Tuesday 20th of October 2020

English Tamil
Advertiesment


රනිල්ගේ රදළ ඔළු ගෙඩියට අර්ජුනගෙන් කුළු ගෙඩි පහරක් 


2020-09-06 5380

එජාපය මහා ජන ව්‍යාපාරයක් විනා රදළයින්ගේ බූදලයක් නොවේ 

 

රනිල් එක්ක ගමනක් නැහැ 

 

වැඩ බැරි ටසන්ලා එක්ක එජාපයට අනාගතයක් නැහැ 

 

නායකයා සල්ලිකාරයෙකු විය යුතු නම් පක්ෂය ව්‍යාපාරිකයින්ට පවරා දෙනු 

 
 
(සුජිත් මංගල ද සිල්වා)

 

එක්සත් ජාතික පක්ෂය යනු සාමාන්‍ය සහ පොදු මහා ජනයාගේ දේශපාලන පක්ෂයක් විනා වරප්‍රසාද ලත් සල්ලිකාර සහ බලපුළුවන්කාර රදළයින්ට, වලව්කරයින්ට, එක පවුලකට හෝ පැලැන්තියකට අයිති බූදලයක් නොවන්නේ යැයි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි.

එක්සත් ජාතික පක්ෂයට වත්මන් දේශපාලන ඉරණම අත්ව තිබෙන්නේ එම පක්ෂයේ සමහරුන් අතර කිඳා බැස ඇති එම අධි මානය සහ ටයි-කෝට් පැළඳ වායු සමනය කළ කාමරවලට වී දවස ගෙවන එම කණ්ඩායම වැඩ කරන ජනතාව අතරට යන්න දක්වන අකමැත්ත නිසා යැයි ද අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි.

මහා මැතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කළේ එක්සත් ජාතික පක්ෂය නොව එම පක්ෂයේ සුළුතරයක් අතර පවතින එම අධි මානය යැයි සඳහන් කර සිටින අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව මහා ජනයා මේ වන විට මුළුමනින්ම ප්‍රතික්ෂේප කර අවසන් බව ද කියා සිටියි.

තව දුරටත් ජන මතය නොතකා එක්සත් ජාතික පක්ෂයේ අයිතිය පරම්පරා ගත බූදලයක් ලෙස සිතා වරප්‍රසාද ලත් සල්ලිකාර, බලපුළුවන්කාර සහ වලව්කාර රදළ පවුලකට ලියා දෙන්නේ නම් තමා ඇතුළු කණ්ඩායමට සිදු වන්නේ දේශපාලනයෙන් සමු ගැනීමට යැයි ද අර්ජුන රණතුංග මහතා අනතුරු අඟවමින් අවධාරණය කර සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා සල්ලිකාරයෙකු විය යුතු යැයි කියා සිටින්නේ නම් කළ යුත්තේ එම පක්ෂය රටේ ව්‍යාපාරික ප්‍රජාවට පවරා දී පක්ෂයේ සියලු දේශපාලකයින් ගෙදර ගොස් සිය වැඩක් බලා ගෙන සිටීම යැයි ද අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි.

නායකයා තේරිය යුත්තේ මිනිස්සු විනා වරප්‍රසාද ලත් සල්ලිකාර, බලපුළුවන්කාර සහ වලව්කාර රදළ පවුලක් නොවන බව තරයේ කියා සිටින අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂය යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ රුවන් විජයවර්ධන මහතාගේ හෝ තමාගේ පෞද්ගලික බූදලයක් නොවන බව ද පෙන්වා දෙයි.

කිසිදු හැකියාවක්, පළපුරුද්දක්, අත්දැකීමක්, දර්ශනයක් සහ වැඩ පිළිවෙළක් නොමැති පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කර ගන්නේ නම් එම පක්ෂයට කිසිදු දේශපාලන අනාගතයක් නොමැති බව ද අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.  

 

 

 

Advertiesment