එළඹී ඇත්තේ වසන්ත සමයයි. මල් ගොමු ගුමු ගුමු ගැන්වෙන මුළු ලොව මඟුල් සක්වලක් වන වසන්ත සමයයි. පෙම්වතුන් ආදරෙන් වෙළෙමින් ජීවිතය ගැන හීන පොදි බැඳගෙන කුලගෙට යන වසන්ත සමයයි. බැලූ බැලූ හැම පසෙකම වාගේ විවාහ උත්සව බහුල කාලයකි මේ එළැඹ ඇත්තේ. මේ වසත් කාලයේ කලා ක්ෂේත්‍රයේ සුරූපිණියන් තිදෙනෙක්ටත් මංගල සීනු හැඬවුණු බව මේ වනවිටත් සියල්ලන්ම දන්නා කියන කාරණයක්. රංගන ශිල්පිනි දමිතා අබේරත්න, දිනක්ෂි ප්‍රියසාද් සහ විනූ සිරිවර්ධන ඒ පතිකුලයට ගිය මනාලියන්. දහසකුත් එකක් බලාපොරොත්තු එකතු කරගෙන ගිය කුලගෙය ගැන වතගොත ඔවුන් කිව්වේ මෙලෙසයි.
හා හා පුරා කියලා පටන්ගත්ත ජීවිතේ කොහොමද..?
අලුත් ජීවිතේ ගොඩක් සතුටින් හොඳීන් ගත කරනවා.
ඔබේ සැමියා ගැන විස්තර කිව්වොත්..?
එයාගේ නම කසුන් ලියනගේ. ඔහු බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඔහු ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය උසස් පෙළ උපකාරක පංති ගුරුවරයෙක්. ආයතන බොහෝමයක කළමනාකරවරයෙක් හැටියටත් ඔහු කටයුතු කරලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිය කෙනෙක් එයා.
ඉස්සරහට අපි විනූට කතා කරන්න ඕනේ විනූ සිරිවර්ධන කියලාද විනූ ලියනගේ කියලාද..?
ඔව්. විවාහයෙන් පසුව ඉස්සරහට මම ලියනගේ තමයි. ගොඩක් අය මාව හඳුන්වන්නේ විනූ සිරිවර්ධන විදිහට. ඉස්සරහට විනූ සිරිවර්ධන ලියනගේ විදිහට තමයි මාව හඳුන්වන්න වෙන්නේ.
මේ ආදර කතාව ඇරඹුණේ කොහොමද..?
අපි මුණගැහෙන්නේ යෝජනාවකින්. ඊටපස්සේ ඒක ආදර සබඳතාවකට හැරවෙනවා. ඒ යෝජනාව අරගෙන එන්නෙත් අපේම යාළුවෙක්. අපි දෙන්නටම තේරුණා අපේ අදහස් සහ අනෙක් සියලු දේ ගැළපෙන බව. ඉතින් අපි ඉක්මනින් විවාහ වෙන්න තීරණය කළා.
ඔබ දෙපළ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක නියැළෙන්නන්. කොහොමද මේ ක්ෂේත්‍ර දෙක එකට ගළපගත්තේ..?
ඇත්තටම රංගන ක්ෂේත්‍රයේ බොහෝදෙනෙක් ගැන එයා දැනුවත් නැහැ. එයා දන්නේ අපේ රටේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ව. අපේ විවාහ උත්සවය දවසේදිත් ඔහු කිව්වේ "මම ආදරය කරන්නේ රංගන ශිල්පිනියකට නෙමෙයි, විනූ සිරිවර්ධන කියන යුවතියට" කියලා. මමට එයාගේ වෘත්තිය අපේ ආදරේට හේතුවක් වුණෙත් නැහැ. ආදරෙට බාධාවක් වුණෙත් නැහැ. ඔහුගේ වෘත්තිය ගැන මට ලොකු අවබෝධයක් නැහැ. විවාහයෙන් පසුව තමයි මම කසුන්ගේ ක්ෂේත්‍රයේ ඔහු කොච්චර ජනප්‍රියයිද කියලා දැනගත්තේ.
එතකොට කසුන් සර් විනූට මොනවද ඉගැන්නුවේ..?
එයා මට ඉගැන්නුවේ ආදරය සහ ජීවිතේ ගැන පාඩම තමයි.
විවාහයෙන් පසුව විනූට තව පවුලකුත් ලැබුණා නේද..?
ඔව්. දැන් මම ජීවත් වෙන්නේ කසුන්ගේ ගෙදර. ඔහුගේ මවත් පියාත් එක්ක සතුටින් කාලය ගත කරනවා. ඒ මවුපියන් මට සලකන්නේ ලේළි කෙනෙක් විදිහට නෙමෙයි ඔවුන්ගෙම දරුවෙක් විදිහට. මම අවංකවම සතුටු වෙනවා මගේ ස්වාමියා වගේම ඔහුගේ පවුලේ පිරිස ගැන. විශේෂයෙන් අම්මා, තාත්තා සහ ඔහුගේ අක්කා. ඒ වගේ පවුලක් ලැබෙන්න මම ගොඩක් වාසනාවන්තයි.
විනූගේ ඉදිරි රංගන වැඩකටයුතු ගැනත් කියමු..?
මම රංගනයෙන් දායක වුණු "බිතු සිතුවම්" ටෙලිනාට්‍ය විකාශය අවසන් වුණා පසුගිය දිනවලදි. ඊට අමතරව ලැබුණු ආරාධනා අතරින් අලුත් ටෙලිනාට්‍යයක් භාරගන්නවා කියන අදහසෙන් ඉන්නවා.
අනිත් අය වගේ විනුත් විවාහයෙන් පසුව රංගනයෙන් ඈත්වෙයිද..?
ඇත්තටම මීට පෙර හිටියා වගේ ලොකුවට රංගනයත් එක්ක කාර්යබහුල වෙන්න බලාපොරොත්තුවක් නැහැ. යම් යම් කලා කටයුතු සීමා කරයි. කොහොමත් මම නිවේදන කටයුතු නතර කරන්නේ නැහැ. එක්‍තරා නිෂ්පාදනයක සන්නාම තානාපතිනිය ලෙස වැඩ කරන නිසා ඊට අදාළ වැඩවලට සහභාගි වෙනවා. රංගනය ටිකක් සීමා කරලා පවුල් ජීවිතය සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා.
කොහොමද ඉතින් අලුත් ජීවිතේ..?
අලුත් ජීවිතේ ඇත්තටම මට අලුත්. ඒක වචනවලින් විස්තර කරන්න බැහැ.
දමිතා විවාහ වුණේ හදිස්සියේම නේද..?
අපි දැන හඳුනගෙන දැන් අවුරුදු 18ක් වෙනවා. හැම හොඳ සිදුවීමක්ම වෙන්නේ පරක්කු වෙලා. මම විශ්වාස කරනවා ඒ පරක්කු වෙලා ලැබෙන දේවල් සදාකාලිකයි කියලා. අවුරුදු 18ක් හඳුනගෙන හිටියාට ඇත්ත ජීවිතේ මනමාලියක් හරි මනමාලයෙක් වෙන්න ආසාවක් තිබුණා. ඒත් ලොකු උත්සවයක් අරගෙන විවාහ වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපි දෙන්නා කලින් විවාහය රෙජිස්‍ටර් කළා. මේ වගේ ඡායාරූප පෙළක් ගන්න ජීවිතේ හීනයක් තිබුණා. රංගනයේදී මම කොයිතරම් වාරයක් මනමාලියක් වුණත් ඇත්ත ජීවිතයේදී මනමාලියක් වෙනවා කියන එක විඳීන්න ඕනේ.
ඒ හීනය කොහොමහරි හැබෑ කරගත්තා..?
ඔව් ඇත්තටම ඒ හීනය අපිට හැබෑ කරගන්න පුළුවන් වුණේ කීපදෙනෙක් නිසා. ප්‍රනීත් රණවක, රඛිත උක්වත්ත, ප්‍රියංක රත්නායක, මලිත් හෙට්ටිහේවා, රෝයි ක්‍රිෂ්, සබීතා ඉඳුනිල් මේ පිරිස තමයි මේ ඔක්කොම වැඩ ටික කළේ. මගේ ඇඳුම් නිර්මාණය, හැඩගැන්වීම ඉඳලා අපේ photo shoot එක දක්වා සියල්ලම කළේ මේ අය. අපිටත් වැඩිය අපේ හීනය දකින්න ඕනේ වෙලා තිබුණේ ඒ අයට.
ඔබේ ස්වාමියා ගැන විස්තර කියමු..?
එයාගේ නම ලෙන්ලි ජොන්සන්. එයයි මමයි මුණගැහිලා අවුරුදු 18ක් වෙනවා. මගේ හිතේ හිටපු මහපොළොවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක් එයා. මහා මන්දිරයෙත් ඉන්න පුළුවන්, බිම ඉඳගන්නත් පුළුවන් මනුස්සයෙක්ව තමයි මම හෙව්වේ. ඉතින් ඒ මනුස්සයා මට හම්බුණා. එයා වෘත්තියෙන් ව්‍යාපාර උපදේශකවරයෙක්. දැනට අපි දෙන්නත් ව්‍යාපාරයක් කරගෙන යනවා.
මිස් දමිතා මිසිස් වෙන්න පරක්කු වුණා කියලා හිතෙන්නේ නැද්ද..?
මම එහෙම හිතන්නේ නැහැ. පරක්කු වෙලා ලැබෙන දේවල් හරිම සුන්දරයි සහ තමුන් එක්කම රැඳෙනවා. ඒ නිසා මම කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නැහැ. ජීවත් වෙන්න අවබෝධය සහ ආදරයයි වැදගත්. වෙලාව සහ වයස නෙමෙයි වැදගත් වෙන්නේ. මට සතුටුයි මං එක්කම වගේ දිනක්ෂි ප්‍රියසාද් සහ විනූ සිරිවර්ධන නංගිලා විවාහ වුණා. මට සතුටුයි ඒ අය ගැන. ඒ අයටත් ලස්සන ජීවිතයකට මම සුබපතනවා.
දමිතා දැන් ගෘහණියක් විදිහට මේ දිනවල කාර්යබහුල ඇති නේද..?
අම්මා උදේම උයන නිසා උයන්න නම් ඉඩකඩ ලැබෙනවා අඩුයි. ගෙදර අස්පස් කරන වැඩ අපි දෙන්නත් එක්කම එකතු වෙලා කරනවා. මට උයන වැඩේට උයන්න උදවු කරන්න අම්මාගෙන් අවස්ථාව ලැබෙනවා අඩුයි. ඒ හැරුණුකොට ගෙදර අනිත් වැඩ ඔක්කොම වගේ අපි කරනවා.
දෙන්නා තුන්දෙනා වෙන්න බලාපොරොත්තුවක් නැද්ද..?
ඒකට නම් දැන් කාලේ හරි කියලා හිතෙනවා. මගේ ජීවිතේ තිබුණු අනිත් හීනේ තමයි අම්මා කෙනෙක් වෙන එක. ඒක හිතේ කොනක ගැඹුරින්ම තිබුණු ආසාවක්. රංගනයේදී මම ළමයි දෙසීයකගේ විතර අම්මා වෙලා තියෙනවා. දැන් ඇත්තටම ඒ හැඟීම විඳීන්න මම ආසයි. හැම ගැහැනියකටම තියෙන බොහොම ආදරණීය හැඟීමක් ඒක. මටත් ඒ විදිහටම ඒක තියෙනවා. මම හිතනවා ඒක ඉක්මන්ටම දෙවියෝ ලබාදෙයි කියලා.
ඔබට ස්තූති කරන්න පිරිසක් ඇති..?
අපේ photo shoot එකට ඉසුරුමුණිය location එක ගන්න අවසර දුන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ඒ වගේම විශේෂයෙන් ස්තුතියි කරන්න ඕනේ තිලකරත්න දිල්ෂාන්ට සහ මංජුලා තිළිණිට. D Pavilion හොටෙල් එක මගේ western bridel shoot එකට ලබාදුන්නාට. ඔවුන් ඉතාම නිහතමානීව අපිට ගොඩක් උදවු කළා. ඒ වගේම indian bridal shoot එක කරන්න කොළඹ කෛලාෂනාසර් කෝවිල අපිට දුන්නාට කෛලාෂ මල්ලිටත් ස්තුතියි වෙනවා මම.
කොහොමද අලුත් ජීවිතේ..?
බැන්දා කියලා ලොකු වෙනසක් නැහැ. හිටියා වගේම තමයි. අපි දෙන්නා හොඳීන් ඉන්නවා.
විවාහයෙන් පසුව දිනක්ෂි සහ සාරංග ජීවත් වෙන්නේ කොහෙද..?
මම අපේ ගෙදරින් සාරංගගේ ගෙදරට යනවා.
පවුලේ අය දාලා යන්න දුක හිතුණේ නැද්ද..?
දුකයි. හැබැයි අපි ඔක්කොම ඉන්නේ එක ළඟ. මගේ ගෙවල් තියෙන්නේ හෝමාගම. සාරංග ඉන්නේ අතුරුගිරියේ. ඉතින් මට ගෙදර අයව බලන්න ඕනේ නම් ඉක්මන්ට යන්න පුළුවන් ගෙදරට. මම හිතන්නේ නැහැ ඒ නිසා ලොකු වෙනසක් වෙයි කියලා.
දිනක්ෂිට සාරංගත් එක්කම ලොකු පවුලකුත් ලැබෙනවා නේද..?
ඔව් ලොකු පවුලක් සහ නෑදෑයෝ පිරිසක් මට ලැබෙනවා. ඒ අය ඔක්කොම හොඳ මිනිස්සු. ඉස්සර ඉඳන්ම මම පවුලේ අයව දන්නව. මම තාම ගෙදරට ගියේ නැහැ. අපි එදිනෙදා හම්බුණාම තියෙන හිතවත්කම් ඒ විදිහටම තියේවි කියලා මම හිතනවා.
අනෙක් රංගන ශිල්පිනියන් විවාහ වුණාට පසුව රංගනයෙන් ඈත් වෙනවා. දිනක්ෂිත් එහෙම වෙයිද..?
මම විවාහය නිසා ජීවිතේ ලොකු වෙනස්කම් කරනවාද කියලා තවම හිතලා නැහැ. හිටපු විදිහට කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. වෙනසක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා.
දිනක්ෂි සහ සාරංග කියන්නේ විවාහයත් සමඟ මේ මොහොතේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන යුවළක්. ඔබ දෙපළට සුබපැතූ ප්‍රේක්ෂකයන්ට යමක් කියන්න ඇති..?
ගොඩාක් අය අපිට සුබපැතුම් එකතු කරලා තියෙනවා. ඒ අයට ස්තූති කරන්නවත් අපිට තවම හරියට වෙලාවක් ලැබුණේ නැහැ. අපි දෙන්නගේ හොඳ කාලවලදී සහ නරක කාලවලදී අපි එක්ක එකට හිටපු ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම අපි දෙන්නගේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඉදිරියේදීත් අපි එක්ක අපේ නිර්මාණ හරහා ඒ අය දිගටම ඉඳීවි කියලා හිතනවා.
ඔබේ විවාහයත් සමඟ සමහර ප්‍රේක්ෂකයන් කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිත අනවශ්‍ය ලෙස හාරවුස්සන බවක් පෙනෙනවා. ඒ අයට යමක් කියන්න ඇති..?
ඒ අය කරන කියන දේවල්වලින් අදාළ පුද්ගලයන් හැඳුණු විදිහ සහ සමාජ වටපිටාව පිළිබිඹු වෙනවා. කොයි වෙලාවකවත් අපිට ඒ අය කියන දේවල්වල බලපෑමක් නැහැ. ඒවා ඇවිත් නිකං පාවෙලා යනවා. අපේ ජීවිතවල වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඒ විවේචන කරන අය තමන්ගේ ජීවිතවලට ඍණාත්මක දේවල් එකතු කරගනීවි.
ඉදිරියට දිනක්ෂි සම්බන්ධ වෙන කලා වැඩකටයුතු ගැනත් කියමු..?
මේ දවස්වල "අකුරු මැකී නෑ" ටෙලිනාට්‍ය හිරු නාළිකාවේ විකාශය වෙනවා. දිගටම එහි රූගත කිරීම් සිදුවෙනවා. තව චිත්‍රපටයක් සහ අලුත් ටෙලිනාට්‍යයක් කරන්න සාකච්ඡා කරනවා. තව ටෙලිනාට්‍යයක් රූගත කිරීම සිදුවෙනවා සිවගුරුනාදන් මහත්මයාගේ "තිරය ඇරපන්" කියලා. එහි වැඩකටයුතු ඉදිරියේදි කිරීමට නියමිතයි.
සාරංග වගේ දිනක්ෂිටත් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න අදහසක් නැද්ද..?
නැහැ. ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අදහසක් නැහැ. සාරංගගේ වැඩවලට සහ තාත්තාගේ වැඩවලට උදවු කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
-සරසවිය-
Lanka Newsweek © 2023