Sunday 25th of October 2020

English Tamil
Advertiesment


රුසියානු වෛද්‍ය විද්‍යාල කප්පාදුව ගැන සැකයි  


2020-09-13 6384

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව මගින් වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළි ගෙන තිබූ රුසියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල කිහිපයක් අනුමත ලේඛනයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය බරපතළ සැකයට සහ සංවාදයට තුඩු දෙමින් පවතියි. 

වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා සුදුසු විශ්ව විද්‍යල තෝරා ගනු ලබන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් එම රටවලට ගොස් එම වෛද්‍ය විද්‍යාල ගැන පුළුල් ලෙස කරුණු සොයා බැලීමෙන් පසුව වන අතර එසේ තෝරා ගන්නා වෛද්‍ය විද්‍යාල පුද්ගලික සහ රජයේ වෛද්‍ය විද්‍යාල යන කොටස් දෙකටම අයත් වේ. 

විශේෂයෙන්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිරික්ෂණ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ට පළමු පන්තියේ ගුවන් ප්‍රවේශපත් සහ නවාතැන් ගැනීම සඳහා  ඒ ඒ රටවල තරු පහේ හෝටල් ලබාදිමට කටයුතු කරන අතර, රාජ්‍ය විශ්ව විද්‍යාල නිරීක්ෂණය කිරීම සඳහා යෑමේදී මෙම පහසුකම් නොලැබෙන  බව සඳහන්ය.

ඉහත එම පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිරීක්ෂණයට යාමේ දී ඉහත පහසුකම්වලට අමතරව, මෙම නිරික්ෂණය සඳහා යන වෛද්‍ය සභාවේ සාමාජිකයින්ට විවිධ වර්ගයේ වරප්‍රසාද සහ වරදාන ලැබෙන බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ප්‍රකාශ සහ නිවේදනයන්ට අනුව සෞඛ්‍ය අංශයේ සිදු වන සෑම අකටයුත්තකමට වැරදිකරු රාජිත සේනාරත්නය වන අතර බහුතරයේ ස්ථාවරය වී තිබෙන්නේ එම සංගමය මෙම "රාජිත භීතිකාවෙන්"  අත්මිදී  මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට කටයුතු කළ යුතු බවය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඉදිරියේ දී  වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරියටද මේ සියලු චෝදනා ඉදිරිපත් කරනු ඇති අතර බහුතරය කියා සිටින්නේ එම  සංගමයට මෙම තත්ත්වය වෙනස් කර ගනිමින් සිය වෘත්තියට ගැළපෙන සංවාදයකට සහ කරුණු සොයා බැලීමකට යාම උචිතය බවය.

කෙසේ වෙතත් රජය විසින් පහත සඳහන් කරුණු සොයා බලා කටයුතු කිරීම අතිශය වැදගත් බව සියලු පාර්ශවයන්ගේ ස්ථාවරය, පිළි ගැනීම සහ විශ්වාසය බව කිව යුතුය. 

1. ලෝකයේ රටවල් කොපමණ ප්‍රමාණයක වෛද්‍ය විද්‍යාල නිරීක්ෂණයන් සඳහා ගොස් සිටීද..?

2. එම නිරීක්ෂණයන්ට රජයේ වියදමින් ගොස් සිටී ද..? එම වියදම කොපමණ ද..?

3. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කොපමණ ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇත්ද..?

4. රජයේ වෛද්‍ය විද්‍යාල කොපමණ ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇත්ද..?

5. රජයේ සහ පෞද්ගලික අංශයේ වෛද්‍ය විද්‍යාල මොනවාද..?

6. මෙම සංචාර සඳහා වෛද්‍ය සභාවේ සහභාගී වූ විශේෂඥයින් කවුද..?

මේ පිළිබඳව සොයා බැලීම රජය සතු වගකීමක් වන අතර, ඒ සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අනුකූලතාවය ලබාදීම සහ කටයුතු කිරීම ඉතා වැදගත්ය.

Advertiesment