Thursday 22nd of October 2020

English Tamil
Advertiesment


භූමිය ජාතියේ අත්තිවාරමයි-ජනපතිගේ අවධානය භූමියටයි


2020-09-06 1564

භූමියේ ජාතික උවදුර ගැන ජනපති අවදියෙන් 

 

ජාතියේ අත්තිවාරම ගැන ජනපතිගේ කියැවීම මෙන්න  

 

(දේශප්‍රිය නානායක්‌කාර)


"Land monopoly is not the only monopoly which exists, but it is by far the greatest of monopolies; it is a perpetual monopoly, and it is the mother of all other forms of monopoly.."   

පෘථිවි චිපිට ගෝලයේ (Equatorial bulge) බොහෝ ප්‍රදේශයන් පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ (මිනිසුන්ගේ) නිත්‍ය වාසස්‌ථාන බවට පත් වන්නේ මීට වසර මිලියන 500 කට පමණ පෙර කැම්බ්‍රියන් අවධියේදීය. උක්‌ත අවධියේ සිට අද්‍යතනය දක්‌වා විවිධ පරිණාමයන්ට ලක්‌ වෙමින් පෘථිවි පෘෂ්ඨය නිර්මාණය වී ඇති බව විද්‍යාත්මකව වඩා පිළිගැනීමට ලක්‌ වූ නිගමනයයි. 

වර්ෂ මිලියන 250 කට පෙර ට්‍රියාසික් අවධියේදි පැන්ජියා නමින් යෝධ මහද්වීපයක්‌ තිබිණි. (en.wikipedia.org/wiki/pangaea) එම පැන්ජියා මහද්වීපය උතුරින් ලොරේසියාව (laurasia north america and eurasia) හා දකුණින් ගොන්ඩ්වානාලන්තය (gondwana-south america - africa India,antarcticaa and australia ) වශයෙන් කැඩී වෙන් වී ඇත. (en. wikipedia .org/wiki/gondwana) ඒ සමගම පැන්තලැස්‌ස (panthalassa) නමින් අද්‍යතන පැසිෆික්‌ සාගරයේ මව් වැනි වූ පැන්ජියා මහද්වීපික භූමි ප්‍රදේශය අවට විහිදී ගිය සාගරයක්‌ ද ස්‌ථාපිත වූ අතර උක්‌ත පැන්තලැස්‌ස සාගරයේ එක්‌ හස්‌තයක්‌ දිගේ ටෙතිස්‌ මුහද (tethys sea) අප්‍රිකාව හා යුරේසියා මැදින් විහිදී ගිය අතර මධ්‍යධරණී මුහුදේ මාතාවද ටෙතිස්‌ මුහුදය. 

අදින් වසර මිලියන 200-300 අතර ෆර්මියන් අවධියේදී අප ජීවත් වන දිවයින එසේ නැතහොත් ශ්‍රී ලංකාව පිහිටා තිබුණේ දක්‍ෂිණ ධ්‍රැවය ආසන්න අක්‍ෂාංශ 600 ආශ්‍රිත හිමෙන් වැසුණු ප්‍රදේශයකය. ඒ කාලයේ ශ්‍රී ලංකාව දකුණු දිග හා නැගෙනහිර ප්‍රදේශ පිළිවෙළින් දකුණු අප්‍රිකාව හා ඇන්ටාක්‌ටිකාව සමග යාවී තිබී ඇත. දකුණු ආසියාවේ සිට ගලා ආ යෝධ හිම ගංගා හෙවත් ගැලැසියර අපේ රටේ මධ්‍යම කඳුකරයට දකුණින් වූ ප්‍රදේශ මතින් ගලා ගොස්‌ ඇති අතර රන් හා දියමන්ති මෙසේ ගැලැසියර ගංඟා සමග දකුණු අප්‍රිකානු රන්, දියමන්ති බිම්වල සිට ප්ලාවිත වී අවුත් තැන්පත් වූ භූ සම්පත් බව භූ විද්‍යාඥයන්ගේ මතයයි. (geological magazine) 

ශ්‍රී ලංකාවේ භූ පෘෂ්ඨයේ සෑම ප්‍රදේශයකම වැව් ඉදි කිරීමට සුදුසු අවපාතයන් පිහිටා තිබෙනුයේ උක්‌ත ගැලැසියර් ගංගාවෝ ගලා ගිය මාර්ගයන්හි බවටද භූ විද්‍යාත්මක මතයක්‌ ඇත. මෙසේ ශ්‍රී ලංකාව දක්‍ෂිණ ධ්‍රැවය සමීපයේ පිහිටා තිබියදී උතුරු ඇමෙරිකාවට යාව තිබූ ප්‍රදේශය සමකය ආසන්නයේ සහ වනාන්තරවලින් ගහනව වැසි තිබිණි. අදට වසර මිලියන 200 කට පමණ පෙරදී ජුරාසික අවධියේදී ශ්‍රී ලංකාව නැවත නිවර්ථන කලාපයට ප්ලාවිත වී ඇත. 

එම කාලවකවානුවේ සිට මීට වසර 7000 කට පමණ කාලය දක්‌වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමෙන් යාව තිබිණි. අද්‍යතනව දර්ශනය වන පෝක්‌ සමුද්‍ර සන්ධිය නම් වූ කෙටි සමුද්‍ර තීරයකින් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් වූයේ මීට වසර 7000 කට ඉහතදීය. එසේ වෙන් වී පරිණාමය වූ පෘථිවි පෘෂ්ඨයේ පිහිටි ශ්‍රී ලංකාවේ යළි ඇති වන සම්පත් පිළිබඳ විශේෂයෙන් භූමිය පිළිබඳ අවධානය යොමු කරලීම අලුත් සහශ්‍රකයේ වැදගත් අවශ්‍යතාවකි. 

භූමි සම්පත්, ජල සම්පත්, වන සම්පත්, වෙරළ හා සාගර සම්පත් මෙන්ම ජෛව විවිධත්ව සම්පත් ආදිය ජාතියක, රටක මව් සම්පත වන මානව සම්පත හා සමානව අගනා සම්පත්ය. අපේ රට සලකනුයේ ඉතා ශීඝ්‍රයෙන් පරිහානියට පත් වන ස්‌වාභාවික සම්පත් පදනමක්‌ සහිත ජානාධික කුඩා රාජ්‍යයක්‌ ලෙසිනි. කුමන හෝ දේශයක ජන සංඛ්‍යාව පිළිබඳ අවබෝධයෙන් තොරව කෙරෙන කිසිදු විශ්ලේෂණයක්‌ ඵලදායි නොවනු ඇත. එම නිසා පෘථිවි ගෝලයේ කුමන රාජ්‍යයක වුවද ජන සංඛ්‍යා සාධකය එම රටේ සංවර්ධනය සම්බන්ධයෙන් මෙන්ම ස්‌වභාවික සම්පත් සම්බන්ධයෙන් ද පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන්ද ඉතා වැදගත්ය. 

ජන ඝනත්වය අතින් පෘථිවි ගෝලයේ ඉහළම මට්‌ටමේ සිටින ශ්‍රී ලංකාවේ වර්ග කිලෝ මීටර් එකකට ජන සංඛ්‍යාව 2018 වාර්තාවන්ට අනුව 341 ක්‌ වන අතර එම තත්ත්වය තව දුරටත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. (http.//www statistics/gow.lk/page.asp?page population) ස්‌ථාවර ජන සංඛ්‍යාවක්‌ වසර 2050 දී අපේක්‍ෂා කරන අතර ශ්‍රී ලංකාවටද තවත් මිලියන 50 ක ජනතාවක්‌ එකතු වනු ඇති බව පුරෝකථනය කර ඇත. 

ශ්‍රී ලංකාවේ භූමිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී භූමි පරිභෝජනය සහ කළමනාකරණය තිරසර ක්‍රියාවලියක්‌ වෙත යොමු කිරීමේදී සරල න්‍යායාත්මක මූල ධර්ම වෙත පළමුවෙන්ම අවධානය යොමු කළ යුතු අතර අනතුරුව ගෝලීය සම්මුතීන් පිළිබඳවද කටයුතු කළ යුතුය. 1992 "මිහිකත සමුළුවේදී" ගෝලීයේ රාජ්‍යයන් 172 ක එකඟතාවට පැමිණි සම්මුති පිළිබඳවද අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.

භූමිය සම්පතක්‌ ලෙස කළමනාකරණයේදී තීව්‍ර සංකීර්ණතාවක්‌ හඳුනා ගත හැකි අතරම භූමියේ පිහිටා ඇති ක්‍ෂය වන සම්පත් හා යළි ඇති වන සම්පත් සඳහාද වෙන වෙනම කළමනාකරණ පද්ධතීන් ක්‍රියාත්මක විය යුතුය. භූමියේ ගුණාත්මක භාවයට ඇති අභියෝග මෙන්ම ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ 2002 එළි දැක්‌වූ කාන්තාරකරණය හා භූමියේ ගුණාත්මක භාවය පහත වැටීම පිළිබඳ වාර්තාවේ තොරතුරු සියලු රටවැසියට ඉතා වැදගත්ය. 

විශෙෂයෙන් කුමන හෝ රටක වැසියන් ආර්ථික හා සමාජීය වශයෙන් වඩා ඉහළට පැමිණිමේදී භූමි සම්පත හිඟ වීම ස්‌වභාවිකය. එම නිසා රටක මව් සම්පතක්‌ වන භූමිය කළමනාකරණය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක්‌ තිව්‍ර අයුරින් ක්‍රියාත්මක කළ යුතුය. රටක භූමි ප්‍රමාණයෙන් අවම වශයෙන් 25%ක්‌ වත් පාරිසරික සුරක්‍ෂණය සඳහා වෙන් කරලීම අනාගත පරපුර වෙනුවෙන් අද්‍යතන පරපුර කළ යුතු වැදගත් යුතුකමකි. 

භූමියේ පවතින විවිධ භෞතික ගුණාංග අනුව පමණක්‌ නොව මානව සාධක අනුවද තීරණය කළ යුතු සාධක වනුයේ භූමියේ ව්‍යුහය, උන්නතාංශ හැඩය, බෑවුම්, වර්ෂාපතනයේ ප්‍රමාණය හා එහි තීව්‍රතාව යනාදී භෞතික ලක්‍ෂණයි. භූමිය විශාල වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ඛනිජ වැනි සම්පත් සොයා ගැනීම තවත් වැදගත් ආර්ථික වාසියකි. 

ශ්‍රී ලංකාවේදී මැණික්‌, මිනිරන්, විවිධ වර්ගයේ මැටි හා වැලි යනාදිය ලබා ගැනීම සඳහා භූමියේ විශාල ප්‍රදේශයක්‌ භාවිතා කරන අතර සත්‍ය වශයෙන්ම ඉතා තීව්‍ර සමාජ හා පාරිසරික අර්බුදවලට හේතු වන දැඩි පාරිසරික පිරිවැයක්‌ යටතේ දීප ව්‍යාප්තව අවසරලත් මෙන්ම අනවසරයෙන්ද ඉහත කර්මාන්ත ක්‍රියාත්මකය. මේ අනුව ඉතා පැහැදිලිවම දර්ශනය වනුයේ අනෙක්‌ කුමන සම්පතකටත් වඩා භූමි සම්පත කළමනාකරණය අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියක්‌ බවය. 

එබැවින් තිරසර ලෙස මානව අවශ්‍යතාවන් සපුරාලීම සඳහා භූමි සම්පත් කළමනාකරණය සඳහා රටේ සියලුම රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ ප්‍රවේශයක දැඩි අවශ්‍යතාව අද වන විට ඇති වී ඇත. ශ්‍රී ලංකාවේ භූමි පරිභෝජනය සම්බන්ධයෙන් ඇති දත්ත, විවිධ මූලාශ්‍රයන් අනුව වෙනස්‌ වන අතර සමස්‌ත භූමි ප්‍රමාණයෙන් 1/3 කෘෂිකාර්මික සංවර්ධනය සඳහා අයෝජනය කර ඇති අතර තවත් 1/3 වනාන්තර හා වන ජීවි අවශ්‍යතා සඳහාද යොදා ගෙන ඇති බව දක්‌නට ඇත. ඉතිරිය විවිධාකාරවූ යටිතල ව්‍යූහයන්, ජනාවාස, ගෙවතු හා නාගරික අවශ්‍යතා මෙන්ම අසංවර්ධිත ඉඩම් වශයෙන් හඳුනා ගත හැකිව ඇති අතර වී වගාව, ජනාවාස, ගෙවතු මෙන්ම වෙනත් ස්‌ථිර වැවිලි හේතුවෙන් සමස්‌ත භූමි පරිභෝජනයෙන් වඩාත් අනතුරට ලක්‌වී ඇත්තේ සාම්ප්‍රදායික වනාන්තර ප්‍රදේශය. 

ශ්‍රී ලංකාවේ භූමියෙන් 84% ක්‌ රාජ්‍ය අයිතිය යටතේ පවතින බව හඳුනා ගෙන ඇත. විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් යටතේ ජනතාව වෙත බෙදාදී ඇති ඉඩම්වල අයිතිය තවදුරටත් රජය සතු වන අතර ඉඩම්ලාභීන්ට සින්නක්‌කර අයිතිය ලබාදී නැත. වර්ග කිලෝමීටර් 65610 ක්‌ වන ශ්‍රී ලංකා භූමිය සිසාරා බොහෝ තීරණාත්මක හෝ පාරිසරික වශයෙන් අතිශයින්ම සංවේදී ප්‍රදේශවල එනම් ජලා ධාරා හෝ ඇළ දොළ ගංගා සඳහා වෙන් කරන ලද රක්‍ෂිත, වෙරළ රක්‍ෂිත මෙන්ම මහා මාර්ග හා දුම්රිය රක්‍ෂිතවල අයිතිය රජය සතු වුවද අද්‍යතනව එම භූමි විශාල වශයෙන් විවිධ පුද්ගලයන් විසින් අනවසර පරිහරණයේ යොදවා තිබීම දීප ව්‍යාප්තය. 

නමුත් එවැනි නීති විරෝධී ක්‍රියාකාරීන් නෙරපා ඉඩම්වල භුක්‌තිය නැවත ලබා ගැනීම රජයටද ප්‍රබල අභියෝගයක්‌ වී ඇත. සමස්‌ත රටේ භූමියෙන් 84% රජය සතු බව හඳුනා ගෙන ලේඛන ගතව ඇතත් පවතින තත්ත්වය ඊට වෙනස්‌ය. සැබැවින්ම දිවයිනේ බොහෝ ඉඩම්වල අයිතිය නාම මාත්‍රිකව රජයේ වුවත් ඒවා අනවසර පරිහරණයට යොදවා ගෙන ඇත. 

උක්‌ත කරුණු අනුවත් තවත් නොයෙකුත් හේතූන් අනුවත් ඉතා පැහැදිලි වනුයේ භූමිය සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් ගැඹුරින් හා නීතිමය ආකෘතිය යටතේ ප්‍රතිසංස්‌කරණය කළ යුතු තත්ත්වයේ පවතින බවය. සංවර්ධන ක්‍රියාවලියේදී වඩාත් වැදගත් වන්නේ කෙතරම් භූමි ප්‍රමාණයක්‌ ඒ සඳහා පරිහරණය කළ හැකිද යන්නය. 

අවසන් වරට ක්‍රියාත්මක වූ ඉඩම් කච්චේරිය හා ගම් පුළුල් කිරීම යටතේ ඉඩම් බෙදාදීම 1994 දක්‌වාම ක්‍රියාත්මක විය. සමස්‌ත ලංකාවේ භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් මිලියන 6.57 ක්‌ වන අතර රාජ්‍ය අයිතිය හෙක්‌ටයාර් 5.50 කි. පෞද්ගලික අංශයේ අයිතිය හෙක්‌ටයාර් 1.07 කි. එහි ප්‍රතිශතය 16% කි. හෙක්‌ටයාර් මිලියන 6.57 ක භූමියක්‌ ශ්‍රී ලංකාව සතුව ඇති මුත් භූමිය මත විශාල පීඩනයක්‌ ඇති කරමින් ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වන ජන සංඛ්‍යාවක්‌ ද සහිතව වර්තමානයේ ඒක පුද්ගල භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 0.29 කි. 

මේ දක්‌වා භූමියේ ඒක පුද්ගල ප්‍රමාණය අඩු වී ඇති අතර භූමිය සම්බන්ධයෙන් ඇති පීඩනය වූ ඉල්ලුම මැන ගැනීමේ දළ දර්ශකයක්‌ වනුයේ භූමි මිනිස්‌ අනුපාතයයි. 1871 දී ජන සංඛ්‍යාව මිලියන 2.80 කි. 1981 ජන සංඛ්‍යාව මිලියන 17.00 ක්‌ වූ අතර භූමි මිනිස්‌ අනුපාතය හෙක්‌ටයාර් 0.38 ක්‌ විය. 2005 ජන සංඛ්‍යාව මිලියන 19.40 ක්‌ විය. භූමි මිනිස්‌ අනුපාතය හෙක්‌ටයාර් 0.28 ක්‌ විය. 

ඒක පුද්ගල භූමි ප්‍රමාණය පහත වැටීමත් සමගම සිදු වන බරපතලම ගැටලුව වනුයේ කෘෂිකාර්මික භූමිය මත ඇති වන දැවැන්ත තෙරපීමයි. එම තෙරපීම අවසානයේ කෘෂිකාර්මික ජනතාව එම කර්මාන්තයෙන් බැහැරට ඇද දැමීමට පවා බලපානු ඇත. නොයෙකුත් සමාජ ක්‍රියාවලියන් හේතුවෙන් තම සාම්ප්‍රදායික ඉඩම් අහිමි වන ග්‍රාමීය ජනතාවත්, අනෙකුත් ප්‍රජාවත් විශේෂයෙන් තරුණ ප්‍රජාව නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වීම බරපතල සමාජ අර්බුදයකි. 

බොහෝ තුන් වැනි ලෝකයේ රටවල සම්පූර්ණ ජන ගහන වර්ධනයට වඩා වැඩි වේගයකින් උක්‌ත නාගරිකකරණය ක්‍රියාත්මකය. විශේෂයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වාණිජ අග නගරය වන කොළඹ තදාසන්න මහ නගර සභා, නගර සභා බල ප්‍රදේශවල ජල බස්‌නා පද්ධතිය මත ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් රටේ අගනුවර හා ඊට සමීප ප්‍රධාන නගර ජලයෙන් යටවීම හේතුවෙන් ගෝලීය ජනතාව ඉදිරියේ අපේ රට අපහසුතාවට පත්වී ඇත්තේ සමස්‌ත ලෝකයාම මවිතයට පත් කළ වාරි කර්මාන්තයකට උරුමකම් කියූ ජාතියක්‌ වශයෙනි. 

එම නිසා පුණ්‍ය කටයුතු ගෙදරින් ආරම්භ කළ යුතු යැයි යන කියමනට අනුව (Charity begins at home ) කොළඹ ගම්පහ, කළුතර යන දිස්‌ත්‍රික්‌කවල සියලු ජල බස්‌නා පද්ධති හා ඊට අදාළ රක්‍ෂිතයන්හි ආත්මාර්ථකාමී, අදුරදර්ශී, රටේ යහපතට හානි ගෙන දෙන ඉදිකිරීම් වහාම ඉවත් කිරීම රටෙත් අනාගත පරපුරෙත් සුරක්‍ෂණයට ගත යුතු ඉතාමත් වැදගත් ජාතික අවශ්‍යතාවකි. 

අති දක්‍ෂ කළමනාකරුවකු හා ජාති හිතෛෂි නායකයකු වන අද්‍යතන ශ්‍රී ලාංකේය ජනාධිපති නන්දිමිත්‍ර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ තිව්‍ර අවධානය මෙම ජාතික උවදුර වෙත යොමුවී තිබීම රටෙත් ජාතියේත් අනාගත පරපුරෙත් වාසනාවකි. සංඛ්‍යා ලේඛන පරිශීලනය කිරීමේදී මිනිසුන් හා භූමිය අතර ක්‍රියාවලිය වඩාත් තරගකාරී වෙළෙඳ පොළක්‌ දක්‌වා පීඩාකාරීව ඉදිරියට පැමිණෙමින් තිබීම ඉතා පැහැදිලිව දර්ශනය වේ. 

අද්‍යතනව එක්‌ මිනිසෙකුට සාමාන්‍යයෙන් පර්චස්‌ 10 ක්‌ පමණක්‌ භාවිත කළ හැකි තත්ත්වයට ශ්‍රී ලංකාවේ භූමිය පත්වී ඇත. එම නිසා භූමියේ මිල ඉහළ පහළ යැම නියාමනයට රජයේ මැදිහත්වීම ඉතා කඩිනමින් සිදු විය යුතුය. ඒ සඳහා රජය සතු හෙක්‌ටයාර් මිලියන 5.50 සහ පෞද්ගලික අංශය සතු හෙක්‌ටයාර් මිලියන 1.07 කෙරෙහි බල පවත්වන පරිදි සියලු ආයතන ඒකාබද්ධ වූ ක්‍රියාශීලී කාර්යක්‍ෂම, ඵලදායි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන ජාතික ඉඩම් බැංකුවක්‌ ස්‌ථාපිත කිරීම රටේ අනාගතයටත්, ජාතියටත් ඉතා වැදගත් වනු ඇත. 

 

(දේශප්‍රිය නානායක්‌කාර)

Advertiesment