Tuesday 1st of December 2020

English Tamil
Advertiesment


කෘෂිකර්මය යනු වෙළෙඳාමක් නොව ජාතික වගවීමකි


2020-09-06 1386

සහල් නිෂ්පාදනයෙන් ජාතිය පොහොසත් නොවූයේ ඇයි..?

 

නවීන දැනුමට තවමත් අසු නොවන අපේ රජ දරුවන්ගේ වාරි තාක්ෂණය  

 

කෘෂි ආර්ථික පියගැට පෙළ ජනපති යටතේ විවර වී ඇත 

 

 
(දේශප්‍රිය නානායක්කාර)

 

ඇමරිකාවේ වෙළෙඳ කොමිසම (The Federal Trade Commission) හෙවත්  (FTC) මගින් 1935 වාර්තා  කොට ඇති පරිදි, කෘෂිර්මය මුදල් ඉපයිමේ ක්‍රමයක් පමණක්ම නොවන්නා සේම එම ක්‍රියාවලිය කිසියම් කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් නොවේ. එනම් කෘෂිකර්මය යනු අවශ්‍යයෙන්ම පුද්ගලයන් විසින් ජාතියේ යහපත උදෙසා භූමිය රැක බලා ගැනිමට හා ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා මහජන කාර්යයක් හෝ සේවාවකි. 

එසේම ජිවත්විමේ මාර්ගයක් සේම පුද්ගලික ලාභය සඳහා ද කෘෂිකර්මය යොදා ගන්නා ගොවීහු ජාතික ජීවයේ පදනම මත භාරකරුවෝ වෙති. එබැවින් කෘෂිකර්මය පැහැදිලි හා ප්‍රශ්න කළ නොහැකි මහ ජන යහපතට සේම එම තත්ත්වයට බලපාන්නාවු, ඉතා ඕනෑකමින් මෙන්ම දුරදර්ශි  ජාතික ප්‍රතිපත්ති සඳහා ඉල්ලුමක් පවතින ජාතික වශයෙන් වැදගත් වන කාරණයකි. ඒ සඳහා යොද වන්නාවු ජාතික හා මානව සම්පත් සංරක්ෂණය කිරිමට පමණක් නොව,ජාතික ආරක්ෂාව සැලසීමට හා සමබරවු සෞභාග්‍යය නංවන්නාවුද , සමාජ හා දේශපාලන ස්ථාවරත්වය සඳහාද ඉවහල් වන්නකී.   

ඒ අනුව ඉතා තීරණාත්මකව අවබොධ වනුයේ කෘෂි ආර්ථිකයේ වැදගත්කම යනු අතිශොක්තියක් නොව සත්‍යක්ම බවය. අද්‍යතන ලෝක ප්‍රජාවගේ ප්‍රගතියේ තීරණාත්මක බලවේගය ඔවුන් විසින් ලබා ඇති තක්ෂණික දියුණුව ලෙස සැලකේ. ගෝලීය මානව පවුල විසින් පසුකරන ලද සියවස් 05 ඇතුළතදී ක්‍රමිකව ඉහළට නැඟී පැතිරුණු බටහිර විද්‍යාව උක්ත තත්ත්වයට පදනම් වී ඇත. 

එනමුදු බටහිර විද්‍යා තක්ෂණයේ උදාවට වසර දස දහස් ගණනකට පෙරාතුව විශිෂ්ට තක්ෂණයක් ගොඩනැගිමට ඊජිප්තු , මිසර, රෝම , චින , ඉන්දියානු හා ශ්‍රී ලාංකේය ශිෂ්ඨාචාර සමත් වු බව අදත් ශේෂව ඇති ජීවමාන සාක්ෂි අනුව හොඳින්ම තහවුරු වී ඇත. ඔවුහූ එදා භාවිතා කර ඇති ගැඹුරු තක්ෂණය නිවැරදිව අවබොධ කර ගැනීමට නවින දැනුම තවදුරටත් අසමත් බව ඒ පිළිබඳව අධ්‍යනය කළ විද්වතුන්ගේ පිළි ගැනීමයී. විශිෂ්ටත්වයට පත් වු  ඉහත දැක්වූ සෑම ශිෂ්ඨාචාරයකම පදනම වූයේ ඔවුන් හමුවේ තිබූ තිව්‍ර අභියොග සාර්ථකව ජය ගැනිමේ කතාව යැයි මහාචාර්ය ආර්නෝල්ඩ් ටොයින්බි ප්‍රකාශ කර ඇත. 

අති විශිෂ්ට වාරි තක්ෂණයක් ශ්‍රී ලාංකිකයන්ට එදා බිහි කළ හැකි වූයේ වියලි කලාපයේ ඔවුන් මුහුණ දුන් අභියොගවලට සාර්ථක පිළිතුරු වශයෙනි. දිවයිනේ වාරි ශිෂ්ඨාචාරයීය ඉතිහාසයේ අවසන් එහෙත් වැදගත් යුගය වූ මහා පරාක්‍රමබාහු සමය වැව් මෙන්ම අමුණු හා ඇළ මාර්ග තැනීම කූට ප්‍රාප්තියට පත් වූ යුගය විය. ඔහු දක්ඛිණ දේශ පාලකයාව සිටි සමයේ දැදුරු ඔය හරහා විශාල අමුණු තුනක් බැඳිමෙන් කොට්ඨබද්ධ, සුකරනිජ්ජර හා දෝරදත්ත ව්‍ය්‍යාපාර ආරම්භ කරන ලදී.

අනෙක් අතට මහවැලි ගඟේ ජලය කෘෂිකාර්මික ප්‍රදේශ කරා ගෙන යාමට තවදුරටත් ඇළවල් රාශියක් තනවන ලදී. එතුමාණෝ විසින් ඉඳි කළ දැවැන්ත වාරි ව්‍යාපෘතියක් වූයේ කාරගංඟාව හෙවත්  අඹන් ගඟේ කඳු අතර මහා බැම්මක් බැඳ ආකාශ ගංඟා හෙවත් අහමැඩිල්ල ඇළ මගින් පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙන යාමයි. එහි සොරොව් 7 ක්ද ජලය ගෙන ගිය ඇළවල් 11ක්ද තිබූ බව වංශ කතාවල ඇත. ඒ අනුව පරාක්‍රමබාහු රජු විසින් තනවන ලද හෝ පිළිසකර කරවු ඇළවල් ගණන 3010 කී. අමුණු ගණන 165කී. සී.ඩ්බ්ලිව්.නිකලස් - "වාරිමාර්ග" අනුරාධපුර යුගය - (1965) 

සමස්තයක් වශයෙන් පරාක්‍රමබාහු රජු විසින් සහ අනෙකුත් පෙර රජවරුන් විසින් කරන ලද ජලානයන මාර්ග 12 වන සියවසේදීත් යථා තත්ත්වයෙන් ක්‍රියාත්මක වූයේ නම් ප්‍රධාන ගංඟාවලින් හරවා ගන්නා ලද ප්‍රධාන ඇළ මාර්ගවල දිග ප්‍රමාණ (පරණවිතාන .එස් :- "පොලොන්නරු යුගයේ සහ්‍යත්වය" 1 සහ 2. 530 පිටුව) මහවැලි ගඟෙන් - සැතපුම් 130 පමණ අඹන් ගඟ - සැතපුම් 195 පමණ කලා ඔය හා මෝදරගම් ආරු - සැතැපුම් 180 පමණ මල්වතු ඔය - සැතපුම් 80 පමණ යාන් ඔය - සැතපුම් 15 පමණ එකතුව - සැතපුම් 600 ක්‍ ය.

ඉහත සංෂිප්ත හැඳින්විමෙන් 12 වන ශතකය වන විට සිංහලයන් වැව් තැනීම පරිදිම අමුණු බැඳ ජලය නොමැති ප්‍රදේශ වෙත විශාල ඇළ මාර්ගවලින් තමන්ට අවශ්‍ය  ජල ප්‍රමාණය අවශ්‍ය ස්ථානයට ගෙන යාමට දක්ෂතා අභ්‍යාස කර ඇත්තේ ඔවුන්ගේ දැනුම, කාය හා චිත්ත ශක්තිය අනලස්ව ක්‍රියාත්මක කිරිමෙනී .

එහෙත් ලංකාවාසී ජනතාව පිටුපස මහා සාම්ප්‍රදායික වාරි ශිෂ්ඨාචාරයක් තිබියදී සහ වරින් වර නොයෙක් විධ අවශ්‍ය පහසුකම් දියුණු කිරිම සඳහා දක්වන ලද උනන්දුව අඛණ්ඩව ( මහවැලි ව්‍යාපෘතිය ඇතුළු තවත් නව වාරි ව්‍යාපෘති ගණනක් ක්‍රියාත්මක වී තිබියදී ) ක්‍රියාත්මක වෙද්දී සහ කෘෂිර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල රාජ්‍ය නිලධාරින් 26,272 ක්ද,  වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය්‍යාංශය ‍යටතේ පුද්ගලයන් 6,764 ක්ද, මහවැලි සහ පාරිසරික අමාත්‍ය්‍යාංශය යටතේ පුද්ගලයන් 13,074 ක්ද, එකතුව රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් 46,110ක් වන අතර  පළාත් සභාවල මාතෘකාවට ආදාළ ආයතනවල රාජ්‍ය  සේවකයන් තවත් සිය ගනණාවක්ද කටයුතු කරද්දී සහල් නිෂ්පාදනයෙන් ජාතිය පොහොසත් නොවිම මහා පුමයක් ලෙස සිතීම අසාධාරණයක් නොවේ.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව මගින් 1867 දී ප්‍රකාශයට පත් කරන ලද "ලංකාවේ වාරි ක්‍රම සහ වී වගාව" යන වාර්තාවේ සදහන් වී ඇත්තේ වාරි මාර්ග ක්‍රම අලුත් වැඩියා හා ප්‍රතිසංස්කරණ කර අනතුරුව වගා ව්‍යාප්ත කිරිමෙන් ප්‍රජාවගේ දියුණුව ඇති වනු ඇති බවය. උක්ත වාර්තාවට පසුව වසර 157 ක් සහ බිලියන ගණනක් වියදම් කර ඇතත් ලාංකේය කෘෂි ආර්ථිකයේ සාධාරණ දියුණුවක් ඇති නොවිම පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි යෝජනා කරමී. මක්නිසාද යත්..! ලාංකේය මහා සමාජයේ සියලු පුද්ගලයන් ස්වදේශික කෘෂි නිෂ්පාදනය පිළිබඳව දිනපතා සෑම නිවසකම සාකච්ඡා කරන කාරණයක් මෙන්ම ඔවුන්ට ඉතාම සමීප ඓතිහාසික පෙළඹවිමක් ඇති මනෝවිද්‍යාත්මකව සිතුවිලිවලින් පොහොසත් ක්‍රියාවක් වන හෙයිණි.

මේ අවස්ථාවේ බහුතර ජනතාවගේ හදවතට සමීප වී ඇත්තේ කෘෂි ආර්ථිකයයි. ලාංකේය රජවරුන්ගේ සහ යටත් විජිතයේ පමණක් නොව ඩි.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර් ජයවර්ධනයන්ගේ දේශපාලනය රැදී ජන හදවත් ස්පන්දනය වූයේ දේශිය කෘෂි ආර්ථික සංස්කෘතියෙනි. කෘෂි ආර්ථික සංස්කෘතික පියගැට පෙළ වර්තමානයේ විවර වී ඇත.ජනමාධ්‍ය උක්ත තත්ත්වය පිළිබඳව ජන සමජය මෙන්ම ආණ්ඩුකරණය මේ වෙනුවෙන් ආකල්පයම වශයෙන් මෙහෙයවීම හා පෙළඹවීමට කටයුතු කිරීම ජාතික මෙන්ම මානව යුතුකමකී.

 


 

Advertiesment