Sunday 10th of December 2023

English Tamil
Advertiesment


මැණික්-ස්වර්ණාභරණ බදු සහනයෙන් රට ගොඩ යන හැටි


2020-09-08 7784

ජනපතිගේ තීරණය ආර්ථික විශේෂඥයෝ පසසති

 

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් ගොඩ  

 

"දේශීය නිෂ්පාදනය වැඩි කර ජාතික ආර්ථිකය ශක්තිමත් කරන පියවරක්"

 

"අපනයන ආදායම වැඩි වේ-රැකියා සුරක්ෂිත වේ" 

 

මහාචාර්ය රංජිත් බණ්ඩාර කරුණු පහදයි 

 

 
(සුජිත් මංගල ද සිල්වා)  

 

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා තිබූ 14%ක අදායම් බද්ද සේම රත්තරන් මත පනවා තිබූ 15%ක ආනයනික බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජය ගෙන ඇති තීරණය ආර්ථික විශේෂඥයින් සහ එම කර්මාන්තකරුවෝ අතිශය අගය කර සිටිති.

මේ හේතුවෙන් දේශීය මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය වගේම එම කර්මාන්තකරුවන් අතිශය ශක්තිමත් වී දිරිමත් වන අතර දේශීය මැණික් සහ ස්වර්ණාභරණ නිෂ්පාදනය ද විශාල වශයෙන් ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

රත්තරන් මත පනවා තිබූ 15%ක ආනයනික බද්ද ඉවත් කිරීම හේතුවෙන් අමුද්‍රව්‍යක් ලෙස රත්තරන් ආනයනය කිරීම සඳහා දැරීමට සිදු වූ අති විශාල පිරිවැය මුළුමනින්ම ඉතිරි වන නිසා ඉතා අඩු පිරිවැයකින් ස්වර්ණාභරණ නිෂ්පාදනය කළ හැකි වන අතර එවිට දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ස්වර්ණාභරණ මිල සාපේක්ෂව පහළ යන බව ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය රංජිත් බණ්ඩාර මහතා "lankanewsweek" සමග පැවැසීය.  

ස්වර්ණාභරණ මිල මෙසේ අඩුවීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ දේශීය ස්වර්ණාභරණ සඳහා පවතින ඉල්ලුම ඉහළ යනු ඇති අතර ඒ හේතුවෙන් රටේ ස්වර්ණාභරණ අපනයන ආදායම විශාල වශයෙන් වැඩිවීමෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් වන බව ද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රධාන එම ආර්ථික විශේෂඥයින් සහ  එම කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.

මැණික් සහ ස්වර්ණාභරණ මිල දේශීය වශයෙන් ද අඩුවීම හේතුවෙන් දේශීය වෙළෙඳ පොළේ ද ඒ සඳහා ඇති ඉල්ලුම ඉහළ යන අතර පාරිභෝගික ජනයා ද තෘප්තිමත් වනු ඇති බව සඳහන් කර සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ හේතුවෙන් මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත වනවා පමණක් නොව නව රැකියා අවස්ථා සුලභ වනු ඇති බව ද පෙන්වා දුන්නේය.  

1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය, යහ පාලන රජය යටතේ 2017 දී ඉවත් කෙරුණු අතර ඒ හේතුවෙන් මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්ත්වයක් උද්ගත වී තිබුණු අතර ඒ හේතුවෙන්ම මැණික් සහ ස්වර්ණාභරණවල මිළ විශාල ලෙස ඉහළ තිබිණ.  

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා තිබූ  14%ක ආදායම් බද්ද සහ රත්තරන් මත පනවා තිබූ 15%ක ආනයනික බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන්නේ මෙම පසුබිම යටතේ බව ද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 

Advertiesment