Friday 18th of September 2020

English Tamil
Advertiesment


ලොකු අනතුරකින් සී.වී බේරූ හැටි ජොනී හෙළි කරයි


2020-09-01 4654

යහ පාලනය සිංහල බෞද්ධකමට ගැහුවේ මෙහෙමයි 

 

ජාතිවාදය අවුස්සනු එපා 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

"සී.වී විග්නේශ්වරන් ඔහුගේ පළමු වැනි පාර්ලිමේන්තු කතාවේදීම යළිත් ජාතිවාදය ඇවිස්සුවා. අපේ මන්ත්‍රිවරුන් ඔහුට විරුද්ධව ක්‍රියා කිරීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් විශාල පරිශ්‍රමයක් දරන්න මට සිද්ධ වුණා. මම එහෙම නොකළා නම් එදා පාර්ලිමේන්තුවේ මහා ප්‍රශ්නයක් ඇති වෙනවා" යැයි මහා මාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්සටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවැසුවේ මැල්සිරිපුර විමලරතන නා හිමියන්ගේ ආරාධනය ඇතිව රඹේ වෙහෙරගල පුරාණ රජ මහා විහාරස්ථානයේ අසූ මහා ශ්‍රාවක පිළිම වහන්සේලා නිරාවරණය කර සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ මහෝත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහා මාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්සටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.  

"මම ගොඩක් සතුටු වෙනවා අද අසූමහා ශ්‍රාවක පිළිම වහන්සේලා නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගී වෙන්න ලැබීම ගැන. විශේෂයෙන්ම මේ රඹේ වෙහෙරගල පන්සලේ මේ වගේ තැනකට එන්න ලැබීමත් මම භාග්‍යයක් හැටියට දකිනවා. මම විශ්වාස කරනවා ආපහු නැවත වාරයක් බුද්ධාගමේ පුනර්ජීවනය 2020දී ඇවිත් තියෙනවා කියලා. 2010දීත්, 2009 යුද්ධය අවසන් වුණාට පස්සෙත් අපි දැක්කා පන්සල් විශාල ප්‍රමාණයක් දියුණු වෙනවා. අලුත් වෙනවා. බෞද්ධාගමට මුල්තැනක් ලැබෙනවා අපි දැක්කා. පහුගිය අවුරුදු පහේ දී ඒ හැම දෙයක්ම විනාශ වුණා.

පහුගිය අවුරුදු පහේ දී අපි දැක්කේ පන්සල් දියුණු උනාට වැඩිය  මහා සංඝරත්නය හිරේ දාන යුගයක්. 60 නමක් හිරේ දැම්මා. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ පෙරහැරේ ගෙන යෑම සඳහා හදා ගන්න ගෙනාපු අලි පැටියෙක් තියා ගත්තා කියලා හිරේ දාපු යුගයක් අපි දැක්කා. හාමුදුරුවනේ ඒක අපිට කවදාවත් අමතක කරන්න බෑ. පරීක්ෂණවලට මහා සංඝරත්නයට අගෞරව කරමින් බෞද්ධ ආගමට හැංගිලා නෙමෙයි එළිපිට අගෞරව කරපු එක යුගයක් තමයි යහපාලන කාල සීමාව.

මේ රට බෞද්ධ රටක් නෙමෙයි කියලා ඒ ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් වූ මුදල් ඇමැතිවරයා තුන් වතාවක් ප්‍රකාශ කළා. ඔහුට ඉල්ලා අස් වෙන්න කියලා කියන්න කොන්ද පණ තියෙන නායකයෙක් ඒ ආණ්ඩුවේ හිටියේ නෑ. මේ රට පාලනය කරපු අයගේ එහෙම බොහොම කණගාටුදායක යුගයක් තමයි අවසාන වුණේ. නොවැම්බර් මාසේ 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ එතුමා බෞද්ධ ආගම විතරක් නෙවෙයි අනිත් ආගම්වලටත් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් යුගය නිර්මාණය කළා. බෞද්ධ ආගමට මුල්තැන දෙමින් අනිකුත් ආගම්වලටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් යුගයක් එතුමා නිර්මාණය කළා.

සී වී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ඔහුගේ පළමු වැනි පාර්ලිමේන්තු කතාවේදීම යළිත් වතාවක් ජාතිවාදය ඇවිස්සුවා. අපේ මන්ත්‍රිවරුන් ඔහුට විරුද්ධව ක්‍රියා කිරීම වළක්වා ගැනීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් විශාල පරිශ්‍රමයක් දරන්න මට සිද්ධ වුණා. මම එහෙම නොකළා නම් එදා පාර්ලිමේන්තුවේ මහා ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි මේ ප්‍රශ්නයට බුද්ධිමත්ව මුහුණ දෙමු. අපි ප්‍රබල ආණ්ඩුවක්. අපිට පාර්ලිමේන්වේ 2/3ක බහුතර බලයක් තියෙනවා. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ව්‍යවස්ථාව හදද්දි හිතුවේ නැහැ සමානුපාත ක්‍රමය අනුව  2/3 ක බලයක් කිසිම පක්ෂයකට අර ගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ රටේ ප්‍රගතිශීලී ජනතාව පෝස්ටර්, කටවුට්, බැනර්, රැස්වීම්වලින් තොරව බහුතර බලයක් සහිත ආණ්ඩුවක් හැදුවා. කොවිඩ් වසංගතය නිසා රට අකර්මන්‍ය වූ මොහොතක ඉතිහාසයේ තිබූ සාර්ථකම මැතිවරණය පැවැත්වීමට අපට හැකි වුණා.

අපිට මේ රට හදන්න පුළුවන්. සෘජු තීන්දු තීරණ ගන්නා සරල නායකයෙක් අපිට සිටිනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙළ දිහා බලද්දි ජනාධිපතිවරණයේදී අපට ලබා දුන් ඡන්දය පිළිබදව අපිට ආඩම්බර වෙන්න පුළුවන්.  මේ දිනවල සිංහරාජය විනාශ කරමින් අලුතින් මාර්ගයක් තනනවා කියලා අපිට චෝදනා කරනවා. ජනාධිපතිතුමා සමග මම එම මාර්ගය නිරීක්ෂණයට ගියා. සිංහරාජ වනාන්තරයට කිසිදු විනාශයක් සිදු කර නැහැ. ඉවත් කර ඇති ගස් පවා ඉවත් කර ඇත්තේ පුද්ගලික ඉඩම්වලින් මිසක් සිංහරාජ වනාන්තරයෙන් නොවෙයි. අබලන්ව තිබූ මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවා මිසක් අලුතින් මාර්ගයක් සිංහරාජ වනාන්තරය හරහා කපන්නේ නැහැ."

 

Advertiesment