Tuesday 20th of October 2020

English Tamil
Advertiesment


19ට සිනාසීම හා 20ට හැඬීම


2020-09-12 2861

(වික්ටර් අයිවන්) 

 

20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම විෂයෙහි ලංකාව ආපස්සට තබන ලද ප්‍රබල පියවරක් ලෙස සැලකිය හැකිය. මගේ මතය අනුව 20 වන සංශෝධනය සමග රටේ එක යුගයක් අවසන් වේ. එසේ අවසන් වන යුගය ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් ලෙස සැලකිය නොහැකිවා සේ ම 20 වන සංශෝධනයෙන් ආරම්භ වන නව යුගයද ඒකාධිපති ක්‍රමයකට බර තබන ලද යුගයක් වශයෙන් මිස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට බර තබන ලද යුගයක් ලෙස සැලකිය නොහැකිය. 19 වන සංශෝධනය අවසන් වන යුගය හා 20 වැනි සංශෝධනයෙන් ආරම්භ වන යුගය අතර ප්‍රමාණාත්මක වෙනසක් මිස, ගුණාත්මක වෙනසක් තිබිය නොහැකිය. නිදහසේ සිටම ලංකාව සාමාන්‍යයෙන් සැලකෙන්නේ එක දිගට මැතිවරණ පවත්වන ලද රටක් ලෙසය. බොහෝ දෙනෙක් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සලකනුයේ ඒ නිසාය. විටින් විට බලයට පත්වූ පාලකයන් තේරී පත්වී තිබෙන්නේ මහජන ඡන්දයෙන් වුවත් නිදහසේ සිට රටේ බොහෝ කටයුතු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට සිදුවී තිබෙන්නේ යැයි කිව නොහැකිය.

 

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රහේළිකා

 

ලංකාවට නිදහස ලැබෙන විට ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ස්වයං පාලන තත්ත්වයක් පවත්වාගෙන යා හැකි දියුණු තත්ත්වයක ලංකා සමාජය නොතිබුණි. නිදහසින් පසුත් ඒ තත්ත්වයෙහි ලොකු දියුණුවක් ඇති නොවීය.

ඉන්දියානු නිදහස් ව්‍යාපාරය සමග සසඳන විට ලංකාවේ ජාතික සංගම් ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් තිබුණේ ඉතාමත් නොදියුණු පසුගාමී තත්ත්වයකය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ නායකයන් අතර ලිබරල්වාදය පිළිබඳව න්‍යායික අවබෝධයක් තිබූ නායකයන් විශාල ගණනක් සිටි අතර ලංකාවේ ජාතික සංගම් නායකයන් අතර ලිබරල් න්‍යාය ධර්ම ගැන අවබෝධයක් තිබූ එකදු පුද්ගලයෙකුවත් නොසිටි තරම් යැයි කිව හැකිය. ජාතික සංගම් ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි ව්‍යාපාරයක් නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සමාජගත කිරීම සම්බන්ධයෙන්ද එම ව්‍යාපාරය අතින් කිසිදු වැදගත් කාර්යභාරයක් ඉටු නොවීය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් එය කොතරම් පසුගාමී අදහස් දරන ලද ව්‍යාපාරයක්ද වීද කියන්නේ නම් එම ව්‍යාපාරය ලංකාවට සර්වජන ඡන්දය ලබාදෙනවාට පවා තරයේ විරුද්ධ විය.

 

නිදහස ලැබීම

 

ලංකා සමාජය ප්‍රජාතන්ත්‍රවාදයට එකතුවී තිබූ තරමේ ලොකු දුප්පත්කමක් තිබුණද බි්‍රතාන්‍යයන් ලංකාවට නිදහස ලබාදී ලංකාව අතහැර යන විට ලංකාවට වෙස්ට්මිනිස්ටර් පන්නයේ අංගසම්පූර්ණ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක්ද ලබාදී තිබුණි. එහෙත් එම ආණ්ඩුක්‍රමය ශක්තිමත් ලෙස හා නිර්මාණශීලී ලෙස ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී දැනුමක් හෝ ශික්ෂණයක් ලංකාවේ ජාතික නායකයන්ට හෝ සමාජයට නොතිබුණි.

නිදහස ලැබෙන අවස්ථාව වන විට ලංකාවේ ස්වදේශීය ජන කණ්ඩායම් අතුරින් ලිබරල් න්‍යාය ධර්ම ගැන ගැඹුරු වැටහීමක් තිබූ එකම ජන කණ්ඩායම ලෙස සැලකිය හැක්කේ බර්ගර්වරුන්ය. ලිබරල්වාදී අදහස් සිංහල දෙමළ හා මුස්ලිම් ජනයා අතරට ප්‍රචලිත විය යුතුව තිබුණේ ඔවුන් හරහාය. එහෙත් ලංකාවේ ස්වදේශිකයන් අතර බර්ගර්වරුන් පිළිබඳව තිබුණේ යහපත් ආකල්පයක් නොව ඔවුන් දෙස අවඥාවෙන් බලන ආකල්පයකි. අනෙකුත් ස්වදේශිකයන් ඔවුන්ව හඳුන්වන ලද්දේ තුප්පහි ලන්සින් හෝ කැරපොතු ලන්සින් වශයෙනි. ඒ නිසා නිදහස් ලංකාවේ තමන්ට අනාගතයක් නැතැයි කියන හැඟීම නිදහස ලැබෙන කාලය වනවිට ලංකාවේ ජීවත් වූ බර්ගර්වරුන් අතර බලවත් ලෙස ගොඩනැගී තිබුණි.

ඒ වනවිට ලංකාවේ රාජ්‍ය සේවයේ විශේෂ වශයෙන් අධිකරණ සේවයේ කොඳු නාරටිය හැටියට ක්‍රියා කළේ බර්ගර්වරුන්ය. නිදහසත් සමග අධිකරණ සේවය හා රාජ්‍ය සේවයේ නිරත යුරෝපීන් පමණක් නොව බර්ගර්වරුන්ද තොග ගණනින් රට අතහැර යාම නිසා විශේෂයෙන්ම අධිකරණ සේවයේ හා රාජ්‍ය සේවයේ පරිහානියක් ඇතිවූ අතර ලිබරල් ආකල්පවලින් පෝෂිත ජන කණ්ඩායමක් ලෙස සැලකිය හැකි බර්ග්වරුන්ගේ නික්ම යාම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට බලපෑ වැදගත් සාධකයක් ලෙසද ක්‍රියා කළේය.

 

 

ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම

 

ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් හා හික්මීමක් තිබෙන රටක් සිරිතක් ලෙස රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි අතිවිශාල විශ්වාසයක් හා ගෞරවයක් දක්වයි. එවැනි රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සලකන්නේ ඉතාමත් බරපතළ වරදක් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයක් ගැන අසන්නට ලැබෙන්නේ නැති තරම්ය. ඇමරිකන් ව්‍යවස්ථාව අවුරුදු 231ක් තරම් පැරණිය. එම දීර්ඝ ඉතිහාසය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්තේ එක ජනාධිපතිවරයකු අතින් පමණය.

ඇමරිකන් ජනාධිපතිවරයකුට හිමි ධුර කාල ප්‍රමාණය ගැන ඇමරිකන් ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නැත. ඇමරිකාවේ ජනාධිපතිවරයකුගේ ධුර කාලය අවුරුදු 4කි. ආරම්භක ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්ගේ සිට රුස්වෙල්ට් දක්වා වන සියලු ජනාධිපතිවරුන් ධුරය දරා ඇත්තේ ධුර කාල දෙකක් පමණය. එය ව්‍යවස්ථාවේ සඳහන් නියමයක් නොවුණද එය එම තනතුර පත්වන ජනාධිපතිවරුන් රැකිය යුතු සම්ප්‍රදායක් ලෙස සලකන ලදි.

එහෙත් දෙවන ලෝක යුද්ධ කාලයේදී ජනාධිපති ධුරයට පත් රුස්වෙල්ට් ජනාධිපතිවරයා එතෙක් පැවති සම්ප්‍රදායන්ට පටහැනිව ධුර කාල හතරක් තනතුරෙහි සිටියේය. ඒ වරද වෙනත් ජනාධිපතිවරයෙකුට කරන්නට ඉඩ නොතැබීම 1952දී ව්‍යවස්ථාවට එකතු කළ 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයකුට ධුරයේ සිටිය හැකි ධුර කාල ගණන දෙක දක්වා සීමා කරන ලදි.

ඉන්දියාවේද ඉන්දිරා ගාන්ධිගේ අවසාන පාලන කාලයේදී විශාල බහුතර බලයක් තිබූ ඇගේ ආණ්ඩුව අතින් බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක් සිදුවිය. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවන ආකාරයට ඇය ඉදිරිපත් කරන ලද 42 වන සංශෝධනයට අධිකරණයෙන් බලවත් විරෝධයක් එල්ල වුවත් ඇය තමන්ට තිබූ වැඩි බලය ප්‍රයෝජනයට ගනිමින් එම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරගැනීමට සමත් වූවාය.

ඉන්දිරා ගාන්ධි පාලනය වෙනස්වීමත් සමග ව්‍යවස්ථාව විකෘති කිරීමට හේතුවූ 42 වැනි සංශෝධනය බලරහිත කිරීමට හේතුවන ලෙස 1978දී 43 හා 44 වැනි සංශෝධන නීතිගත කෙරුණු අතර තවදුරටත් එවැනි විකෘතිවීම් සිදුවීම වැළකීම සඳහා ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය වෙනස් කිරීමට හේතුවන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරන ලදි.

 

ව්‍යවස්ථා කෙළෙසීම

 

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හෝ කෙළෙසීම පිළිබඳ විෂයේදී ලංකාව ලොව ප්‍රමුඛම නාමධාරී තත්ත්වයක් හිමි කරගත් රටක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිදහසේ සිට වර්තමානය දක්වාම නිරන්තරයෙන් රාජ්‍ය පාලකයන් අතින් සිදුවන සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන අතර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හෝ කෙළෙසීම ලංකාව බරපතළ වරදක් ලෙස සැලකෙන්නේද නැත.

සෝල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පෙරාතුව පුරවැසි අයිතිවාසිකම් ලැබිය යුතු පුරවැසියන්ටද පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීමට හේතුවන ලෙස පුරවැසි අන පනත් ඇති කිරීම මගින් ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලදි. ඉන්පසු දෙමළ ජනතාවගේ සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීමට හේතුවන ලෙස රාජ්‍ය භාෂා නීතියක් ඇති කිරීම මගින් 1956දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින්ද ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලදි. ඉන්පසු 1970 බලයට පැමිණි ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් සභාග ආණ්ඩුව 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව ඇති කළේද පිළිගත් ව්‍යවස්ථා සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමට හේතුවන ආකාරයටය. ඉන්පසු 1978දී දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරන ලද්දේද පිළිගත් ව්‍යවස්ථා සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමට හේතුවන ආකාරයටය.

1978න් පසු යූඑන්පී දාහත් අවුරුදු පාලන කාලය තුළ චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද අවස්ථා සංඛ්‍යාව විශාලය. යූඑන්පියට හයෙන් පහේ බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයක් මගින් දීර්ඝ කරගැනීම එම පාලන කාලය තුළ සිදුවූ තුච්ඡතම ව්‍යවස්ථා උල්ලංඝනය ලෙස සැලකිය හැකිය.

ඉන්පසු බලයට පත්වන ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලයක් නැතිවත් අධිකරණයේ සහාය ලබාගැනීම මගින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඉන්පසු බලයට පත්වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන්ද ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ජනාධිපතිවරුන් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන අධිකරණයද බොහෝ පාලකයන් කරන ලද ව්‍යවස්ථා උල්ලංඝනවලදී ඔවුන් සමග එකතු වී ව්‍යවස්ථාව කෙලසන පිළිවෙතක් අනුගමනය කිරීම ලංකාවේ ව්‍යවස්ථා උල්ලංඝනයන්ට ආවේණික වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

 

ප්‍රජාතන්ත්‍රවාදය කනපිට හැරවීම

 

මහජන නියෝජිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය මුළුමනින් කනපිට හරවන තත්ත්වයක් ඇතිවන්නේ 1978දී ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසුවය. ඒ සමග පාර්ලිමේන්තුවට තිබුණු උත්තරීතරභාවය අහිමි වී පාර්ලිමේන්තුව ජනාධිපතිගේ රබර් මුද්‍රාවක තත්ත්වයකට පත්විය. මන්ත්‍රීවරුන් තෘප්තිමත් තත්ත්වයක තබාගැනීම අවශ්‍ය නිසාදෝ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට හා නීතියට පටහැනිව ඔවුන්ගේ මහජන නියෝජිතයින්ගේ ස්වභාවය කෙළෙසීමට හේතුවන වරප්‍රසාද හා වරදාන ලබාදෙන ක්‍රමයක් ඇති කරන ලදි. ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් බවට පත්වූහ. ඒ සමග මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් සඳහා පවත්වාගෙන ගිය ඔවුන්ගේ වියදම් නීතියෙන් සීමා කරන ක්‍රමයද ඔවුන්ට මැතිවරණවලදී ලැබෙන මුදල් මැතිවරණවලදී වියදම් කරන ක්‍රමයක් විගණනය කරන ක්‍රමයද අහෝසි කොට අපේක්ෂකයන්ට කළු සල්ලිකාරයන් සමග කල්ලි ගැසී ක්‍රියා කරන තත්ත්වයක් ඇති කර දෙන ලදි. එම තත්ත්වය පාර්ලිමේන්තුවේ ස්වභාවය පමණක් නොව, රාජ්‍යයේ ස්වභාවයද වෙනස් කළේය. රාජ්‍ය බලය සඳහා කෙරෙන තරගය රට පාලනය කිරීමේ අයිතියට අතිරේකව පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය සඳහා කෙරෙන වියරු තරගයක් බවට පත්විය. ඒ සමග තමන් භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකෑම ලංකාවේ රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්විය.

ඒ ආකාරයට ඇතිවූ වෙනස්කම් මහජන මන්ත්‍රීවරුන්ගේ පිළිගැනීමට මිස විරෝධයට හේතුවූයේ නැත. එතැන් පටන් දේශපාලන ක්‍රමයට එකතු කරන ලද සියලු ප්‍රතිසංස්කරණ (19ද ඇතුළු) රාජ්‍ය පාලනයේ නාමයෙන් ක්‍රියාත්මක වූ වස්තු කොල්ලයේ සැබෑ ස්වභාවය වසන් කොට එම ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදී පෙනුමක් ලබාදීම සඳහා පළඳවන ලද බොරු පළඳනා ලෙස සැලකිය හැකිය.

මැතිවරණ කොමිසම පමණක් නිදර්ශනයට ගෙන ලංකාවේ පවත්නා එම අවලස්සන තත්ත්වය පැහැදිලි කළ හැකිය. මැතිවරණ කොමිෂන් සභා ක්‍රමයක්, ඉන්දියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 12ක පමණ ක්‍රියාත්මක වේ. ලංකාවේ හැර ඒ හැම රටකම පාහේ මැතිවරණ කොමිෂන් සභා ගොඩ නගා තිබෙන්නේ දේශපාලන පක්ෂවල අරමුදල්, මැතිවරණවලදී දේශපාලන පක්ෂ අපේක්ෂකයන් කරන වියදම්, දේශපාලන පක්ෂවල අභ්‍යන්තර කටයුතු එම පක්ෂවල ව්‍යවස්ථාවට අනුකූලව සිදුවන්නේද කියා සොයා බැලීමේ බලයද, මන්ත්‍රීවරුන් නීතියට පටහැනිව රජය සමග ජාවාරම් කරන්නේ නම් ඒ ගැන කරුණු සෙවීමේ බලයද, මැතිවරණ සභාවලට ලැබෙන ආකාරයටය. එහෙත් ලංකාවේ මැතිවරණ කොමිසම තනා තිබෙන්නේ එම අංශ සඳහා වන බලතල මැතිවරණ කොමිසමට නොලැබෙන ආකාරයටය. අන් සියලු කොමිෂන් සභාවල යථා තත්ත්වයද ඊට බොහෝ වෙනස් නැති බව කිව යුතුය. 20ට පෙර පැවති ප්‍රජාතන්ත්‍රවාදය ශානි අබේසේකරට යුක්තිය ඉටු කිරීමට සමත් වූයේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම මහජන ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරුන්ට සේ ම මන්ත්‍රීවරුන්ටද ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීම තහනම්ය. එහෙත් 1978 සිට ජනාධිපති ධුරයට තේරී පත්වන ජනාධිපතිවරුන් සේ ම මහජන මන්ත්‍රීවරුන්ද රජය සමග ව්‍යාපාර කරති. මෙය රහසේ කෙරෙන දෙයක් නොව, ප්‍රසිද්ධියේ කෙරෙන දෙයකි. ලංකාවේ දූෂණය පාලනය කළ නොහැකි වී තිබෙන්නේ රාජ්‍ය පාලනයේ සුක්කානම හසුරුවන මහජන නියෝජිතයන් ඔවුන් භාරයේ තිබෙන පොදු සම්පත් කොල්ලන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන නිසාය. එම අශීලාචාර තත්ත්වය ශක්තිමත් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ මිස එම තත්ත්වය වෙනස් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ 1978න් පසු ආණ්ඩු ක්‍රමයට එකතු කර නැත.

19 වැනි සංශෝධනය බලාත්මක තත්ත්වයක තිබියදීත් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් තිබුණේ අන්ධකාර තත්ත්වයකය. 20 වන සංශෝධනය නිසා සිදුවිය හැක්කේ අන්ධකාර තත්ත්වයක තිබූ රට ඝන අන්ධකාරයකටම පත්කිරීමය. 20ට පෙර පැවති අඳුර නොපෙනෙන කෙනෙකුට 20 ඇති කරන්නට යන ඝන අඳුර නිවැරදි ලෙස තේරුම් ගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය. 

 

Advertiesment