Friday 4th of December 2020

English Tamil
Advertiesment


ජාතික නිෂ්පාදනයෙන් ජාත්‍යන්තරය ජය ගමු 


2020-08-31 12006

(සුජිත් මංගල ද සිල්වා)

රටේ අනාගතයත් ගැන කල්පනා කර සාම්ප‍්‍රදායික සහ පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් නව සැලසුම් ඔස්සේ නව නිපැයුම්වලට ගොස් දේශීය වගේම විදේශීය වෙළෙඳ පොළ ජයග්‍රහණ කළ යුතු කාලය එළැඹ ඇතැයි ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. 

ඔහු මේ බව පැවසුවේ ජාතික ශිල්ප සභාවේහි සේවයේ නියුතු පළාත් සහ දිස්ත‍්‍රික් නිලධාරීන් දැනුම්වත් කිරීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් නිවාස සැලසුම් සහ ගොඩනැගිලි මධ්‍යස්ථානයේදී පැවැති වැඩමුළුවේදීය. 

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණවීර මහතා මෙසේද කීය. 

සීත කාමරවල ඉඳ ගෙන අපි කොච්චර සැලසුම් හැදුවත් වැඩක් නැහැ අපේ සැලැස්ම මහ පොළවේ ජන ගත වෙන්නේ නැත්තම්.  අපි පහුගිය දවස්  කිහිපය තුළ  අපේ සෑම ක්ෂේත‍්‍රයකම ඒ කියන්නේ මැටි කර්මාන්තය, පිත්තල කර්මාන්තය, වේවැල් කර්මාන්තය, හස්ත කර්මාන්තය ආදී වශයෙන් සියලු දෙනාම කැඳවලා සාකච්ඡා කළා. මේ අයගේ ප‍්‍රශ්න ඇත්තටම හරි සරලයි. මේ මිනිස්සුන්ගේ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නේ නැති එක තමා ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ. ඉස්සර අමත්‍යවරුන්ගේ අමාත්‍යංශවල මේ විෂයන් පොඩි කෑලී. හැබැයි  මට මේක මහ ලොකුයි.  මා තුළ, ඔබගේ ශක්තිය තුළ අපට විශාල වැඩ කොටසක්  රටට කරන්න පුළුවන්.

මේ වැඩ කටයුතුවලදී ගරු ගෝඨාභය රාජක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අපට විශාල මඟ පෙන්වීමක් කරනවා. ඒක නිසා සම්ප‍්‍රදායක ශිල්ප ආරක්ෂා කර ගනිමින් අපි නව්‍යකරණය වෙලා නව නිපැයුම් සොයා ගෙන වෙළඳ පොළ කරා යන්න අපට පුළුවන් වෙන්න  ඕනේ. ඒ නිසා අප ශක්තිමත් වෙන්න  ඕනේ. ඒ වෙනුවෙන් අප සූදානම් විය යුතුව පවතිනවා. 

අපි සරල උදාහරණයක් විදිහට ගත්තොත් අපේ තියෙනවා පන්සල් 10500ක්. අපි මහ සංස්කෘතික උරුමය ගැන පන්සලේ  කතා කරනවා. හැබැයි අපි වාඩි වෙලා ඉන්නේ මොකේද? චීනෙන් ගේන ප්ලාස්ටික් පැදුරේ. අපි මහ බෝධීන් වහන්සේට පැන් ටික වක් කරනවා. අපි මොකෙන්ද පැන් දාන්නේ...ප්ලාස්ටික් කලයෙන්. අපේ මේ වසර 2500කට ආසන්න කාලයක් තිබ්බ උරුමය තමා මට භාර දීලා තියෙන්නේ. 

ඒ නිසා අපි වර්තමානයත් අනාගතයත් ගැන කල්පනා කරලා සැලසුම හදමු. සාම්ප‍්‍රදායීක කර්මාන්ත රකිමින්, පාරම්පරික කර්මාන්ත රකිමින්, නවෝත්පාදන, නව නිපැයුම්වලට ගිහිල්ලා දේශිය වෙළඳ පොළත්, ජාත්‍යන්තර වෙළඳ පොළත් ජයග‍්‍රහණය කරමු. ඒ සඳහා ඔබලාගේ ශක්තිය අපිට ලබා දෙන්න. 

මෙම උත්සව අවස්ථාවට අමාත්‍යංශ ලේකම් විජිත බණ්ඩාර මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Advertiesment