස නැවත බලන්න. එදෙස බලද්දී ඒ දෙස සමාජ මාධ්‍ය ආනතියෙන් පමණක් නොව ඉතිහාසය සැදුවන්ගේ ඇසින් ද බලන්න.වටහා ගන්න. ලෝකය නිහඬව වටහා ගැනීම තරම් වෙනත් ජයග්‍රහණයක් අධ්‍යාත්මයට වෙත්ද..? අගතිගාමීත්වය නම් අනෙකෙකු තමාට යමක් පවසන්නෙ මක්නිසාද යන්න පිළිබද පූර්ව නිගමනයන්ට එළැඹ සිටිමයි. අගතිගාමිත්වය තරම් නිර්මල මනස දූෂණය කරන අන් සතුරකු නැත. ඒ සතුරා පරාජය කිර්‍රිමට උත්සාහ කිරීම ම කෙතරම් රම්‍ය ද..?

"MEN AND MEMORIES " 

පිටු අංක 90-98

විධායක ජනාධිපති ධූරය-ජේ.ආර්. ජයවර්ධන

"මැතිවරණයකින් පත් කර ගත් විධායක ජනාධිපති ධූරය ශ්‍රී ලංකාවේ සම්මත කර ගන්නා ලද්දේ 1978දිය. එම ව්‍යවස්ථාව මාගේ ස්වීය අදහසක් වූ අතර ඒ පිළිබඳ ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ මත ගැටුම් ඇත. 1991 වසරේ මා විසින් පැවැත්වූ පහත සඳහන් දේශනයේදී මා විසින් ව්‍යවස්ථාව විග්‍රහ කර ඇත.
මම 1956-1970 දක්වා පැවති ඩඩ්ලි සේනානායක රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දිය යුතු බවට යෝජනා කළෙමි. ඒ 1966 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා ශිෂ්‍ය සංගමයේදී පැවැත්වූ දේශනයකදීය. මා එහිදී ප්‍රකාශ කළ කරුණු සමහරක් මෙහි ලා ඉදිරිපත් කරමි.

"සමහර රටවල්වල විධායකය ජනතාව විසින් සෘජුවම තෝරා පත් කර ගනු ලැබේ. එම ධුර කාලය පුරාවට විධායකය ව්‍යවස්ථාදායකය මත රඳා නොපවතී. ප්‍රංශ ව්‍යවස්ථාව, බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ක්‍රම දෙකෙහි සංයෝජනයකි. එවැනි රටක විධායකය බල සම්පන්න එකක් වන අතර විධායකයේ ධුර කාලය පුරාවට පත් කර ගත් ව්‍යවස්ථාදායකයේ හිතු මනාපයෙහි ගොදුරක් නොවී බලයෙහි අසුන මත හිඳ සිටියි. එම විධායකය අප්‍රසන්නතීරණ ගැනීමට බිය නොවෙයි. පාර්ලිමේන්තුවේ දෝෂ දර්ශනයට බිය නොවෙයි. මා සිතන ආකාරයට එම ක්‍රමය දියුණු වෙමින් පවතින රටක බැරෑරුම් ප්‍රශ්න විසඳීමට අතිශයින් අත්‍යවශ්‍ය වෙයි.."

දෙවන වරට මා විසින් මේ පිළිබඳව කතා කළේ, විපක්ෂයේ සිටියදීය. සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ රජය එවකට 1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දිමට සැරසෙමින් සිටියා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මා ප්‍රකාශ කර සිටියේ සභාවට විධායක ජනාධිපති ධුරය යෝජනා කරමින් ඊට අපගේ සහයෝගය පළ කළ යුතු බවයි. නමුත් පක්ෂය ඊට එකඟ වූයේ නැහැ. නමුත් අපගේ යෝජනාවට සහය නොදැක්වූ ඩඩ්ලි සේනානායක පවා එහිදී පැවසුවේ ලොව ලොකුම බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය එම තත්ත්වයට පැමිණියේ විධායක ජනාධිපති ක්‍රමය ඔස්සේ බවයි.

1947 පැවැති මහා මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතරයක් ලබා ගැනීමට නොහැකි වුණා. ඩී. එස් සේනානායක යටතේ වූ එක්සත් ජාතික පක්ෂයට වැඩිම ආසන ගණනක් හිමි වුණා. ඒ අනුව රජයක් පිහිටු වන ලෙසට ආණ්ඩුකාරවරයා විසින් ඔහුට ආරාධනා කළ අතර ඩී. එස් සේනානායක එම ආරාධනාව පිළි ගත්තා. 

ඔහු පාර්ලිමේන්තුවේ සිටී ස්වාධින මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකුගේ සහයෝගයෙන් රජය පිහිටුවා ගත් අතර එම මන්ත්‍රීවරුන් විසි එක් දෙනා 1971 ජුලි මස පැවති ව්‍යවස්ථා සම්පාදක සභාවේ රැස්වීමකදී වෙස්මිනිස්ටර් ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය යෝජනා කිරීමට පියවර ගත්තා. මා සමගම විපක්ෂයේ සිටි ආර්. ප්‍රේමදාස එම යෝජනාව ස්ථිර කළා. අපට එහිදී ද අපගේ යෝජනාවට සහයෝගයක් නොලැබුණු අතර එම යෝජනාව පරාජය වුණා. වෙස්මිනිස්ටර් ක්‍රමය ඉවතලා ජනාධිපති ක්‍රමය තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වූයේ, වෙස්මිනිස්ටර් ක්‍රමය හේතුවෙන් රජය අස්ථාවර වීමට තිබුණු හැකියාව නිසයි.

අපි 1948 සිට අපේ රට ගැන කල්පනා කර බලමු. එම මන්ත්‍රීවරුන් විසි එක් දෙනාට ඕනෑම අවස්ථාවක රජයේ යෝජනාවක් පරදවා රජය පැරදවිය හැකි වුණා. ඔවුන්ගේ සහයෝගය රජයට ලබා ගත්තේ ඔවුන්ට විවිධ බලපෑම් කිරීමෙන් සහ ජාතියේ පියා ලෙසත්, බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම කෙරෙහි ඩී. එස්.සේනානායකට තිබූ පෞරුෂයත් හේතු කොට ගෙනයි.

1952 දී ඩී .එස්. සේනානායක අභාවප්‍රාප්ත වීමෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මසක් ඇතුළත මහ මැතිවරණයක් කඳවූ අතර එම මැතිවරණයෙන් ඔහුට බහුතර බලයක් හිමි වුණා. නමුත් රජය පිහිටවූ පක්ෂය අභ්‍යන්තරයේ මහත් අර්බුදයක් තිබුණා. කල්ලි ගැසුණු කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඩඩ්ලි සේනානායකට රජය පවත්වා ගෙන යාම අසීරු කාර්යයක් බවට පත් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩඩ්ලි සේනානායක 1953 දී සිය ධුරයෙන් ඉල්ලා අස් වුණු අතර ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. 

ඔහුට එරෙහිව ද පක්ෂය අභ්‍යන්තරයේ අර්බුද ගොඩනැගුණු අතර එනිසාම ඔහු පාර්ලිමේන්තුවේ කාලය ඉක්ම යාමට මාස පහළොවක් පමණක් තිබියදී 1956යේ පෙබරවාරි මස නැවත මහා මැතිවරණයක් කැඳවූවා. 1956 මැතිවරණයෙන් එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක රජයක් පිහිටු වූයේ වෙනත් පක්ෂවල ද සහයෝගය ඇතිවයි. 

ඔහුගේ සභාග රජයේ පාර්ශවකරුවන් ද රජය අභ්‍යන්තරයේ ඇති කළ ප්‍රශ්න නිසා ඔහුට ද රජය පවත්වා ගෙන යාමට අපහසු වුණා. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් හෝ එම ගැටලු විසඳුනේ නැහැ. 1959 දී සිදු වුණු ඔහුගේ මරණයෙන් අර්බුදය තවත් උග්‍ර වුණා. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඩබ්ලියු දහනායක පාර්ලිමේන්තුව විසිරුවා වසර තුන හමාරකින් පැවති පාලනය අවසන් කළා. 

ඩබ්ලියු දහනායක විසින් සිදු කළ පාර්ලිමේන්තු විසිරුවිමෙන් සිදු වූයේ බහුතරයක් නොමැති පාර්ලිමේන්තුවක් 1960 අප්‍රේල් මාසයේදී නිර්මාණය වීමයි. (Hung Parliament) එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායකට පාර්ලිමෙන්තුවේ වැඩි ආසන ගනණක් හිමි වුව ද පාර්ලිමෙන්තු බහුතරය හිමි වූයේ නැහැ. සිය රාජාසන කතාව පාර්ලිමෙන්තුවේ පරාජයට ලක්වීමෙන් පසුව ඔහු පාර්ලිමෙන්තුව විසිරුවා හැරියා.

සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ පක්ෂයට වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් 1960 ජුනි මහ මැතිවරණයෙන් හිමි වුණා. දීර්ඝ පාලිර්මේන්තු කල් තැබීමකින් පසුව 1960 දෙසැම්බර් මස ඇයගේ රජය පරාජයට පත් වුණු අතර ඇයගේ ධුර කාලය 1965 අවසන් වීමට පෙර ඇය පාර්ලිමේන්තුව විසිරුවා හැරියා.
1965 මහ මැතිවරණය ඩඩ්ලි සේනානයකව පාර්ලිමේන්තුවට ගෙන ආවේ බහුතරයක් සමගයි. ඔහුට එවර 1965-1970 දක්වා ඔහුගේ මුළු ධුර කාලයම සේවය කිරීමට හැකි වුවා. නිදහසින් පසුව රජයක් සිය සමපූර් ණ රාජ්‍ය සමය වන වසර පහ සේවය කළ පළමු වතාව ඒ අවස්ථාවයි. 

1970 මහ මැතිවරණය සිරිමා බණ්ඩාරනායක මහත්මිය ජයග්‍රහණය කළ අතර ඇය නැවත ද පිහිටු වූයේ සභාග රජයක්. ඇය ඇයගේ පස් වසරක ධුර කාලය තවත් වසර දෙකකින් දිගු කර ගත්තේ සියලුම සභාග සගයන්ගේ උදව්වෙන්. නමුත් ඉන් පසුව සභාග රජයේ සමහර සාමාජිකයන් නික්ම යාම සමග ඇය නැවත 1977 දී පාර්ලිමේන්තුව විසිරුවා හැරියා.

1977 ජුලි මස පැවැති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියේ 5/6 ක බහුතර බලයක් අත්කර ගනිමින්. කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ අවසරය ඇතිව අප විසින් 1978 ව්‍යවස්ථා පනතට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නා. එම ව්‍යවස්ථා කෙටුම්පත් සියලුම පක්ෂවල නියෝජනයෙන් සැදුණු පාර්ලිමේන්තු කමිටුව විසින් විවෘත පාර්ලිමේන්තුවේදී සලකා බැලීමෙන් පසුව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයෙන් සම්මත කර ගනු ලැබුවා.

අප විසින් 1947 සිට 1972 දක්වා අනුගමනය කළ වෙස්මිනිස්ටර් ක්‍රමයෙන් සහ 1972 සිට 1977 දක්වා අනුගමනය කළ ජනරජ ක්‍රමයෙන් විධායක බලය හිමි වූයේ පාර්ලිමේන්තුවටයි. එම විධායක බලය ක්‍රියාත්මක වූයේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හරහායි. අගමැතිවරයා තෝරා ගනු ලැබුවේ පාර්ලිමේන්තු බහුතරය විසින් වන නිසා ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි බලය පැතිරවිය හැකි වූවා. 

බ්‍රිතාන්‍යයේ අගමැතිට එම සහයෝගය අහිමි වුව හොත් කිරීටය විසින් ඔහුට ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීමක් කරනු ලබන අතර වෙනත් පුදගලයකු අගමැති ධුරයට යෝජනා කරන ලෙස ද දැනුම් දෙනවා.එසේ නොමැති නම් පාර්ලිමේන්තුව විසිරවීමට ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍ය යටත් විජිතව පැවැති රටවල් විසින් ද  අඩු වැඩි වශයෙන් අනුගමනය කරනු ලැබුවේ මෙම ක්‍රමයයි. අප 1972 වසරේ ජන රජයක් වුව ද අප අනුගමනය කළේ ද එම ක්‍රමයයි. 

විධායක ජනාධිපති ක්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ අනුගමනය කළ අතර "චාල්ස් ඩී ගෝල්" යටතේ ප්‍රංශයේ ද අනුගමනය කළා. බ්‍රිතාන්‍යයන් පරාජය කළ පසුව ඇමරිකානු ව්‍යවස්ථාවේ ආදී කර්තෘන් මුළු රටටම එක විධායක ජනාධිපතිවරයකු සිටින ක්‍රමයක් නිර්මාණය කළා. තව ද ඔවුන් නියෝජිත සභාවක් සහ සෙනෙට් සභාවක් සහිත ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කළා.ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් හැරුණු කොට ඕනෑම ඇමරිකානු පුරවැසියකුව ඇමරිකානු කැබිනට් මණ්ඩලයට තෝරා ගැනිමට ජනාධිපතිවරයාට හැකියි.

විධායක ජනාධිපතිවරයාගේ විධායක බලය පරික්ෂාවට සහ තුලනයට ලක් කරන්නේ ජනාධිපතිවරයා සමග මුහුණට මුහුණලා සිට ගත යුතු ස්වාධින අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ ස්වාධින ජනමාධ්‍ය යන ආයතනයි. ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ මේ සියල්ලෙහි ක්‍රියාකාරිත්වය මතයි. ප්‍රංශයේ චාල්ස් ඩී ගෝල් එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළේ ද අඩු වැඩි වශයෙන් එලෙසයි. උදාහරණයක් ලෙස ප්‍රංශයේ මන්ත්‍රීවරයකු කැබිනට් මණ්ඩලයට තේරී පත් වුයේ නම් ඔහු සිය පාර්ලිමේන්තු අසුනින් ඉල්ලා අස් විය යුතු වුවා.

ව්‍යවස්ථාවන් සමාජයෙහි වෙනස් වීම් ඇති කරමින් දිගටම පැවතුණා. ඇතැම් රටවල් ව්‍යවස්ථාවන් ලියූ අතර තවත් රටවල් පාලනය වූයේ සම්ප්‍රදායන්ගෙන්. තවත් රටවලට ඒ කිසිවක් තිබුණේ නැහැ. ඇමරිකා එක්සත්, ජනපදය, ප්‍රංශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල් ව්‍යවස්ථාවන් හැදුවා. බ්‍රිතාන්‍යයේ ලිඛිත ව්‍යවස්ථාවක් නොමැති වූ අතර එහි පාලනය සම්මුතිය, සම්ප්‍රදාය සහ කලින් කලට සම්මත කර ගත් නීති මත ක්‍රියාත්මක වුණා. සමහර රටවල ව්‍යවස්ථාවක් තිබුණේම නැහැ. එම රටවල් ඒකාධිපති සහ මිලිටරි පාලන ඔස්සේ ගෙන ගිය නිසා ව්‍යවස්ථාවක් නොතිබීම හොඳට ගියා.

1815 වන තුරු ශ්‍රී ලංකාව සිංහල සහ ද්‍රවිඩ රජුන් විසින් පාලනය වුණා. 1972 වන තුරු අපි යුරෝපා කිරීටයෙන් පාලනය වුණා. ඒ දක්වාම එනම් ක්‍රිස්තු පූර්ව 600 විජය රජුගේ සිට එළිසබෙත් රැජින දක්වා ශ්‍රී ලංකාව අඛණ්ඩ රාජාණ්ඩු පාලනයට ලක් වූ ඉතිහාසයක් හිමි රටක්. එම රාජාණ්ඩුව අවසන් වූයේ 1972 ජනරජය පිහිටුවීමෙන්.

1815 සිට 1931 දක්වා කිරීටය වෙනුවෙන් සියලු විධායක බලය පාවිච්චි කළේ ආණ්ඩුකාරවරයායි. 1931 දී ඩොනොමෝර් ව්‍යවස්ථාව විසින් විධායක කමිටු ක්‍රමය ඇති කරනු ලැබුවා. එම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායකය විසින් කර්තව්‍යයන් දෙකක් සිදු කරනු ලැබුවා. එකක් නම් රාජ්‍ය මන්ත්‍රණ සභාව කැඳවූ අවස්ථාවල නීති සම්පාදනය කිරීමයි. අනෙක නම් රාජ්‍ය මන්ත්‍රණ සභාව හරහා විධායක කර්තව්‍යයන් කිරීමයි. 

විධායක කර්තව්‍යයන් කරනු ලැබුවේ විධායක කමිටු හරහායි. විධායක කමිටු සාමාජිකයන් පත් කරනු ලැබුවේ කවුන්සිලයේ පැවැත්වූ ඡන්දයකිනි. මෙම කමිටුවල සභාපතිත්වය දරනු ලැබුවේ අමාත්‍යවරුන් විසින්. රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ එහි සියලු සාමාජිකයන් තෝරා ගනු ලැබුවේ සර්ව ජන ඡන්ද බලයෙනි. ආසියාවේ සර්ව ජන ඡන්ද බලය භුක්ති විඳි ප්‍රථම ජාතිය ශ්‍රී ලාංකික ජාතියයි.

1947දී සෝල්බරි ව්‍යවස්ථාව යටතේ වෙස්මිනිස්ටර් ක්‍රමය හඳුන්වා දුන්නා. එම ක්‍රමයට අනුව බ්‍රිතාන්‍ය ආනුගමනය කරනවගේ ව්‍යවස්ථාදායකයේ බහුතරය හිමි පුද්ගලයාව අග්‍රාණ්ඩුකාරයා විසින් අගමැති ලෙස පත් කළා.1948 පෙබරවාරි මස ශ්‍රී ලංකාවට ඩොමිනියන් තත්ත්වය ලැබුණේ බ්‍රිතාන්‍ය මහ ජන මන්ත්‍රණ මණඩලයට ඉදිරිපත් කරන ලද නිදහස් පනත මතයි. එමගින් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ නිදහස් නිවහල් සාමාජිකයෙකු වුණා.

1972 දී ව්‍යවස්ථාදායක සභාව රැස්ව 1972 නව ව්‍යවස්ථාවට එකඟ වූ පසු "සිලෝන්" (ශ්‍රී ලංකාව) ජනරජයක් වුණා. නමුත් වෙස්මිනිස්ටර් ආකෘතිය ඉතිරි වුණා. 1978 පෙබරවාරි මාසයේ සම්පූර්ණ වෙනසක් ඇති කරමින් මුළු රටේම ඡන්දවලින් තොරව පත් කර ගත් විධායක බල තල දරන ජනාධිපතිවරයකු ලැබුණා. එමෙන්ම 50% කට වඩා වැඩි බහුතරයකින් ව්‍යවස්ථාදායක බලය හිමි කර ගත් ව්‍යවස්යථාදාකයක් ලැබුණා.

1978 ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ම සැදුනක්. ඒබ්‍රහම් ලින්කන් 1863 දී ප්‍රජාතන්ත්‍රවාදී රජයක ජය තහවුරු කරමින් පවත්වන්නට යෙදුණු  "ගෙටිස්බර්ග්" දේශනයේ දී සඳහන් කළ පරිදි මහ ජනතාවගෙන් සැදුම් ලත්, මහ ජනතාව වෙනුවෙන් සැදුණු ජන රජයක ලක්ෂණ 1978 ව්‍යවස්ථාවේ තිබේ දැයි එකින් එක ගෙන බලමු.

1978 ව්‍යවස්ථාවේ පළමු වන පරිච්ඡේදයේ 3 වන කොටසින් ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන අතර එම ජනතා පරමාධිපත්‍ය තහවුරු කෙරෙන්නේ කෙසේ ද යන්න විස්තර කරයි. එනම්..,

(i) ව්‍යවස්ථාදායක බලය හිමි වන්නේ මැතිවරණයකින් මහ ජනතාව විසින් පත් කර ගත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්රිවරුන්ටය. ජනමත විචාරණයකදී එම බලය හිමි වන්නේ මහ ජනතාවටය.

(ii ) ජන රජයේ විධායක බලය හිමි වන්නේ ජනතාව විසින් මැතිවරණයකින් පත් කර ගන්නා විධයක ජනාධිපතිවරයාටය.

(iii ) පාර්ලිමේන්තුවෙහි බලය අධිකරණය මාර්ගයෙන් ක්‍රියාත්මක වෙයි. එම අධිකරණ නිර්මාණය කරන්නේ සහ පිහිටු වන්නේ පාර්ලිමේන්තුව විසිනි. එසේ නැත හොත් ව්‍යවතාවෙන් සහ නීතියෙනි.

ව්‍යවස්ථාවේ මෙම කොටසින් ජනතාවගේ මුලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය විස්තර කරන අතර කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයාය. ඊට අගමැතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගත් කැබිනට් ඇමතිවරු ද අයත් වෙති. ඒ බව ව්‍යවස්ථාවේ 8 වන පරිච්ඡේදයේ 03 සහ 44 කොටසේ දැක්වෙයි.

මෙම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යය සහ මුලික අයිතිවාසිකම් පිළිබඳ කිය වෙන කොටස් සංශෝධනය කළ හැක්කේ එම සංශෝධන පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡන්දයෙන්  සම්මත වූ පසු ජන මත විචාරණයකින් ද මහ ජනතාව විසින් පිළි ගත් පසුවය. ජනාධිපතිවරයාගේ ධුර කාලය දිගු කිරීමට හෝ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් ඉහත කි ලෙසින්ම ඒවාද සම්මත විය යුතුය. මෙහි විශේෂත්වය නම් එවැනි කාලය දීර්ඝ කිරීම්වලට මුළු පාර්ලිමේන්තුවම එකඟ වුවද ජන මත විචාරණයකින් මහ ජනතාවද ඊට එකඟ වන තුරු එම ක්‍රියාවලිය නීත්‍යානුකුල නොවීමය.

මා දන්නා ආකාරයට ලොව වෙනත් කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ජනතාවට ව්‍යවස්ථාදායකය මත එසේ බල පැවැත් විය හැකි අසමසම බලයක් ලබා දී නැහැ. 1977 පත් වූ පාර්ලිමේන්තුව තවත් වසර හයකට ජනතාව විසින් දීර්ඝ කරනු ලැබුවේ ඒ බලය පාවිච්චි කරමින්ය. මීට පෙර එසේ ව්‍යවස්ථාදායක කාල සීමාව දීර්ඝ කර ගනු ලැබුවේ රාජ්‍ය සභා ආඥා කමිටුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පමණයි.

මේ ව්‍යවස්ථාව යටතේ රජය පැහැදිළි ලෙස මැතිවරණයකින් තෝරා පත් කර ගත් ජනාධිපතිවරයකු යටතේ පාලනය වනවා. ජනාධිපතිවරයාට විධායක බලතල තිබෙනවා. මැතිවරණයෙන් පත් වූ මන්ත්‍රීවරුන් අතරින් තෝරා පත් කර ගත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඔහු පාර්ලිමේන්තුවට වග කියනවා. රජය පාලනය කිරීම සහ රජය ගමන් ගන්නා දිශාවේ නියමුවා ඔහුයි. ඔහු සාමුහිකව ද රජය පිළිබඳව පාර්ලිමේන්තුවට පිළිතුරු දීමට බැඳී සිටිනවා.

කැබිනට් මණ්ඩලයට අයත් වන විධායක බලයක්වේ ද යන්න ගැන ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මේ ඔස්සේ පැන නැගිය හැකියි. කැබිනට් මණ්ඩලයේ විධායක බලය ඔවුන්ට ලැබෙන්නේ විධායක ජනාධිපතිවරයාගේ ඒජන්තවරුන් ලෙසින්ද..? නැති නම් එම බලය ලැබෙනුයේ ව්‍යවස්ථාවේ 43 (1) කොටස මගින්ද..? ඊට පිළිතුරු දීම ව්‍යවස්ථා විශාරදයන්ට භාරයි..! 

ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමට නම් අධිකරණයේ ස්වාධිනත්වය ඉතා වැදගත්. අධිකාරණයට අධිකරණ බලය ලැබෙනුයේ ජනතාවගේ අධිකරණ බලයෙන්. නමුත් අධිකරණය ක්‍රියාත්මක වන්නේ කැබිනට් මණ්ඩලය විසින් ඇති කර ඇති උසාවි, විනිශ්චය සභා සහ අනෙකුත් ආයතන ඔස්සේයි. එම අධිකරණ ආයතනවල ස්වාධිනත්වයට අදාළ කරුණු 107 සිට 117 කොටස්වල දක්වා තිබෙනවා. 

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් එසේ පත් කළ  විනිසුරුවරයකු ඉවත් කරන ලෙස දන්වා සිටිය හොත් පමණක් එම පත් කිරීම් වෙනස් කළ හැකියි. ඔවුන්ගේ වැටුප කවරක්ද යන්න පාර්ලිමේන්තුවෙන් තීරණය වන අතර ඔවුන් පත් කළ පසු වැටුප වෙනස් කළ නොහැකියි. 

මහාධිකරණ විනිශ්චයකාරවරුන්ද  පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. ඔවුන් අධිකරණ කොමිෂන් සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කරන විනය පාලනයට යටත් වනවා. අන් සියලු විනිසුරුවරයන් පත් කරනු ලබන්නේ අධිකරණ කොමිෂන් සභාව විසිනි. අධිකරණ කොමිෂන් සභාව සමන්විත වන්නේ අග විනිසුරු සහ වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගෙනි. විනය ක්‍රියාමාර්ග ගනු ලබන්නේද ඔවුන් විසින්.

1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව අධිකරණයේ සියලු සුළු පත්වීම් පවා කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලය විසිනුයි. 1977 ව්‍යවස්ථාව අධිකරණ පද්ධතිය ස්වාධීනව පවත්වා ගැනීමට ප්‍රතිපාදන හැකිතාක් ලබා දී තිබෙනවා. ඉතිරිය ඇත්තේ විනිසුරුවරුන් මතයි. විනිසුරුවරුන් ධෛර්යයෙන් සහ ඥානයෙන් යුතු මිනිසුන් විය යුතුය. 

මෙම ව්‍යවස්ථාවේ බුද්ධාගමට අදාළව (2 වන පරිච්ඡේදය), භාෂාවට අදාළව (4 වන පරිච්ඡේදය), පුරවැසි භාවයට අදාළව (5 වන පරිච්ඡේදය) ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළව (16 වන පරිච්ඡේදය), පාර්ලිමේන්තු කොමසාරිස්ට අදාළව (19 වන පරිච්ඡේදය), හදිසි නීතියට අදාළව (18 වන පරිච්ඡේදයේ 15 සහ 16 කොටස්වල) කරුණු සඳහන්ව තිබෙනවා.

මහ ජනතාවගෙන් සැදුණු, මහ ජනතාවගේ රජයක් මෙම ව්‍යවස්ථාව මගින් ලැබෙනවා පමණක් නොව ඒ සියලු මහා ජන කටයුතු සිද්ධ කෙරෙනවා. ජනමත විචාරණයකින්, ජනතාවගේ කැමැත්ත විමසා පමණයි මෙම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදන වෙනස් කළ හැක්කේ.

මෙහිදී කිව යුතු විශේෂ කරුණක් නම්, ජාතික ආරක්ෂාව, ආගමික සංහිදියාව, වාර්ගික සාමය, ජාතික ආර්ථිකය සහ ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 15 වැනි කොටස යටතේ දක්වා ඇති කරුණු හේතුවෙන් ඇතැම් මුලික අයිතිවාසිකම් තාවකාලිකව සීමා විය හැකි බවයි. ව්‍යවස්ථාවේ 18 වන පරිච්ඡේදය යටතේ   විස්තර වන්නේ, ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදන හැරුණු කොට අනෙකුත් ඕනෑම නීතියක් ජාතික ආරක්ෂක ආඥා පනත යටතේ අභිභවා යාම, සංශෝධනය කිරීම, හෝඅත්හිටුවීම කළ හැකි ආකාරයයි. 

හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර දින 14ක් ඇතුළත ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දී පාර්ලිමේන්තුවෙන් එම හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කර ගත යුතුය. (18පරිච්ඡේදයේ 155 වැනි කොටසේ  06 වැනි වගන්තිය බලන්න.) මීට පෙර පැවැති කිසිම ව්‍යවස්ථාවකට අනුව හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමට හෝ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වූයේ නැහැ. 

ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයින්ම අවශ්‍ය වන බහු පක්ෂ ක්‍රමය බිහි වීමට මුලික හේතුවක් වන්නේ සෑම පුරවැසියකුටම භාෂණයේ, ප්‍රකාශනයේ සහ වෘත්තිය අයිතිවාසිකම් ආදී මුලික අයිතිවාසිකම් ලබා දීමය. මේ අයිතිවාසිකම් පිළිබඳව 14 (1) කොටස යටතේ විස්තර වෙයි. රජය සාදා ඇත්තේ මහ ජනයා වෙනුවෙන් යන කොටස ද අමතක කර නැත. ඒ බව 06 වන  පරිච්ඡේදයේ S. 27 සිට 29 දක්වා විස්තර කර ඇත. 

මා S- 27.2 ගැන අවසාන වශයෙන් මතක් කරන්නට කැමතියි. අපගේ ආර්ථික සහ සමාජයීය ප්‍රතිපත්ති පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ හැකි වුව හොත් අපට සාමය සහ සෞභාග්‍යය ගෙන ආ හැකියි. ඊට ඇති බාධාව ත්‍රස්තවාදය සහ භීෂණයයි. අප තවත් අමතක නොකළ යුතු කාරණයක් නම් 1960 ජුනි මස සිට 1964 දක්වාත්, 1970 සිට 1977 දක්වාත් සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ රජයන් තිබුණු බවයි. ඔවුන්ගේ එම සමාජවාදී ප්‍රතිපත්ති සෝවියට් සමුහාණ්ඩුව පවා ඇත හැර දැමු ප්‍රතිපත්තිවේ. විවෘත්ත ආර්ථිකය සහ නව ව්‍යවස්ථාවේ ප්‍රතිපත්ති ඔස්සේ එම සමාජවාදී ප්‍රතිපත්තිවලින් සුවය ලබා එමගින් අත්මිදීමට 1977 සිට 1983 දක්වා කාලය ගත වුණා. 1983 දී ත්‍රස්තවාදය හිස ඔසවා කුණාටුවක් සේ අප මත ගැටුණා."

 

(Dr. Santhushya Fernando is a Sri Lankan Public Health Specialist. She has been educated in Army Medical College Pakistan, Post Graduate Institute of Medicine University of Colombo (PGIM) and University of Oxford, UK. She is the co-author of “Montage of Sexuality in Sri Lanka”)
-Monkey.Business-
Advertiesment