Sunday 25th of October 2020

English Tamil
Advertiesment


අර්බුදය නොසලකා ඉඳීම


2020-09-05 4162

(වික්ටර් අයිවන්)

 

 

පාර්ලිමේන්තු මැතිවරණයට පෙරත්, ඉන්පසුත් රටක් වශයෙන් ලංකාව තිබෙන්නේ බිහිසුණු ආර්ථික අර්බුදයක කරවටක් ගිලුණු අවදානම් සහගත තත්ත්වයකය. එය මේ මොහොතේදී ලංකාව මුහුණ දී තිබෙන ලොකුම කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. එහෙත් පුදුමයට මෙන් එම ප්‍රශ්නය ජනාධිපතිවරණයේදී හෝ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී තනතුරුවලට තරග කරන දේශපාලන නායකයන් අතින් සාකච්ඡාවට ලක් කිරීමක් සිදුවූයේ නැත. සාමාන්‍යයෙන් රාජාසන කතාවකදී සිදුවන්නේ රාජ්‍ය නායකයා විසින් රට ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝග පැහැදිලි කරදී ඒවා ජයගත යුතු ආකාරය ජනතාවට පැහැදිලි කරදීම වුවත්, රාජාසන කතාවේදී ජනාධිපතිවරයා අතින්ද එවැනි පැහැදිලි කිරීමක් සිදු නොවීය.

එසේ වන්නට ඇත්තේ සමහරවිට ජනාධිපතිවරයාට තිබෙන්නේ මිලිටරි මනසක් වන නිසා ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ නියම හැඩතල තේරුම් ගැනීම එතුමාට දුෂ්කර වූ නිසා විය හැකිය. එසේත් නැතිනම් ලංකාව එවැනි ලොකු ප්‍රශ්න තිබෙන රටක් බව මහජනයාට දැනගැනීමට සැලැස්වීම අවශ්‍ය නොවේ යැයි කල්පනා කළ නිසාද විය හැකිය.

 

රජයේ ආදායම

 

රජයට ලැබෙන ආදායම් විෂයෙහි රජය තිබෙන්නේ ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග විශාල ප්‍රමාණයකට බිඳ වැටී එදිනෙදා වියදම් පවත්වාගෙන යෑමටවත් බැරි අසරණ හා අර්බුදකාරී තත්ත්වයකය. රටේ ගෙවුම් ශේෂ අර්බුදය තිබෙන්නේද පුපුරනසුලු තත්ත්වයකය. වසංගත තත්ත්වයක් කඩා වැටෙන්නට පෙරත් ලංකාව උපයන විනිමය ආදායම තිබුණේ ආනයන වියදම හා විදේශීය ණය සඳහා ගෙවිය යුතු වාරික හා පොලි ගෙවීමට බැරි තත්ත්වයකය. රටේ ලොකු ආර්ථික අර්බුදයක් තිබියදී ඒ මත කඩා වැටුණු වසංගත තත්ත්වය ආර්ථික අර්බුදයේ බර දෙගුණ තෙගුණ කිරීමට හේතුවිය.

විදේශ රටවල රක්ෂා කරන ලාංකිකයන් කිසියම් විශාල පිරිසකට වසංගත තත්ත්වය යටතේ රක්ෂා අහිමිවීම නිසා රටට ලැබෙන සංක්‍රාම ආදායමේ ශීඝ්‍ර පහත වැටීමක් සිදුවිය. සංචාරක කර්මාන්තයේ හා ඇඟලුම් කර්මාන්තයේ ඇතිවූ බිඳ වැටීම නිසා එම අංශ දෙකක උපයන ආදායමේද ශීඝ්‍ර බිඳ වැටීමක් ඇතිවී ආනයන වියදම හා ලබාගෙන ඇති විදේශ ණය සඳහා ගෙවිය යුතු වාරික හා ඒවාට ගෙවිය යුතු පොලිය තුලනය කිරීම ඉතා දුෂ්කර කිරීමට හේතුවිය. ඒ සමග රජයට ලැබෙන ආදායම්වලද ශීග්‍ර බිඳ වැටීමක් ඇතිවිය. නව ජනාධිපතිවරයා කරළියට ගෙනා බදු සහන ප්‍රතිපත්තියද රජයට ලැබෙන බදු ආදායම සියයට 33ක් තරම් විශාල ප්‍රමාණයකින් පහත හෙළිමට හේතුවිය.

 

අර්බුදයේ පිපිරෙනසුලු ලක්ෂණ

 

මේ වසරේ ඉතිරි මාස හතර සඳහා ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුමේ එන ඇස්තමේන්තු අනුව එම මාස හතර සඳහා රජයේ වියදම රුපියල් බිලියන 1700කි. එම මාස හතර සඳහා රජයේ ආදායම රුපියල් බිලියන 400කි. එවිට එක් මාසයක් සඳහා රජයේ වියදම රුපියල් බිලියන 425කි. එවිට එක් මාසයක් සඳහා වන රජයේ ආදායම රුපියල් බිලියන 100කි. එවිට එක් මාසයක් සඳහා වන වියදම රුපියල් බිලින 325ක් හෙවත් මාසික වියදමෙන් සියයට 76.48ක් පියවා ගන්නට සිදුවී තිබෙන්නේ ණයවලිනි. එය දීර්ඝකාලීන ලෙස පවත්වාගෙන යා හැකි තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. ආනයන වියදම අඩුකර ගැනීම සඳහා ආනයන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙන්වීම තහනම් කර තිබෙන අතර එය ආර්ථිකයට යහපත් බලපෑමක් පමණක් ඇති කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය.

ලෝක බැංකුවේ ප්‍රක්ෂේපණයන්ට අනුව ලංකාවේ ආර්ථික වර්ධනය -3ක් දක්වා පහත වැටීමට නියමිතය. මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් පන් ලක්ෂයකගේ පමණද රැකියා අහිමිවනු ඇතැයි උපකල්පනය කර තිබේ. සියලු අංශවලින් රක්ෂා අහිමි වන සංඛ්‍යාව ලක්ෂ 10කි. සංචාරක කර්මාන්තයෙන් ජීවත් වූ විශාල පිරිසකගේද රැකියා අහිමි කිරීමට හේතුවී තිබෙන අතර, ඇඟලුම් කර්මාන්තයෙන් ජීවත් වූ විශාල පිරිසකගේද රැකියා අහිමි කිරීමට හේතුවී තිබේ. එම අංශ දෙකේ පමණක් රැකියා අහිමි වී සිටින අයගේ සංඛ්‍යාව ඉතා විශාල වුවත් ඒවාහි නියම සංඛ්‍යා කොතරම්ද යන්න පැහැදිලි නැත.

 

තිබෙන අභියෝගයේ විශාලත්වය

 

ආර්ථිකයේ විදේශ රැකියා, සංචාරක කර්මාන්තය හා ඇඟලුම් යන අංශද ඇතුළත්ව අනෙකුත් සියලු අංශද ඇතුළත්ව රක්ෂා අහිමි වන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10ක් වුවද එම තත්ත්වය රටේ සමාජ-ආර්ථිකය හා දේශපාලනය කෙරෙහි ඇති කරන බලපෑම අතිවිශාලය. එම තත්ත්වය ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩාගෙන වැටීම තවදුරටත් වේගවත් කිරීමට හේතුවනු ඇත. රටේ ආර්ථික දුෂ්කරතා උපරිම මට්ටමකට වර්ධනය වී තිබියදීත් වාණිජ පදනමක් මත ලබාගෙන තිබෙන විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු වාරික හා පොලිය සඳහා පමණක් වෙන් කළ යුතු වියදම ඩොලර් බිලියන 3කි. ඉන් එක වාරිකයක් හෝ ගෙවීමට ලංකාව අසමත් වෙතොත්, ලංකාව බංකොළොත් රටක් ලෙස ප්‍රකාශයට පත්විය හැකිය. එවැනි තත්ත්වයකට පත්වුවහොත් ලංකාව ගොඩඒම පහසු නැති දීර්ඝකාලීන කාලකණ්ණි තත්ත්වයකට තල්ලු වී යා හැකිය.

ලංකාව මුහුණ දී තිබෙන මෙම තීරණාත්මක අභියෝගය ජයගැනීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන්න යන්නේ කවර ප්‍රතිපත්තියක්ද යන්න ආණ්ඩුව මහජනයාට පැහැදිලි කර දිය යුතුය. රැකියා අහිමිවන අයගේ සංඛ්‍යාව කොතරම් විය හැකිද? ඒ මගින් ආර්ථිකයට සිදුවන හානියේ තරම කුමක්ද? රක්ෂා අහිමි වන විශාල පිරිස සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන්නට අපේක්ෂා කරන ප්‍රතිපත්තිය කුමක්ද? ආණ්ඩුව රජයේ ආදායම් වර්ධනය කරගන්නට යන්නේ කෙසේද? ඒ සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති මොනවාද? වර්ධනය කරගන්නට අපේක්ෂා කරන ආදායම් මාර්ග මොනවාද? ඒවායින් අපේක්ෂා කරන වර්ධනයන්ගේ ප්‍රමාණයන් මොනවාද යන්න ආණ්ඩුව මහජනයාට කරුණු පැහැදිලි කළ යුතුය.

පුපුරනසුලු තත්ත්වයකට පත්ව තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් විසඳා ගැනීමට යන ආකාරයද ආණ්ඩුව මහජනයාට කරුණු පැහැදිලි කළ යුතුය. ගෙවන්නට නියමිත ණය වාරික හා පොලී ගෙවන්න යන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය විනිමය ආදායම් සොයා ගන්නේ කෙසේද? රටට තිබෙන දුලබ හා අගනා දේපළ මහ බලවතුන්ට විකිණීම ඒ සඳහා යොදාගත හැකි පහසුම මාර්ගය ලෙස සැලකිය හැකි වුවත් ඒ මගින් සිදුවනු ඇත්තේ ප්‍රශ්නය විසඳා ගැනීමක් නොව ප්‍රශ්නය උග්‍රකර ගැනීමය.

ආනයනයන් කපා හරින දැඩි පිළිවෙතක් නිසා පමණක් රටේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ඇතිවන්නේ නැත. එහෙත් ආනයන කපා හරින පිළිවෙතක් රටේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට හේතුවනු ඇතැයි ආණ්ඩුව කල්පනා කරන බවක් පෙනෙන්නට තිබේ.

 

බොරු සිහිනවලින් අත් මිදීම

 

ඇඟලුම් කර්මාන්තය ලංකාවේ කර්මාන්ත අතර තිබූ ප්‍රධානතම කර්මාන්තය වන අතර එය ලංකාවට අවශ්‍ය විදේශ විනිමය අවශ්‍යතාවන්ගෙන් වැඩි පංගුවක් ඉපැයූ කර්මාන්තය ලෙසද සැලකිය හැකිය. මධ්‍යම හා මහා පරිමාණයේ ඇඟලුම් කර්මාන්තශාලා 800ක් ලංකාවේ තිබුණු අතර එම කර්මාන්තශාලාවල 300,000 තරම් විශාල සේවක පිරිසක් සේවය කළෝය. ලංකාව ඇඟලුම් කර්මාන්තයෙන් උපයන ලද වාර්ෂික ආදායම ඩොලර් බිලියන 6ක් තරම් විශාල විය.

ඇඟලුම් කර්මාන්තය විෂයෙහි ලංකාව හිමි කරගෙන තිබුණ මේ දියුණුව නිසා දැන් ඇතිවී තිබෙන අර්බුදය ඉදිරියේ අපයනය සඳහා ඇඟලුම් කර්මාන්තයක් පවත්වාගෙන යනවා වෙනුවට රටට අවශ්‍ය ඇඳුම් නිපදවන කර්මාන්තයක් බවට එම කර්මාන්තය හරවා ගැනීමේ හැකියාවක් තිබේද? බොහෝ දෙනකු ඊට දෙනු ලබන පිළිතුර වනු ඇත්තේ එවැනි තත්ත්වයකට මාරුවීමට හැකියාවක් ලංකාවට තිබෙන බවය.

ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමු ද්‍රව්‍යවලින් සියයට 70ක්ද, ඒ සඳහා අවශ්‍ය උපාංගවලින් සියයට 90ක්ද ලබා ගත්තේ ඒවා ආනයනය කිරීමෙනි. ලංකාවේ සිදුවූයේ මෝස්තර නිපදවීමත්, ආනයනය කරන ලද අමුද්‍රව්‍ය හා උපාංග යොදාගෙන ඇමරිකාව හා යුරෝපයේ වෙළෙඳපොළ සඳහා නිමි ඇඳුම් නිපදවීමත්ය. එම කර්මාන්ත පද්ධතිය ලංකාවට අවශ්‍ය සාරි, සරොම්, කලිසම් රෙදි හා චීත්ත නිපදවීම සඳහා යොදගත නොහැකිය.

කෘෂිකර්මයෙහි පවත්නා තත්ත්වයද ඊට සමානය.

ලංකාව මෙම අර්බුදය ජයගත යුතුව තිබෙන්නේය. එසේ නොවෙතොත් රටේ දූදරුවන්ගේ අනාගතය කාලකණ්ණි වනු නොවැළැක්විය හැකිය. ලංකාව මුහුණ දී තිබෙන මෙම අර්බුදය ජයගත යුතුව තිබෙන ආකාරය ගැන රජය සිය පූර්ණ අවධානය යොමු කළ යුතුව තිබෙන අතර විරුද්ධ පක්ෂ ව්‍යාපාරද ඒ ගැන අදහස් පළකරන ක්‍රියාමාර්ගයක් තුළ ඒ සඳහා කෙරෙන සංවාදය පෝෂණය කළ යුතුය.

Advertiesment