Thursday 24th of September 2020

English Tamil
Advertiesment


රවී එජාපය යළිත් රකියි-කරූ කරළියට ආ හැටි  


2020-08-13 14064

කරූට විරුද්ධ වජිර විතරයි 

 

අකිල රනිල්ගේ උදහසට 

 

රනිල්ගේ වැරදුණු කුරුමානම 

 

එජාපයේ තිරය පිටුපස..!

 

මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ අන්ත පරාජයෙන් පසුව ඉදිරියේ දී කළ යුත්තේ කුමක්ද, අනුගමනය කළ යුතු දේශපාලන උපාය උපක්‍රම සේම පක්ෂයේ වහාම සිදු කළ යුතු ප්‍රතිසංවිධාන කවරේද යන්න සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සදුදා (10) "සිරිකොත" මූලස්ථානයේ දී රැස් විය. 

එක්සත් ජාතික පක්ෂය යළි නඟා සිටුවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණු මෙම රැස්වීම අවසානයේ දී, පක්ෂ නායකත්වය පිළිබදව ද අදහස් මතුවූ අතර එහිදි තිලක් මාරපන කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වන්නේ නම් සහ ඒ සඳහා ඉදිරිපත් වන අය සිටින්නේ නම් ඒ අය අත් ඔසවන ලෙසය. 

එහිදි වජිර අබේවර්ධන මහතා ඊට ක්ෂණිකවම ප්‍රතිචාර දක්වමින් තමා නායකත්වයට ඉදිරිපත් වන බව අවධාරණය කර සිටී අතර දයා ගමගේ, රවී කරුණානායක සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු අත් ඔසවා ඊට ප්‍රතිචාර දැක්වූහ. 

රැස්වීම අවසන් වී එළියට පැමිණි අකිල විරාජ් කාරියවසම් මහතා ජනමාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර නව නායකයා පත් කිරීමේ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති අතර අවසන් තීන්දුව සිකුරාදා (14) රට හමුවේ තබන බවය. එමෙන්ම නව නායකත්වය සඳහා රවී කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ නම් සේම තමාගේ නම ද යෝජනා වී ඇති බව ඔහු එහිදී කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ද ඊට සමගාමීව ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.  

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය බෝම්බයක් සේ පුපුරා ගියේ ඒ සමගින් වන අතර මේ සිද්ධිය ගැන කරුණු විමසමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දුරකථන ඇමතුම් රැසක් ලැබිණ. එම සියලුම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඇමතුම කතාවකි.

"මම වහාම නායකත්වයෙන් ඉවත් වෙනවායි කිව්වේ නෑ. නමුත් පක්ෂය තරුණ නායකයෙක් අතට පත් කිරීමේ අවශ්‍යතාවයයි මම මතු කළේ...ඒක මම හැමදාම කියා ගෙන ආපු කතාවක්...ජනමාධ්‍යවලට ගියපු ප්‍රකාශයේ යම් විකෘතිතාවක් තිබෙන බවයි පේන්නේ...පක්ෂයේ පළමු පෙළ එක්ක විතරක් කතා කරලා නායකත්වය ගැන තීන්දු ගන්න නරකයි. අපේක්ෂකයන්, වෘත්තියවේදීන්, වෘත්තීය සමිති ඇතුළු බහු ජන සංවිධාන ආදි එක්සත් ජාතික පක්ෂයට  සමීප පිරිස් එක්ක සාකච්ඡා කරලා නිසි තීන්දුවක් ගන්න හදන කොටයි මහ ලේකම්ගේ විකෘති ජනමාධ්‍ය ප්‍රකාශයක් නිසයි මේ සියල්ල ව්‍යාකූල වුණේ.." ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ විග්‍රහයය.

ඇත්ත වශයෙන්ම මෙහිදී සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන උපක්‍රමය වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා විශාල පිරිසක් අතර තරඟයක් ඇති කර, එක පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණීමට ඒ අයට ඉඩ නොතබා ඒ අය අතර නායකත්වය සඳහා ගැටුමක් ඇති කරමින් ඒ ගැටුම පෙන්වා සිය නායකත්වය තව දුරටත් තහවුරු කර ගැනීමය.

"ගොඩක් අය නායකත්වය ඉල්ලනවා නේ...ඉතිං මම කොහොමද එක් කෙනෙකුට නායකත්වය දෙන්නේ...ඒ ගොල්ලන් පොදු එකඟතාවයක් ඇති කර ගෙන මට එක නමක් යෝජනා කළොත් ඕනෑම වෙලාවක එයාට නායකත්වය දී ලා යන්න මම සූදානම්.." යැයි රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු සතිය පුරාවටම සිය සමීපතමයින් සමග කියා සිටියේ සිය බළලා මල්ලෙන් එළියට පන්නමිනි.

තිලක් මාරපන මහතා "සිරිකොත" මූලස්ථානයේ දී සඳුදා (10) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී, එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කවුරුන් හෝ ඉදිරිපත් වනවා දැයි හදිසියේම විමසා සිටියේත්,තමා ඊට ඉදිරිපත් වන බව වජිර අබේවර්ධන මහතා ක්ෂණිකවම කියා සිටියේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම පූර්ව සැලසුමට අනුව වන අතර ඔවුන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයින් බව කවුරුත් දනිති.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සැලසුමට අනුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉල්ලා සිටින පිරිස මේ වන විට අට දෙනෙකු දක්වා වැඩි වී තිබෙන අතර, ඒ අකිල විරාජ් කාරියවසම්, නවින් දිසානායක, දයා ගමගේ, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර, රවී කරුණානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන්ය.

මේ දෙස විශේෂ අවධානයෙන් යුතුව බලා සිටී රවී කරුණානායක සහ දයා ගමගේ යන මහත්වරුන් ප්‍රධාන ජ්‍යෙෂ්ඨයින් පිරිසකගේ ස්ථාවරය වූයේ මෙවැනි දේශපාලන උපාය උපක්‍රම සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ද, මෙසේ බුරුතු පිටින් සියලු දෙනාම නායකත්වය ඉල්ලා සිටීමෙන් ද සිදු වන්නේ, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් ඇති වී පක්ෂය යළිත් වතාවක් අසමගි වී භේද භින්න වී කැඩී බිදී යාමට ඉඩ තිබෙන බවය.

ඒ අනුව මේ මොහොතේ වහාම කළ යුත්තේ සියලු දෙනාටම පිළි ගත හැකි පරිණත, ජ්‍යෙෂ්ඨ සහ සිංහල බෞද්ධ නායකයෙකු වන කරු ජයසූරීය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කර ගැනීම බව ඔවුහූ තීන්දු කළහ. වහාම ක්‍රියාත්මක වන පරිදි සඳුදා (10) රාත්‍රියේම කොළඹ, අමරසේකර මාවතේ පිහිටි නිවසට ගොස් කරු ජයසූරිය මහතා හමු වූ රවී කරුණානායක මහතා සියලු කරුණු කාරණා ඔහුට පැහැදිළි කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස ඉල්ලා සිටියේ මේ අනුවය. 

මේ පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ විවිධ සාකච්ඡා රැසක් පැවැති අතර එහිදී නව නායකත්වය සහ සමගි ජන බලවේගය සමග යළි එකතුවීම ගැන පමණක් නොව දේශපාලන යථාර්තයට මුහුණ දෙමින් එක්සත් ජාතික පක්ෂය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා විය.

"පසු බෑමකට ලක් වී තිබෙන එක්සත් ජාතික පක්ෂය නව නායකයෙකුට ලබා දිය යුත්තේ යළි ඔසවා තබා ශක්තිමත් කිරීමෙන් පසුවයි.ජනතා ප්‍රසාදය දිනා ගෙන සිටින අයෙකු සොයා ගැනීම අසීරු බවයි බොහෝ අය මා සමග කියා සිටින්නේ...රවී කරුණානායක සහ දයා ගමගේ මැදිහත් වෙලා කරු ජයසූරියගේ නමත් නායකත්ව තරඟයට ගෙනාවා. පක්ෂය නායකත්වය ඔවුන්ට අවශ්‍යයි කියන පසුබිමක ඔවුන්ම මැදිහත් වෙලා කරු ජයසූරියගේ නම ඉදිරියට ගෙන ඒම ගැනත් සමහරු විවිධ මතවාද දරනවා" යැයි රනිල් වික්‍රමසිංහ මහතා එම අභ්‍යන්තර සාකච්ඡාවල දී කියා සිටියේය.

"සිරිකොත" මූලස්ථානයේ දී අගහරුවාදා (11) තවත් තීරණාත්මක හමුවක් සුදානම් කොට තිබුණ ද පසුව රැස්වීම අවලංගු කෙරුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනා හමුවේ කියා සිටියේ "ඔයාලා කතා කරලා තීන්දුවක් අර ගෙන මට කියන්න.." යැයි කියාය.

එහෙත් රවි කරුණානායක, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, රුවන් විජයවර්ධන, අර්ජුන රණතුංග, සාගල රත්නායක සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ 07 පස් වැනි පටුමගේ පිහිටි නායකයාගේ පෞද්ගලික නිවසට බදාදා (12) උදෑසනම පැමිණියේ නායකයා නොමැතිව කරන සාකච්ඡා අර්ථවත් නොවන බව පවසමිනි.

එහිදී කරු ජයසූරිය මහතාගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඔහු පත් කර ගත යුතු බවට තීරණය කෙරුණු අතර ඊට විරුද්ධ වූයේ වජිර අබේවර්ධන මහතා පමණය. ඒ අනුව කරු ජයසූරිය මහතා සමග එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තමා තරඟ කරන බව වජිර අබේවර්ධන මහතා එහිදී අවධාරණය කර සිටියේය. 

.
 

Advertiesment