Friday 4th of December 2020

English Tamil
Advertiesment


ගෝලීය වෙළෙඳ පොළ ජය ගැනීමේ ශ්‍රී ලාංකේය මොඩලය


2020-09-13 1336

 
(දේශප්‍රිය නානායක්කාර)

 

1960 දශකයේදී පෘථිවි චිපිට ගෝලයේ ජන ගහනය බිලියන 03 කට ආසන්න විය. ඒ වන විටත් මිනිස්‌ සංහතිය පෘථිවි පරිසර පද්ධතිය මගින් නිෂ්පාදනය කර ගත හැකි මුළු සම්පත් ප්‍රමාණයෙන් හරි අඩක්‌ පරිභෝජනය කරමින් සිටියහ.

1986 වන විට ජනගහනය බිලියන 05 ක්‌ වූ අතර අපි මහ පොලොවට නඩත්තු කළ හැකි සමස්‌ත නිෂ්පාදනයම භාවිත කිරීමට ක්‍රියාකරමින් සිටියෙමු. මේ අනුව වසර 2050 දී පෘථිවියේ ජනගහනය බිලියන 09 වන විට අප විසින් පරිභෝජනය කරන සම්පත් ප්‍රමාණය එකලස්‌ කරගැනීමට අවම වශයෙන් පෘථිවි දෙකක්‌වත් තිබිය යුතු වීම අනිවාර්යය. එපමණ සම්පත් ප්‍රමාණයක්‌ එකලස්‌ කර ගැනීම කෙසේ වෙතත් ඒ වන විට මිනිස්‌ සංහතිය විසින් හරිතාගාර වායු වශයෙන් නිකුත් කරනු ලබන අපද්‍රව්‍යය හේතු කොටගෙන විශ්වයේ මිනිසාට ඇති එකම වාසභූමිය වන පෘථිවියේ සම්පත් ප්‍රමාණයද අද පවතින ප්‍රමාණයෙන්ම පවත්වා ගැනීමට හැකිදැයි යන්නද විවාදිතය.

කාර්මික විප්ලවයෙන් පසුව මේ දක්‌වා වායුගෝලීය උණුසුම සෙන්ටි්‍රග්‍රෙඩ් 0.630 කින් ඉහළ ගොස්‌ ඇත, ඊට මූලික හේතුව වාතයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ දසදහසකට කොටස්‌ තුනේ සිට කොටස්‌ 04 ට ආසන්න ප්‍රමාණයක්‌ දක්‌වා ඉහළ යැමය. උක්‌ත ඉහළ යැමට වඩාත්ම හේතුවූ සාධකය පසුගිය දශක කිහිපය සිසාරාම මිනිසා විසින් දවනු ලැබූ කාබනික ඉන්ධන ප්‍රමාණයයි. ඒ අනුව මානව ප්‍රගමන ඉතිහාසයේ මෙතෙක්‌ සටහන් වූ උණුසුම්ම වසර 10 න් 9 ක්‌ම 1990 න් පසු වාර්තා වීම පුදමයක්‌ද නොවනු ඇත.

1966 දශකයේදී උක්‌ත තත්ත්වය පිළිබඳ ගැඹුරු අවධානයකින් තොරව කටයුතු කළ ගෝලීය උතුරු ධනවත් රාජ්‍යයන් 1970 වන විට මෙහි ඇති අනර්ථ ක්‍රියාවලිය හඳුනාගත් අතරම වඩාත් බියවූයේ සොබාදහම සතු සම්පත් හිඟවීම පිළිබඳවය. නමුත් ඒ වන විටද සොබාදහම නමැති විශ්වයේ සදාදරණීය මෑණීයන් විනාශයේ දොරටුව කරා හෙමින් හෙමින් පියවර මැනීම ආරම්භ කර තිබිණි.

පෘථිවි ගෝලයේ උතුරු රාජ්‍යයන් ප්‍රමුඛ අනෙකුත් රාජ්‍යයන් පෘථිවි පරිසරය පිළිබඳ අලුත් මානයකින් බැලීමට උත්සාහ කළේ ඉන් පසුවයි. ඒ සඳහා පෘථිවි චිපිට ගෝලයේ මානුෂීය වාර්ගිකයන්ට පූර්වාදර්ශයක්‌ වූයේ ජීව විද්‍යාඥවරියක වූ රැචල් ලුවිස්‌ කාසන්ගේ නිහඬ වසන්තය යන අදහස ගෙන දෙන කෘතියයි. (THE SILENT SPRING BY RACHEL LOUISE CARSON 1907 - 1964) මහ පොලව, ජලය, වාතය, ගහකොල ඇතුළු වන සිව්පාවුන් මෙන්ම මුහුදු, මුහුදු වෙරළ, කොරල් පර, කඳු පන්ති, වලාකුළු වැස්‌ස, ඇළදොළ, ගංගා නැතහොත් වායු, ජල, පස ආදි ස්‌වභාවික සම්පත්වල විනාශය ඉතා ගැඹුරින් උක්‌ත කෘතියේ සාකච්ඡාකර ඇත. ඒ සමඟම පලිබෝධ, කෘමි ධුම ආදී නාශක වර්ග පිළිබඳවද කෘතියේ අවධානයක්‌ යොමු කර ඇත.

සැබැවින්ම පරිසරය පිළිබඳ ලෝකයාට නව මානයක කියවීමක්‌ එසේ නැතහොත් දිගු කාලීන තිරසර කළමනාකරණ මාර්ග සිතියමක අවශ්‍යතාව හඳුන්වා දෙනුයේ ඉහත කෘතියෙනි. එක්‌සත් ජනපදයේ 37 වැනි රාජ්‍ය ලේකම් වූ ස්‌ටුවර්ට්‌ ලී. උදාල් (STUWART LEE UDALL) විසින් රචිත නිසල අර්බුදය යන අදහස ගෙන දෙන (THE QUIET CRISIS) හා නිසල අර්බුදය සහ අනාගත පරම්පරාව යන අදහස ගෙන දෙන (THE QUIET CRISIS AND NEXT GENERATION) යන කෘති ද්වයෙන් ද පෘථිවි පරිසරය පිළිබඳ මහත් පිබිදීමක්‌ ඇති කරන ලදී.

ඊට අමතරව ජොර්ඡ් පර්කින්ස්‌ මාෂ්ගේ මිනිසා සහ සොබාදහම යන අදහස ගෙන දෙන MAN AND THE NATURE යන කෘතියෙන් මෙන්ම ස්‌වභාව ධර්මය හා මිනිසාගේ ඉරණම යන අදහස දෙන (NATURE AND MAN'S FATE) යන ග්‍රන්ථයෙන්ද මිනිස්‌ සංහතිය විසින් සොබාදහම සූරාකෑම පිළිබඳව දීර්ඝව අදහස්‌ දක්‌වා ඇත, 1965-70 දශකයේදී ජෛව විද්‍යාඥයන් වන බැරිකොමනර් පෝල් අර්ලික්‌ ආදින්ගේ අදහස්‌ද ගැරට්‌ හාඩ්න්ගේ LIVING ON LIFE BOAT නමැති කෘතියෙන්ද පෘථිවි ගෝලීය, පරිසරය හා මිනිසා පිළිබඳ ඉතා සියුම් අයුරින් සාකච්ඡා කර ඇත. ඒ අනුව 1970 - 1890 දශකය පාරිසරික දශකය ලෙස නම් කරන ලදී. ඉන් පසුව ගෝලීය ආර්ථික ප්‍රති ව්‍යqහකරණයත් සමඟ බොහෝ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලයන් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය 03 වන ලෝකයේ ක්‍රියාත්මක කරවීමට ඉදිරිපත් විය.

මීට හේතුව ඉතා අඩු මුදලට ශ්‍රමය ලබා ගැනීමට හැකිවීම පමණක්‌ම නොව තුන්වැනි ලෝකයේ රටවල පාරිසරික සංරක්‍ෂක නීති පද්ධතියේ ඇති ලිහිල්කරණයයි. 1980 දශකයේදී ඉතා ඉහළටම පැමිණි පෘථිවි පරිසරය පිළිබඳ සාකච්ඡාව වූයේ මොන්ටි්‍රයෙල් සම්මුතියයි. (MONTREAL PROTOCOL) එහි අවසාන සම්මුතිය වූයේ කියෝටෝ සම්මුතියයි. (KYOTO PROTOCOL) උක්‌ත සම්මුතීන් ද්වÊයම කාර්මික සංවර්ධනයේ උච්චතම අවස්‌ථාවට පැමිණ සිටි රටවලට මහත් බලපෑමක්‌ ඇති කිරීමද තවත් හේතුවකි. එම නිසාම තුන්වැනි ලෝකයේ අපනයන කාර්මික නිෂ්පාදන වෙනුවෙන් ගෝලීය වෙළෙඳ ගිවිසුම් හා ව්‍යqහමය ප්‍රතිපත්ති ගැලපීම් සජීවීකරණයෙන් නොයෙක්‌ විධ දිරි ගැන්වීම් ක්‍රම හඳුන්වාදීම ගෝලය සිසාරා සුලභ විය. අද්‍යතනව බොහෝ තෙවැනි ලෝකයේ රටවල පාරිසරික සංරක්‍ෂක නීති ආකෘතිය අභියෝගයට ලක්‌ වී ස්‌වදේශික ජනයා පීඩාවට පත් වී ඇත්තේ උක්‌ත ආයෝජකයන්ගේ නොයෙකුත් කර්මාන්ත ජාලයන්වල ප්‍රතික්‍රියා හේතුවෙනි. අද්‍යතන පෘථිවි සමාජයේ වැඩිම පාරිසරික පීඩනයට වගකිව යුතු මානව ක්‍රියාවලිය වශයෙන් කාර්මික ක්‍ෂේත්‍රයේ පිබිදීම හඳුන්වා දිය හැකිය.

කාර්මික ක්‍ෂේත්‍රයේ නොයෙක්‌ විධ පිබිදීම් තිරසර සංවර්ධන සංකල්පයේ මූලධර්ම සමඟ ගලපාගෙන අනාගත පරපුරට යහපත් රටක්‌ ඉතිරි කරලීම වත්මන් පරපුර විසින් මුහුණ දී ඇති බරපතළම අභියෝගයකි. පෘථිවි මිනිස්‌ සංහතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් කාර්මිකකරණය කෙරෙහි තබා ඇති ප්‍රමුඛතාවයන් මෙන්ම ඊට ඇති ආර්ථික හා සමාජීය පෙළඹවීමත් හේතුවෙන් උක්‌ත ක්‍ෂේත්‍රය අද්‍යතනව ඉතාමත් වේගයෙන් ප්‍රසාරණය වන ආර්ථික ක්‍රියාවලිය වී ඇත.

චීනය හා ඉන්දියාව මෙන්ම ආසියානු මහද්වීපයේ තවත් බොහෝ රටවල් ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන සාධක බවට එක්‌ වෙමින් තිබෙනුයේ කාර්මික ක්‍ෂේත්‍රයේ සංවර්ධනයෙන් බව ඉතා පැහැදිලි වනුයේ ආසියානු ආර්ථිකයේ පිබිදීම දෙස අවධානය යොමු කරලීමෙනි. චීනය ගෝලීය භාණ්‌ඩ වෙළෙඳ පොළෙහි අත්පත් කරගෙන ඇති පුමුඛස්‌ථානය ඔවුන් උපයාගෙන ඇත්තේ චීනයේ ඇති ස්‌වභාවික / භෞතික සම්පත් හේතු කොටගෙන නොව රටේ පරම සම්පත වන මානව සම්පත නිවැරදිව කළමනාකරණය කර ගැනීම තුළිනි.

චීන සමූහ ආණ්‌ඩුවේ බොහෝමයක්‌ නිවාසවල ගෝලීය වෙළෙඳ පොළට නිකුත් කරන කාර්මික භාණ්‌ඩ වල කුඩා සූක්‍ෂම කොටස්‌ නිපදවන කර්මාන්ත ශාලාය. ඉන්දියාවද කාර්මික කරණය කරා තම රට මෙහෙය වනුයේ කාර්මික භාණ්‌ඩ අතින් ජාතිය ස්‌වයංපෝෂණය කරා ගමන් කරවන අතර අසල් වැසි රටවල වෙළෙඳ පොළවල්ද ඉතා සීරු මාරුවෙන් අතික්‍රමණය කරමිනි. සමස්‌තයක්‌ වශයෙන් රටක ආර්ථික සමාජ ප්‍රගතිය සඳහා කාර්මිකකරණයේ දායකත්වය ඉතා ඉහළ මට්‌ටමක පවතී.

1948 දී ශ්‍රී ලංකාවට දේශපාලන නිදහස ලැබුණත්, කාර්මික ප්‍රතිපත්තින්හී මූලික වෙනසක්‌ සිදු නොවීය. නමුත් 1956 ආණ්‌ඩු පෙරළිය එක්‌තරා ආකාරයක ආර්ථික, සමාජීය, සංස්‌කෘතික හා කර්මාන්ත යන ක්‍ෂේත්‍රයන් කෙරෙහි බලපෑමක්‌ ඇති කරන ලදී. උක්‌ත වෙනස්‌ වීම් වල බලපෑම කාර්මික ප්‍රතිපත්ති කරාද කාන්දුවිය. මූලික වශයෙන් බලපෑ කාරණාව වූයේ ව්‍යාපාරවල අයිතිය පිළිබඳ ක්‍රියාවලියන්ය. ප්‍රධාන කර්මාන්ත වල අයිතිය රජය සතු වූ අතර 1961 වන විට සියලුම භාණ්‌ඩ අපනයනය සඳහා පංගු ක්‍රමයක්‌ හා බලපත්‍ර ක්‍රමයක්‌ හඳුන්වා දෙන ලදී.

1967 පමණ වන විට ආනයන ආදේශනය මගින් සිදු කිරීමට අපේක්‍ෂා කළ කාර්මිකකරණය අර්බුදයකට ලක්‌ විය. 1970 කාලයේ ක්‍රියාත්මකව තිබූ රජය විදේශ ආයෝජකයන් දිරි ගැනීම සඳහා ධවල පත්‍රිකාවක්‌ද ඉදිරිපත් කළ නමුත් රාජ්‍ය සතු වූ කාර්මික ක්‍රියාවලිය තව දුරටත් සවිබල ගන්වන ලදී. රාජ්‍ය කාර්මික නීතිගත සංස්‌ථාව හා ඒවායේ ශාඛා පද්ධතීන් බිහිකරනු ලැබීය. එමෙන්ම කාර්මික ජනපද පිහිටුවීමේ ප්‍රථිපත්තිය යටතේ "කාර්මික ජනපද සංස්‌ථාව" ස්‌ථාපනය කිරීමෙන් පසුව පළමු කාර්මික ජනපදය ජා ඇල පිහිටුවීය. ඉන් පසුව රටේ නොයෙකුත් ප්‍රදේශවල කර්මාන්ත ජනපද පිහිටුවනු ලැබීය. නමුත් 1970-77 දක්‌වා පැවැති රජයේ ආර්ථික කාර්මික ප්‍රතිපත්ති මූලික වශයෙන් අන්තවාදී ලෙස හඳුනාගත් ජනතාව 1977 දී එම ප්‍රතිපත්තීන් පරාජය කරන ලදී. එවකට පැවැති විපක්‍ෂය 5/6 බලය අත්පත් කර ගෙන 1956 ආණ්‌ඩු පෙරළියෙන් පසු රට මෙහෙයවූ ක්‍රමවේදය කණපිට හරවන ලදී.

පෘථිවි ගෝලයේ බොහෝ රාජ්‍යයන්වල ආවෘත ආර්ථිකය පසුබෑමට ලක්‌ වී තිබූ යුගයකදී 1977 රජය බලයට පත්වීමද ඊට ප්‍රධාන හේතුවකි. ආර්ථික ලිහිල්කරණය යන සංකල්පයේ පිහිටා කාර්මික ක්‍ෂේත්‍රයේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්‌කරණය මගින් වාණිජ-කාර්මික ක්‍ෂේත්‍රයේ විශාල පිබිදීමක්‌ ඇතිකරන ලදී. මහ කොළඹ ආර්ථික කොමිසම, පසුව ආයෝජන මණ්‌ඩලය සෘජුව ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක විය. ප්‍රථම අපනයන ප්‍රවර්ධන කලාපය හෙක්‌ටයාර් 170 ක භූමියක කටුනායකද, දෙවනුව බියගමද, තෙවනුව ගාල්ලේ කොග්ගල ද ඇතුළු එවැනි කලාප 2004 වන විට 12 දක්‌වා ඉහළ නංවන ලදී.

ආර්ථික ලිහිල්කරණයේ අරමුණු අතර ප්‍රධාන වූයේ රැකියා අවස්‌ථා ප්‍රසාරණය කිරීමය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හා ආයෝජන මණ්‌ඩලයේ ලියකියවිලි පරිශීලනයේදී පැහැදිලි වනුයේ 1978 සිට 2003 දක්‌වා කාලය තුළ මුළු කාර්මික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 361,000 සිට 1,115,700 දක්‌වා වර්ධනය වී තුන් ගුණයක වර්ධන වේගයක්‌ ඇති කරගත් බවය.

නමුත් ලිහිල්කරණ ප්‍රතිපත්ති යටතේ රටේ සමස්‌ත ආර්ථිකය නැමැති යටත් විජිත යුගයේ පැවැති වැවිලි ආර්ථික ක්‍රියාවලිය හා සමාන විය. මක්‌නිසාද යත් 19 වැනි සියවසේ තේ වගාවට අවශ්‍ය පැළ, ශ්‍රමිකයන්, වගාක්‍රම, තාක්‍ෂණය, උපකරණ හා වෙළෙඳ පොළ ද විදේශීය විය. රටේ එකම සහභාගිත්වය තිබුණේ භූමිය මතම පමණි. ඒ ආකාරයෙන්ම 1977 - 2004 දක්‌වා වූ තත්ත්වයන් කෙරෙහි විමසිලිමත් වීමේදී පැහැදිලි වනුයේ එවක පිහිටුවනු ලැබූ බොහෝ කාර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක්‌ විදේශයන්හි සිට ආනයන කළ බවය.

විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේදී දේශීය වශයෙන් නිෂ්පාදිත රෙදිපිළි අමුද්‍රව්‍ය වශයෙන් යොදාගනු ලැබූයේ මුළු අමු ද්‍රව්‍ය ප්‍රමාණයෙන් 10%කටත් අවමයෙනි. යන්ත්‍ර සූත්‍ර, උපකරණ. සම්පූර්ණයෙන්ම පිටරටින් මෙරටට ගෙන්වූ අතර අනෙක්‌ යෙදවුම් වන නූල්, බොත්තම්, සිප් වර්ග යනාදී සියලු අවශ්‍ය දැ පිටරටින් ගෙන්වන ලදී.

සැබැවින්ම මෙය අගය එකතුකිරීමේ ඉතා පහළ තත්ත්වයකට හොඳම නිදර්ශනයකි. නමුත් නොයෙකුත් නිදහස්‌ වෙළෙඳ ක්‍රියා පටිපාටීයන් හේතුවෙන් නා නා සමාජ ස්‌ථරයන් ලෝක පුරවැසියන් වීමට සුවිශාල ඉඩ ප්‍රස්‌ථා විවෘත කර ගත්තේය. ගෝලීය අධ්‍යාපනය, ගෝලීය සංචාර, ගෝලීය මට්‌ටමේ නිවාස, තීරුබදු රහිත යාන වාහන, ලෝක මට්‌ටමේ ගෘහ උපකරණ හා අධිතාක්‍ෂණික විදුලි උපකරණ, ගෝලීය මට්‌ටමේ සෞඛ්‍යය ආරක්‍ෂාව යන ආදියට සමහර ව්‍යාපාරිකයන් හිමිකම් උපයා ගත්තේ ඉහත කර්මාන්ත හේතුවෙනි.

එපමණක්‌ නොව ආර්ථික ලිහිල්කරණය හේතුවෙන් රට තුළ ඇතිවූ දිගුකාලීන විනාශයන් බොහෝමයකි. ඒ අතරින් සුළු උදාහරණයක්‌ පමණක්‌ වනුයේ අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ඉතාමත් සංවිධානාත්මක ලෙස සම්ප්‍රදායික පරිසරයක්‌ තුළ සුළු කාර්මික පදනමෙහි පැවැති අත් යන්ත්‍ර පේෂ කර්මාන්තයෙන් සැපයූ රෙදි පිළි යනාදිය වෙනුවට ආනයනික කාර්මික නිෂ්පාදනවලින් ඒවා ආදේශනය වීම දැක්‌විය හැකිය. එම නිසා ආර්ථික ලිහිල්කරණය හා කාර්මික සංවර්ධනය පිළිබඳ ගෝලීයව සිතමින් දේශීයව ක්‍රියාත්මක වීම අතිශයින්ම වැදගත් වනුයේ අනාගත පරපුරටය.

අනෙක්‌ අතට පැය 24 ක්‌ ඇතුළතදී රටේ ඕනෑම ගමකට, නගරයකට, යැමට හැකියාව තිබියදී වුව කාර්මික ව්‍යවසායකයින් සෑම විටම ක්‍රියාත්මක වනුයේ නෙදර්ලන්ත සමාජ විද්‍යාඥවරියක වූ SASKA SASSEN විසින් නම් කරන ලද GLOBAL CITY, WORLD CITY, ALPHA CITY, OR WORLD CENTER වශයෙන් නම කරන ලද නගරයන්වලය. අපේ රටේදී නම් කොළඹ නගරය නමැති ගෝලීය පුරවරය (GLOBAL CITY) කේන්ද්‍රතාවය, අපේ රටේ මුළු කර්මාන්තවලින් 55.8% ක්‌ම කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇත. 19.07% ක්‌ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේද, 4.05% කළුතර දිස්‌ත්‍රික්‌කයේද ආදී වශයෙනි. එම නිසා කර්මාන්ත ව්‍යාප්තිය පිළිබඳ ජනගහනය හා භූමිය පිළිබඳ අවධානයෙන් ක්‍රියාත්මක විය යුතුය.

අද්‍යතනව කාර්මික නිෂ්පාදන කිසියම් සුවිශේෂී රටකට අයත් වන්නේ නැත. ගෝලය සිසාරා වූ රටවල් කිහිපයක්‌ අතර ඒ ඒ රටේ පවතින සාපේක්‍ෂ වාසි, විශේෂඥතාව හා තාක්‍ෂණික සාධක මත නිෂ්පාදනය වන කොටස්‌වල එකතුවෙන් අවසාන රටෙහි එකලස්‌ කිරීමේ ප්‍රතිපලයක්‌ වශයෙන් භාණ්‌ඩය එළිදැක්‌වේ. එබැවින් එම භාණ්‌ඩය ගෝලීය කම්හල් පද්ධතියක නිෂ්පාදනයකි. ලෝක බැංකුව වාර්තා කරන අන්දමට අවසාන වශයෙන් එකලස්‌ කරන ෆොaඩ් (FORD) මෝටර් රථයට අදාළ ප්‍රධාන කොටස්‌ තවත් රටවල් 15 කදී නිෂ්පාදනය කරනු ලබයි. ගෝලය සිසාරා මේ ආකාරයට නිෂ්පාදනය කොට එකලස්‌ කිරීමේ නිෂ්පාදන ක්‍රියාවලියට අනුගත වූ කාර්මික ව්‍යාපාර ජාල රාශියකි. ශ්‍රී ලංකාවේ ද්විතීය තෘතිය අධ්‍යාපනයෙන් පොහොසත් බහුතරයක්‌ වූ රටේ තරුණ සම්පත් කළමනාකරණය කොට උක්‌ත ගෝලීය කම්හල් ක්‍රියාදාමයේ ප්‍රබල කොටස්‌ කරුවෙකු වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ඉතාමත්ම ඉහළය.

අලුතින් කාර්මික වන රටවල "සංවර්ධනයේ රහස්‌" උක්‌ත පරම සම්පත (THE ULTIMATE RESOURCE) නිවැරැදිව සංවිධානය කර ගැනීමය. අද්‍යතනව "සිංගප්පූරු හොංකොං මොඩලය" දකුණු කොරියාව හා තායිවානය හරහා වෙනත් මුහුණුවරකින් මධ්‍යම ආසියාවටද, එමෙන්ම චීනයටද එතැනින් නොනැවතී අපේ අසල් වැසි ඉන්දියාවටද ඇතුළු වී ඇත. අනාගතයේදී මානව සම්පත යනු මිනිසාගේ භෞතික ගුණයම නොව ඔහුගේ ඥනශක්‌තිය පදනම් කරගත් ඥනාර්ථිකයක අත්තිවාරමද වනු ඇත. BRIC නොහොත් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය යන රටවල කර්මාන්ත ජාලයන් සමඟ ශ්‍රී ලංකා කර්මාන්ත ජාලය ගැටගැසිය යුතුය. බ්‍රසීලයේ සාඕ පාලෝ SAO PAULO කාර්මික නගරය ප්‍රමුඛ කාර්මික ජනපද හා රුසියාවේ මොස්‌කව්, ශාන්ත පීටර්ස්‌බර්ග් හා වොල්ගා නදිය දෙපස පිහිටි වොල්ගා කාර්මික ජනපද වලට අමතරව රුසියාව අද්‍යතනව THE RUSSIAN MILLION CITIES නමින් අලුත් ආර්ථික ආයෝජන ක්‍රියාවලියක්‌ ගෝලීය කාර්මික ධන ආයෝජනයන් වෙත ඉදිරිපත් කර ඇත. ඉන්දියාවේ මුම්බායි, කරච්චි, දිල්ලි ප්‍රමුඛ කාර්මික නගර මෙන්ම විශේෂයෙන් බැංගලෝරයේ විද්යුත් පාරාදිසයේ BANGALORE BLECTRONIC PARADISE නිෂ්පාදන ක්‍රියාවලිය සමඟ අපේ කර්මාන්ත සම්බන්ධ කළ යුතුය. චීනයේ ශැංහායි, බීජිං ප්‍රමුඛ කර්මාන්ත පුරයන් සමඟද ජාකර්තා, බැංකොක්‌, ලන්ඩන් ආදි තවත් බොහෝ ගෝලීය කර්මාන්ත නගර සමඟ සහක්‍රියා කිරීමට අපට හැකියාව ඇත. එමෙන්ම ඉන්දියාවේ මුම්බායි කාර්මික නගරය DMIC නොහොත් (DELHI, MUMBAI INDUSTRIA CORRIDOR) මෙන් නවීන කර්මාන්ත නගරයක්‌ ඉදිකිරීමට කටයුතු කිරීමද රටේ කාර්මික සංවර්ධනයට ඉතා වැදගත් වනු ඇත.

බටහිර රටවල් හෝ සුවිශාල ජනාකීර්ණ රටවල් හා දේශපාලන නිදහස ලබන විට ශ්‍රී ලංකාව හා ආර්ථික අතින් සම තත්ත්වයේ සිටි නව කාර්මික රටවල් නොයෙක්‌ විධ උපාය මාර්ග හරහා ගෝලීය කාර්මික වෙළෙඳ පොළ ජයගනිද්දී ශ්‍රී ලංකාව අද්‍යතනව පූර්වාදර්ශ කර ගත යුත්තේ කුමන සැලැස්‌මද?එම සැලැස්‌ම අප අවට පරිසරයේ තුල්‍යතාවයට පීඩාකාරී නොවන සංවර්ධනය වන ජනගහනය මෙන්ම භූමියේ වටිනාකම පිළිබඳ අවබෝධයෙන් හා බහුතරයේ වියදමින් ඉතා සුළුතරය සරුසාරව සංවර්ධනය නොවන සැලැස්‌මක්‌ වීම අනාගත පරපුරට වැදගත් වනු නො අනුමානය.
 

(දේශප්‍රිය නානායක්කාර)

Advertiesment