Tuesday 20th of October 2020

English Tamil
Advertiesment


20 යනු ජනපති-අගමැති වනසන කුමන්ත්‍රණයක් 


2020-09-13 5723

විස්සේ කර්තෘ මරා ගෙන මැරෙන්නෙකු විනා ව්‍යවස්ථා විශාරදයෙකු නොවේ

 

විස්ස වගේ යෝජනාවලියක් ලිවිය හැක්කේ "කරුණාට හෝ පිල්ලෙයාන්ට" විතරයි  

 

(සුජිත් මංගල ද සිල්වා)


20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය "කරුණා - පිල්ලෙයාන්" ගණයේ මරා ගෙන මැරෙන්න පුුරුදු වූ කෙනෙකුගේ වැඩක් විනා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා විශාරදයෙකුගේ නිර්මාණයක් විය නොහැකි යැයි දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර් ති තෙන්නකෝන් මහතා පවසයි. 

නීතිය, දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය ගැන හැගීමක් සහ අවබෝධයක් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන කිසිම ව්‍යවස්ථා විශාරදයෙක් මෙවැනි විනාශකාරී ලියවිල්ලක් සකස් කරන්නේ නැතැයි ද ඔහු සඳහන් කළේය.

රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ අදහස් පළ කළේ, කොළඹ, නාරාහේන්පිට ඉරිදා (13) පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. 

"20 වැනි සංශෝධනයේ කර්තෘ හැංගිලා... 20 සංශෝධනයෙන් ගෙනෙන්නේ මේ රටේ කවුරුවත් ඉල්ලපු දේවල් නෙවෙයි. ජනාධිපතිවරයාගේ බලය ශක්තිමත් කරන්න ජාතික විගනණ කොමිසම වහන්න ඕනි ද..? ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහන්න ඕනි ද..? මේ රටේ කවුරුවත් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය විගණනයෙන් ඉවත් කරන්න ඉල්ලනවා ද..? මේ වගන්ති ලිව්වේ කවුද..? කිනම් අයෙකුගේ අවශ්‍යතාවයට ද..? මේ කරුණු 20 ට ඇතුළත් කළේ යැයි..?  මේ රටේ ජනතාව දැන ගත යුතුයි. 

ආණ්ඩුවේ නලීන් සිල්වා, ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, අසංග නවරත්න, විමල් වීරවංශ පමණක් නොවෙයි රාජපක්ෂ පවුලේ සමීපතම මන්ත්‍රීවරු පවා මේ සංශෝධනයට විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සංශෝධනයට විරුද්ධවේ යැයි මම සිතන්නේ නෑ. නමුත්, ආණ්ඩු පක්ෂ කණ්ඩායම අභ්‍යන්තරයේම මේ සංශෝධනයට විරුද්ධව මතයක් දැන් ඇති වෙලා තියෙනවා. 

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් සම්ප්‍රදායක් ලෙස පත් කරනු ලැබූවේම අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් දෙදෙනායි. මේ රටේ කවුරුත් කණිෂ්ඨ විනිසුරුවරු අධිකරණ සේවා කොමිෂන් සභාවට පත් කරන්න කියලා ඉල්ලා තියෙනවා ද..? මෙවැනි කටයුතුවලින් සිදු වෙන්නේ මහ ජන ඡන්දයෙන් පත් වුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, මේ රටේ අදටත් ජනප්‍රියම දේශපාලනඥයා වන මහින්ද රාජපක්ෂ මහතාත් දේශපාලන වශයෙන් විනාශ කිරීමට පාර කැපීම පමණයි.  

20 වගේ බලකාමී ලියවිල්ලක් ලියන්නට පුළුවන් "කරුණා - පිල්ලෙයාන්" ගණයේ මරා ගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කළ අයෙකුට පමණයි.  ආණ්ඩුක්‍රම විශාරදයෙකුට,  විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර තුලන හා සංචරණ ක්‍රියාවලිය ගැන විශ්වාස කරන කිසිවෙකුට මෙවැනි විනාශකාරී ලියවිල්ලක් ලියන්න බැහැ.  

වත්මන් ව්‍යවස්ථාවේ 33 වගන්තියේ තියෙනවා, ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ, ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම,
නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණය නිර්මාණය කිරීම කියලා. මේ රටේ කවුරුත්, ජනාධිපතිවරයා ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවයෙන් ඉවත් කරන්න ඉල්ලා සිටියා ද..? 

නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීමට උචිත වාතාවරණය නිර්මාණය කිරීමෙන් ඉවත් කරන්නට යෝජනා කළා ද..? මේ වගේ යෝජනාවලින් ගම්‍ය වන්නේ කුමක් ද? ජනාධිපතිවරයා මෙවැනි ජාතික ප්‍රතිසන්ධානයට, ජාතික ඒකාබද්ධතාවයට, නිදහස් හා සාධාරණ මැතිවරණවලට අකමැති බව කියන්නට නේද..? 

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්නට පුළුවන්ම "කරුණා - පිල්ලෙයාන්" ගණයේ තමනුත් මරා ගෙන, තමන්ගේ හතර වටේ ඉන්න හැමෝමත්  මරා දමන්නට සුදානම් මරා ගෙන මැරෙන බෝම්බකරුවෙකුට විතරයි කියල අප කියන්නේ ඒ නිසයි. 

අදත්, මේ රටේ ජනප්‍රියම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බව එතුමාගේ විරුද්ධවාදීන් පවා පිළි ගන්නවා.  වරක් අගමැති ආර්.ප්‍රේමදාස මහතා කිව්වා, තමන්ගේ අගමැතිකම පියන් තනතුරක් වගේ බව. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ පියන් අගමැති, විධායක අගමැති මට්ටමට ගෙනාවේ 19 යි.  අගමැතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලය, කලින් හිටපු රත්නසිරි වික්‍රමනායක, දී.මු. ජයරත්නට විතරක් නෙවෙයි, ලෙඩ ඇදේ හිටපු සිරිමා බණ්ඩාරනායක මහත්මියටත් වඩා අඩු කරන්න යෝජනා කිරීමෙන් මේ රටට සිදු වන යහපත කුමක් ද..? 

අගැමතිවරයාට විතරයක් නෙවෙයි කැබිනට් මණ්ඩලයට තිබෙන බලතල විශාල ප්‍රමාණයක් 20 වැනි සංශෝධනයෙක් කපා දමා තිබෙනවා. 20 සම්මත වුණොත්, මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලය නැවත "පියන්"ගේ තත්ත්වයටම වැටෙනවා.  මේ රටේ කවුරුවත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා පියන් කෙනෙක් කරන්න ඉල්ලලා තියෙනවා ද..? 

මේ රටේ කවුරුවත්, ඇමති මණ්ඩලය 30 ට වැඩිය අසීමිතව වැඩි කරන්නට ඉල්ලනවා ද..?  රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සියයට වැඩි ගානක් පත් කරන්න ඉල්ලනවා ද..? නැති නම් ආමත්‍ය මණ්ඩලය අඩු කරන්නට ද ඉල්ලන්නේ..?  2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහත්තයා විනාශ වුණේ අති විශාල අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට එල්ල වූ ජනතාව විරෝධය නිසා කියලා 20 සංශෝධනය ලියපු අයට අමතක වෙලා තියෙනවා.  

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුද්දකට පස්සේ පාර් ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙනවා. 70 (1) වගන්තියෙන්, අවුරුදු 5 කින් විිසුරුවන්න ජනතාව ඡන්දය දෙන ආණ්ඩුව අවුරුද්දකට පස්සේ විසිරුවන්න ජනාධිපතිට බලය දෙන්න මේ රටේ කවුරුහරි ඉල්ලුවා ද..? මේ වගන්ති කිනම් අයෙකුගේ උවමනාවට ලියන දේවල් ද? 

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහේසි කරනවා කියන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලය සීමා කරන වගන්ති 13 ක් ද, විධායකය, පාර් ලිමේන්තුව සහ  අධිකරණය කියන ආයතන අතර තුලන සහ සංචරනය ක්‍රියාවලිය පාලනය කරන වගන්ති 26 ක් ද, මානව හිමිකම් පිළිබඳ වගන්තියක් ද, 
අගමැති සහ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයාගේ බලය ලබා දුන් වගන්ති 3 ක් ද, අහෝසි වීමයි. 

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලය අඩු කරන්න ජනමත විචාරණයක් තිබ්බොත් මේ රටේ මිනිසුන් අනිවාර්යයෙන්ම ඒ මතය පරද්දනවා. ඒ මන්ද එතුමා තවමත් මේ රටේ ජනප්‍රිතම දේශපාලනඥයා නිසා. කවුද මේ මහජන ඡන්දයෙන් පත් වෙච්ච ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම දේශපාලනිකව විනාශ කරන 20 වන සංශෝධනය ලිව්වේ..? 

මේ රටේ රාජ්‍ය සේවයට පැමිණෙන කම්රුවෙක් වුණත් 53 වන වගන්තියේ 7 වන උප ලේඛනයේ තියෙන මේ රට බෙදන්නේ නෑ කියන දිවුරුම ලබා දෙනවා. ඒකත් අයින් කරලා. පාර්ලිමේන්තුවට හදිසි පනත් ගෙන ඒම, නැවැත්වීම අත්‍යවශ්‍යයි. ඉතිහාසය පුරාම ගෙනාපු හදිසි පනත් මිනිස්සුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා.  

නව පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් පසුව මහජන සංවාදය සඳහා දී තියෙන දින 14 ක කාලය, දින 7 දක්වා අඩු කරන්නේ කවුරුහරි බල උන්මත්තකයෙකුගේ අවශ්‍යතාවයට විනා මහජන වරමක් තියෙන ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ අවශ්‍යතාවයට වෙන්න බෑ. මම දැක්කා, මේ ආණ්ඩුව හදන්න මැදිහත් වුණු බල කේන්ද්‍රයේ ඉන්නවා කියලා අපි හිතා ගෙන හිටපු ගුණදාස අමරසේකර සහ නලීන් සිල්වා වගේ අය පවා මේ යෝජනාවලට විරුද්ධ වෙනවා. 

මේ මරා ගෙන මැරෙන 20 වන සංශෝධනය ගුණදාස අමරසේකරලාව බල කේන්ද්‍රයෙන් පරිධියටම තල්ලු කරලා දාලා තියෙනවා. බල කේන්ද්‍රයේ ඉදන්, මහ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයට මේ මරා ගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන ලියවිල්ල සකස් කළේ කවුද කියලා දැන ගන්න පොහොට්ටුවට ඡන්දය දුන් සෑම රටවැසියෙකුට අයිතියක් තියෙනවා. 

ලෙකෝ, රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්, ශ්‍රී ලංකන්, ලිට්‍රෝ ගෑස්, ලංකා සතොස, ගල් අඟුරු සමාගම, වතු සමාගම් මෑත කාලයේ දුෂණ වංචා පිළිබඳ චෝදනා එල්ලවූ ආයතන වෙනවා.  20 න් මෙවැනි ආයතන 127 ක් විගණනය කිරීමට ඇති බලය විගණකාධිපතිගෙන් ඉවත් කරලා තියෙනවා. ලෙකෝ සහ  ලිට්‍රෝ ආයතන ඒ ඒ අයගේ බිල් ගෙවන ආයතන බවට පත් වීම පමණයි මෙමගින් සිදු වන්නේ. 

ජනාධිපති සහ අගමැති කාර්යාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තිය යටතේ විගණනය කළ යුතු ආයතන වෙනවා. සිල්රෙදි වගේ වැඩක් දෙන්නට නොවේ නම්, ඇයි මේ වගන්ති ඇතුළත් කරන්නේ.  ජනාධිපති ලේකම්, අගමැති ලේකම් මරා ගෙන මැරෙන්න නොවේ නම්, ආයෙත් සැරයක් හිරේ දාන්න නේද මේ උත්සහ කරන්නේ? 

Advertiesment