පිටියක කෙළිදෙලෙන් ගත කරන පිරිසකි. එකෙක් අනික් උන් පසු පස හඹා යන්නේය. අනික් උන් ඔහුගෙන් බේරීමට වේගයෙන් දිව යති. පළමු වැන්නා එකෙක් ලුහුබැඳ ගොස් කෙසේ හෝ ඔහුගේ පිටට පහරක් ගසා, “ටැග්” ලෙස සතුටින් කෑ ගසන්නේය. ඔහු මහත් පරිශ්‍රමයෙන් කෙසේ හෝ කිහිප දෙනෙකු ‘ටැග්’කරන්නේය. ක්‍රීඩාවේ කාලය අවසන් වන විට ‘ටැග්’ වූ පුද්ගලයා මීළඟ ක්‍රීඩාවේ ලුහුබඳීන්නා විය යුතුය. අමෙරිකානු කුඩා ළමයින් අතර ජනප්‍රිය ‘අල්ලන-සෙල්ලම්’ක්‍රීඩාවක් වන ‘ටැග්’ නම් ක්‍රීඩාව සැකෙවින් මෙම ස්වරූපය ගනියි. කුඩා ළමුන්ට අතිශය විනෝදයක් සපයන ක්‍රීඩාවක් වන ‘ටැග්’ලොකු ළමයින් නොඑසේත් නම් වැඩිහිටියන් යෙදුන හොත් තත්ත්වය කෙසේ වේවිද?
Wall Street Journal සඟරාවේ පළවුණු සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වී 2018 වසරේ තිරගත වුණු ‘ටැග්’ චිත්‍රපටය මෙවැනි තේමාවක් ගනියි. හෝගන් හෙවත් හොගී, බොබ්, රෑන්ඩ් හෙවත් චිලී, කෙවින් සහ ජෙරී 9 වන වියේ සිටම සෑම වසරකම මැයි මාසයේ ටැග් ක්‍රීඩාවේ නිරත වූ මිතුරන් පිරිසකි. එක් මැයි මසක් අවසන් වන විට අවසන් වරට ටැග් වන පුද්ගලයා මීළඟ වසර ලුහුබඳීන්නා බවට පත් වෙයි. කතාව ආරම්භයේදී හොගී ලුහුබඳීන්නා වී සිටී. බොබ් ප්‍රධානියා වන ආයතනයේ සුළු සේවකයකු වන හොගී පළමුව බොබ්ව ටැග් කරයි. පසුව ඔහු චිලී සහ කෙවින්වද ටැග් කරන අතර අවසානයේ ජෙරීවද ටැග් කිරීමට මාන බලයි. ජෙරී ඔහුගේ බුද්ධිමත් බවත් මලල ක්‍රීඩා හැකියාවත් නිසා කිසිදිනෙක ටැග් වී නැත. ජෙරී සිය විවාහය හේතුවෙන් මේ වසරින් පසුව ටැග් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව හොගී මිතුරන්ට පවසයි. ටැග් වුණු මිතුරන් ඒක වී ජෙරීව ටැග් කිරීම ක්‍රියාත්මක කරන අනේක විධ උපායන්ද ඒ අතරතුර ඔවුන් මුහුණ දෙන අකරතැබ්බයන් ගෙන්ද සමන්විත හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන ටැග් හි අවසන් ජවනිකාවෙන් පෙන්වන්නේ ආමාශයේ පිළිකාවක් වැලදී ඇති හොගී රෝහලකදී සිය මිතුරන් හමුවන අයුරුයි. ජෙරී ක්‍රීඩාවෙන් සමුගන්නා බවට තමා පැවසූයේ බොරුවක් බව හෙළි කරන හොගී එසේ කීමට හේතුව තමාට මීළඟ වසරේ ක්‍රීඩාවේ යෙදීමට ආයුෂ නොමැති වීම බව හෙළි කරයි. ගෙවීයන මැයි මස අවසන් විනාඩි 5දී ද ක්‍රීඩාව කිරීමට පෙලඹෙන මිතුරෝ කුඩා ළමයින් මෙන් රෝහල් පරිශ්‍රය පුරා දිවයමින් ටැග් ක්‍රීඩාවේ නිරත වෙති.
මෙම චිත්‍රපටයේ ජෙරමි රේනර් ජෙරී ලෙසද, එඩ් හෙල්ම් හොගී ලෙසද, ජේක් ජොන්සන් චිලී ලෙසද, ජෝන් හැම් බොබ් ලෙසද, හැනිබල් බුවර්ස් කෙවින් ලෙසද රංගනයේ යෙදෙති. ජෙෆ් ටෝම්සික් ගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය වන මෙය ටොඩ් ගාමර් සහ මාක් ස්ටීලින් ගේ නිෂ්පාදනයක් වේ. නිව් ලයින් සිනමා සහ බ්‍රෝකන් රෝඩ් ප්රඩක්ෂන්ස් යන ආයතනයන් මෙහි නිෂ්පාදන ආයතනයන් වන අතර චිත්‍රපටය විනාඩි 101ක් පුරා තිරගත වේ. අමෙරිකානු ඩොලර් මිලියන 28 ක පිරිවැයකින් නිර්මාණය වී ඇති මෙය අමෙරිකානු ඩොලර් මිලියන 78 ක ආදායමක් ලබා සාර්ථක වාණිජ චිත්‍රපටයක් බවට පත්වී ඇත. රෝට්න් ටෝමැටෝස් හි ලකුණු 56% ක් ලබා ඇති මෙය එහි පොදු විචාරයට අනුව, එකවර ලැබෙන බලවත් ක්‍රියාදාම සහ හාස්‍ය රසයක් අවශ්‍ය ප්‍රේක්ෂකයන්ට සුදුසු චිත්‍රපටයකි.
-සරසවිය-
Lanka Newsweek © 2023