Tuesday 20th of October 2020

English Tamil
Advertiesment


ජනතාවට ගැටෙන්න දෙන්න


2020-09-01 4471

(නීතිඥ සුදර්ශන ගුණවර්ධන)

 

ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වාදෙන ලද්දේ 1987 ඉන්දු ලංකා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් වශයෙනි. පළාත් සභා සඳහා ඡන්ද විමසීම් 1988 දී පැවැත්විණි. පාලක එක්සත් ජාතික පක්ෂය පළාත් සභා සඳහා තරග කිරීමට ඉදිරිපත් වූ අතර, ප්‍රධාන විපක්ෂය ලෙස සැලකුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කරන ලද්දේය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව ගිය ශ්‍රී ලංකා මහජන පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂවලින් සැදුම් ලත් එක්සත් සමාජවාදී පෙරමුණ ආණ්ඩු විරෝධී වේදිකාවක සිට පළාත් සභා ඡන්දය තරග කරන්නට ඉදිරිපත් විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලැබූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පලාත් සභා ඡන්දය වර්ජනය කරන ලෙස ජනතාවට නියෝග කළ අතර, ඡන්ද පොළක පළමුව ඡන්දය ප්‍රකාශ කරන පස් දෙනාට මරණ දඬුවම නියම කළේය.

මේ කාලයේ පාසල් අධ්‍යාපනය හමාර කර සිටි මේ ලියුම්කරු මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය නම් මධ්‍යස්ථානයෙහි ස්වේච්ඡා සේවකයෙකු ලෙස සේවය කරමින් සිටියේය. ජනාවබෝධ කේන්ද්‍රය වනාහි මීගමුව ප්‍රදේශයේ නිවාස අහිමි ජන කොටස් සහ සුළු පන්න ධීවර ජන කොටස් සංවිධානගත කරමින් ඔවුනට අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනක නිරත වූ ස්වේච්ඡා සංවිධානයකි. සමාජ සාධාරණත්වය පිළිබඳ උනන්දුවක් දැක්වූ තරුණ උපාධිධාරීන් ඇතුළු තරුණ කණ්ඩායමක් මෙහි සේවය කළහ. මෙම අධ්‍යාපන ක්‍රියාවලිය හඳුන්වනු ලැබුවේ ‘සජීවනය’ යන වචනයෙනි. ජනාවබෝධ කේන්ද්‍රයෙහි ප්‍රධාන සජීවකයා සරත් ඉද්දමල්ගොඩ නම් කතෝලික පියතුමෙකි. එහි ප්‍රධාන සමායෝජක වූයේ වින්සන්ට් බුලත්සිංහලය.

නිවාස අහිමි ජනතාව සංවිධානගත වී මීගමු ජනතා ඒකාබද්ධ සංවිධානය නම් පුළුල් එකතුවක් ගොඩ නඟා තිබිණි. ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් ඉදිරිපත් කරන ලැයිස්තුවකට අනුව නිවාස අහිමි ජනයා වෙත ‘කඩොල් කැලේ’ නමින් හැඳින්වුණු ප්‍රදේශයෙහි ඉඩම් කට්ටි බෙදා දීමේ වැඩපිළිවෙළට අභියෝග කරමින්, ඉඩම් සහ නිවාස යනු ජනතාවගේ අයිතිවාසිකමක්ය යන පදනම මත, එම ඉඩම් කට්ටි බෙදා දීම වඩා සාධාරණ සහ විනිවිද පෙනෙන ක්‍රමයකට සිදුකරන ලෙස ආණ්ඩුවට බලකිරීමට ජනාවබෝධ කේන්ද්‍රයේ සජීවනය ඔස්සේ මීගමු ජනතා ඒකාබද්ධ සංවිධානයේ මූලිකයෝ සහ සාමාජිකයෝ සමත් වූහ. සුළුපන්න ධීවරයන්ට අභියෝගයක් වන ලෙස ‘ගොඩ මුහුදේ ට්‍රෝලිං කොට’ මසුන් දඩයම් කිරීමක් ආරම්භ වූයේ මේ අවදියේය. මෙයට එරෙහිව සංවිධානය වූ සුළු පන්න ධීවරයන් මීගමු ඒකාබද්ධ ධීවර සංවිධානය ලෙස සංවිධානය වූ අතර ඔවුන් සජීවනය කිරීමේ වගකීමද ජනාවබෝධ කේන්ද්‍රයට පැවරිණි. තම අයිතිවාසිකම් ජයගැනීම සඳහා ආණ්ඩුවට අභියෝග කිරීමට මෙම ධීවර ප්‍රජාව සමත්වූහ.

පැවැති ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් නොතැකීම නිසා ඇති ව තිබූ මර්දනකාරී වාතාවරණය යටතේ මෙම අරගල අවශ්‍යයෙන්ම ආණ්ඩු විරෝධී හැඩයක් ගත්තේය. ජනාවබෝධ කේන්ද්‍රය ප්‍රතිපත්තියක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය පළ නොකළ නිර්පාක්ෂික සංවිධානයක් වුවද, සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කිරීමේදී නෛසර්ගිකවම පවතින ආණ්ඩුව සහ එහි ප්‍රතිපත්ති කෙරෙහි හරයාත්මක විරෝධයක් එහි ක්‍රියාකාරිත්වයේ අඩංගුව පැවැතිණි.

මේ නිසා ජනාවබෝධ කේන්ද්‍රයේ වැඩිදෙනෙකුගේ බලාපොරොත්තුව වූයේ පලාත් සභා ඡන්ද විමසීමේදී ජනතාව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරමින් ක්‍රියා කරනු ඇත යන්නය. විපක්ෂයේ එක් කොටසක් ඡන්දය වර්ජනය කරන අතර තව කොටසක් ඡන්දයට ආණ්ඩු විරෝධීව තරග කළහ. එකී පක්ෂ සමග සෘජු සම්බන්ධයක් නොමැති වුවද ජනාවබෝධ කේන්ද්‍රයේ සජීවකයන් පිරිසක් ඡන්දය වර්ජනය කළ යුතුය යන ආස්ථානයේද, තවත් පිරිසක් විපක්ෂයේ එක්සත් සමාජවාදී පෙරමුණට වැඩි බලයක් ලැබී ආණ්ඩුවට අභියෝගයක් එල්ල විය යුතුය යන මතයද දැරූහ.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විට පෙනී ගියේ ඡන්ද වර්ජනය කිරීමේ ව්‍යාපාරය හිතූ තරමින් සාර්ථක වී නැති බවයි. මරණ තර්ජන නොතකා සැලකිය යුතු පිරිසක් ඡන්දය ප්‍රකාශ කළහ. විපක්ෂ හිතවාදී සෑහෙන පිරිසක් එක්සත් සමාජවාදී පෙරමුණ වෙත සිය ඡන්දය පාවිච්චි කොට තිබුණි. කෙසේ වුවද, ඒ වන විට විශාල වශයෙන් ජන අප්‍රසාදයට පත්ව සිටි පාලක එක්සත් ජාතික පක්ෂය උතුරු නැගෙනහිර හැර සෑම පළාත් සභාවක්ම ජයග්‍රහණය කළ අතර, බස්නාහිර පළාත් සභාවේදීද ලැබුණේ ඒ රතිඵලයමය. සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් වූ මීගමුව ඡන්ද කොට්ඨාශය එක්සත් ජාතික පක්ෂය විසින් ජයගන්නා ලද්දේ අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි.

මෙම ඡන්ද ප්‍රතිඵලය හේතුවෙන් මීගමුව ප්‍රදේශයේ ආන්තික ජන කොටස් සංවිධානය කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය අධ්‍යාපනය ඔවුන් වෙත සපයමින් සිටි ස්වේච්ඡා සේවකයන් පිරිස දුර්මුඛ වූ බව කීම අතිශයෝක්තියක් නොවේ. ඔවුන් කිසිවෙකුත් කිසියම් දේශපාලන පක්ෂයකට සෘජුව සම්බන්ධව ක්‍රියා නොකළ බවත්, තමන් විසින් අධ්‍යාපනය ලබා දෙන ජනතාව සමග සමාජ විග්‍රහයන්හි යෙදුණද, ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කවුරුන්හටදැයි එම ජනතාව වෙත ඉඟියකින් හෝ ප්‍රකාශ නොකළ බවත් ඉඳුරා කිව හැකිය. කෙසේ වුවද, තමන් විසින් සජීවනය කරනු ලබන නිවාස අහිමි ජනතාවගේ සහ සුළු ධීවර ජනතාවගේ නායකයන් සහ නායිකාවන් පාලක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනු දැකීම සහ ඒ බව ඡන්ද ප්‍රතිඵල වෙතින් සනාථ වීම වනාහි වසර විසි ගණන්වල සිටි එකී සජීවකයන්ට කණස්සල්ලට හේතුවක් විය.

ඡන්ද විමසීමෙන් පසු පැවැත්වුණු සමාලෝචන රැස්වීමකදී මෙම තත්ත්වය පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරන ලද්දේ එම සාකච්ඡාවට ආරාධිතයෙකු ලෙස පැමිණි, පසුව ඉඩම් සහ කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නායකයා වූ අභාවප්‍රාප්ත සරත් ප්‍රනාන්දු විසිනි. ඔහු ප්‍රකාශ කළේ මහජනතාව- විශේෂයෙන්ම පීඩනයට පත්ව සිටින ජනතාව- තීරණ වලට එළැඹෙන්නේ තමගේම ජීවන අත්දැකීම මතින් සකසා ගන්නා ලද තර්ක ක්‍රමයක් අනුව බවය. ඒ අනුව තම අරගලයේදී ජනාවබෝධ කේන්ද්‍රය වැනි සමාජ සංවිධානයක් සමග අනන්‍ය වී ඒ හා එක්ව ක්‍රියා කරන ජනතාව, දේශපාලනයේදී තමන්ට වඩා සමීප දේශපාලන පක්ෂය සමග අනන්‍ය වී ඒ සඳහා ඡන්දය භාවිතා කිරීම විරුද්ධාභාසයක් නොවන බවය. සරත් ප්‍රනාන්දු තව දුරටත් ප්‍රකාශ කළේ අපගේ විශ්වාසයන් මහජනතාව වෙත ප්‍රක්ෂේපනය කිරීම ප්‍රයෝජනයක් නොමැති ක්‍රියාවක් බවයි; කළ යුත්තේ එකී ජනතාවට සමාජයේ බල ව්‍යුහයන් සමග සාමකාමීව සහ අවිහිංසාවාදීව ඝට්ටනය වී තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අධ්‍යාපනය ලබන තැනට ඔවුන් යොමු කිරීම බවයි.

මෙම දීර්ඝ පූර්විකාව ලිවීමට හේතු වූයේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ දේශපාලන බලවේගය පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී 2/3 ක විශේෂ බහුතරයක් ලබා ගැනීමට සමත් වීමෙන් අනතුරුව සිවිල් සමාජ සංවිධාන විසින් තම අනාගත න්‍යාය පත්‍රය කෙසේ සකස් කර ගත යුතුද යන සාකච්ඡාවට පිවිසීම උදෙසාය. ඉවසීම සහ බහුවිධත්වය පිළිගනු ලබන, ලිබරල් වටිනාකම් ගරු කරන සමාජයක් ගොඩනැගීම සඳහා සිවිල් සමාජ බලවේගයන් විසින් වර්ධනය කරන ලද න්‍යාය පත්‍රයක් ඔස්සේ එක්සත් වුණු පුළුල් විපාක්ෂික බලවේග විසින් ආණ්ඩු බලය ලබා ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව යන කුළුණු දෙක මත ජාතික සංවර්ධනය ඇති කිරීම සදහා වූ වෑයම ආරම්භ කොට වසර පහක් ගත වීමට ප්‍රථම එම ගමන අංශක 180කින් ආපසු හැරවීමට ඡන්ද දායකයන් ක්‍රියා කොට ඇත. පාර්ලිමේන්තුවේ 2/3ක බලය ලබා ගැනීමෙන් අනතුරුව පැවැති පළමු කැබිනට් රැස්වීමේදීම ආණ්ඩුව තීරණය කොට ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් ස්ථාපිත කළ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන්හි පදනම වන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමටය. ඒ සඳහා අවශ්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීමක් ඔස්සේ නොමසුරුව පාලක පක්ෂය වෙත ලබා දී ඇත්තේ එම ප්‍රතිසංස්කරණ නිසා ආරක්ෂාව ලබා සිටින බහුතර මහජනතාව විසින්මය. එවැනි ආපසු හැරවීම් මගින් විධායකයෙහි බලය ශක්තිමත් වී, පාර්ලිමේන්තුවෙහි සහ අධිකරණයෙහි බලය දුර්වල වනු ඇතිය යන්න අනුමාන කිරීමට විශේෂ ඥානයක් අවශ්‍ය නැත. මෙවැනි තත්ත්වයක් යටතේ කලකිරීම නමැති ‘වතුපාලු’ වැල් සිවිල් සමාජයේ සක්‍රීය කොටස් වසා ගෙන පැතිරීම විශ්මයට කරුණක් නොවේ.

නමුත්, වසර තිහකට පෙර සරත් ප්‍රනාන්දු උගැන්වූ පාඩම නැවත මෙනෙහි කිරීමට මෙය සුදුසු අවස්ථාවක් බව මෙම ලියුම්කරුගේ විශ්වාසයයි. කුමන ආණ්ඩුවක් තෝරා පත් කර ගත්තත්, තම අයිතිවාසිකම් අහිමි කිරීමට එකී ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම්, එයට එරෙහි වීමට තරම් සවිඥානකත්වයක් මහජනතාවට ඇත. එම අරගල මතුවන කල්හි, ඒවා වෙනුවෙන් පෙනී සිට එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කොන්ත්‍රාත්තුව භාර ගන්නේ නැතිව, ඒ සඳහා අරගල කිරීම සඳහා වන මඟ ජනතාව වෙත හෙළි කර දීම මේ අවස්ථාවේදී ගත හැකි වටිනාම පියවරයි. එහිදී පූර්ව අගතීන්ගෙන් තොරව ජනතාව හා එක්ව වැඩට බැසීමෙන් ජනතාවට අධ්‍යාපනය ලබා දෙන අතර, එකී ක්‍රියාවලිය තුළ ශික්ෂකයා ද ශික්ෂණය වීම සිදු වනු ඇත.

-නීතිඥ සුදර්ශන ගුණවර්ධන-
හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

 

Advertiesment