Thursday 24th of September 2020

English Tamil
Advertiesment


රැඩිකල් තාරුණ්‍යයේ දේශපාලන විලාසිතාව -චතුර-


2020-08-02 3925

සමාජයයි - චතුර සේනාරත්නයි අතර ගැටුම මනෝ විශ්ලේෂණය කිරීම

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

සමාජ දේශපාලන මනෝ විශ්ලේෂණයට අනුව පොදු ජනයා සාමාන්‍යයෙන් යම් කිසිවකට ගරු කරන්නේ හෝ ඊට ගරහන්නේ හෝ අපහාස උපහාස කරන්නේ හෝ එම ප්‍රපංචය සිය මානසික මානයන්ට ගෝචර නොවන එමගින් ඔබ්බෙහි පවතින්නක් වන විටදීය.

ඉක්මනින්ම සහ පහසුවෙන් හිත හදා ගෙන පිළි ගත හැකි හෝ එකඟ විය හැකි සරල සහ සංයුක්ත ප්‍රපංච (දේව ධර්ම වාදය) සම්බන්ධයෙන් බොහෝ මිනිසුන් ගෞරවය, භක්තිය සහ ආදරය දක්වන්නේ මේ නිසාය. එමෙන්ම බුද්ධියෙන් විචාරා යථාර්ථය තේරුම් ගැනීමෙන් පසුව පිළිගැනීමට හෝ ප්‍රතිෂේප කිරීමට සිදු වන අතිශය වෙහෙස කර වියුක්ත සංකල්ප සහ ප්‍රපංචවලින් (මිනිසාගේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නය) ඈත් වී සිටීමට හෝ  ඊට අපහස, උපහාස සහ ගර්හා සිදු කර ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් හිත හදා ගැනීමට මිනිසුන් සෑම විටම උත්සහ කරන්නේ ද මේ කියන නෛසර්ගික යතාර්ථය හේතුවෙන්මය.

මේ තරම් දිගු හෑල්ලක් මෙසේ රචනා කරමින් මෙවැනි ප්‍රවේශයක් ගැනීමට සිදු වූයේ චතුර සේනාරත්න නිසාය. ඒ මන්ද, තරුණ සහ නැගී එන දේශපාලකයෙකු වශයෙන් ඔහු මුහුණ දී සිටින්නේ ද මේ කියන ඛේදජනක සමාජ දේශපාලන මනෝ භාවයට වන නිසාය. එමෙන්ම එමගින් ඔහුගේ දේශපාලන ඉරණම තීරණය වීමට බොහෝ විට ඉඩ ඇතැයි අපට ද භියක් දැනෙන නිසාය.

ඊට හොදම උදාහරණය වන්නේ, ඔහු සිය කුඩා කාලයේ දී කළා යැයි කියන දේශපාලන ක්‍රියාකාරකම් සහ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියාට පසුව ජාතික දේශපාලනයේ තිරය පිටුපස රඟ දැක්වූවා යැයි කියන

දේශපාලන භූමිකාව පමණක් නොව, එහි දී ක්‍රියාත්මක කළ දේශපාලන උපාය උපක්‍රම සම්බන්ධයෙන් සිය අත්දැකීම් හෙළිදරව් කරමින් මතවාදී තලයේ දී රටත්-ජනතාවත් ඉදිරියේ ඔහු කරන හෙළිදරව් කිරීම් වගේම දේශපාලන උච්චාරණවලට ඇතැම් විට ලැබෙන නිෂේධනීය ප්‍රතිචාරය.

ඔහු එසේ හෙළිදරව් කරන ඔහුගේ දේශපාලන අත්දැකීම් සහ ක්‍රියාකාරකම්වල ස්වභාවයේ පරිමාව ඔහුගේ වයස, පළපුරුද්ද, ආධුනිකත්වය සමග සංසන්දනය කරන විට, ඇත්තටම ඇතැමුන්ට සිතෙන්නේ ඔහු අධිමානයෙන් සහ අධිතක්සේරුවකින් යුතුව ඒ වෙනුවෙන් බොරු කියන මානසික සංකීර්ණතාවයකින් පෙළෙන්නෙකු කියාය.

කුණු වී ඕජස් ගලන රටේ සමාජ සහ දේශපාලන සංස්කෘතියට එරෙහිව "පටිසෝතගාමීව" උඩුගම් බලා පිහිනමින් රැඩිකල් පෙරළියක් වෙනුවෙන් රට ඉල්ලා සිටින මතවාදී අභීත දේශපාලන අරගලය සඳහා සිය අක්මුල් සිඳ නොගෙන නායකත්වය ලබාදීම තමාගේ සහ තමා නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ඒකායන අරමුණ වන බව චතුර සේනාරත්න කියා සිටින විට සමහරුන්ට ඒ සංකල්ප සහ අරමුණු "ඇලජික්" වන්නේ මේ සමාජ දේශපාලන මනෝ භාවය නිසාමය.

අප විසින්ම ඉල්ලා සිටින රැඩිකල් පෙරළිය වෙනුවෙන් යමෙකු ඉදිරියට පැමිණ, අප ඉල්ලා සිටින ඒ පැහැදිළි "වෙනස" මතවාදී තලයේ විග්‍රහ කරමින් ඒ වෙනුවෙන් අරගල කරද්දී ඊට එරෙහිව අපම ඉදිරියට පැමිණ කරන අපහස උපහාසවලින්ය පැහැදිළි වන්නේ, රටක් ජාතියක් ලෙසත් තරුණ තරුණියන් ලෙසත් අප සියලු දෙනා කෙතරම් වහල් මානසිකත්වයකින්, පසුගාමීත්වයකින් සහ පරාජීන හැගීමකින් පෙළෙනවා ද යන්න පිළිබඳවය.

 

ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ගල් ලෙන බිඳීම

 

ඒකාධිපති රාජපක්ෂ රෙජීමය අභ්‍යන්තරිකව බිඳ හෙළමින් 2015 ජනවාරි 08 විපල්වය වෙනුවෙන් අතුරලියේ රත්න හිමි මාර්ගයෙන් ජාතික හෙළ උරුමය උපක්‍රමශීලී ලෙස මෙහෙය වූයේ චතුර සේනාරත්නය. ඒ යුද්ධය අවසන් වී පළමු සතියෙන් පසුව උතුර-දකුණ යා කරන සාකච්ඡාව අතුරලියේ රතන හිමි එක්ක ආරම්භ කරමින් උන්වහන්සේ සමග "පිවිතුරු හෙටක්" ජාතික සභාව ගොඩ නඟමිනි.

පිවිතුරු හෙටක් ජාතික සභාවේ ලේකම්වරයා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායකයා ලෙස එම සංවිධාන දෙකම එක මිටට ගෙන චතුර සේනාරත්න දඟලන්නේ සිය පාලනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර බලමුළු ගැන්වීමට විනා සිය රෙජීමයේ යහපතට නම් නොවන බවට මුලින්ම සැක පහළ වූයේ රටේ අංක එකේ නම ගිය දේශපාලන ඉවකරුවා වන එකට ජනාධිපති මහින්ද රාජපක්ෂටය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දොස්තර රාජිත සේනාරත්න කැඳවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර උපදෙස් ලබා දෙමින් සහ අනතුරු අඟවමින් කියා තිබෙන්නේ චතුර සේනාරත්න චතුර සේනාරත්න එන පොට ඒ තරම් හොඳ නොමැති බවය. ඒ වන විට චතුර සේනාරත්නගේ මේ ක්‍රියාකාරකම් ගැන කිසවක් නොදැන සිටී රාජිත සේනාරත්න මහතා කර තිබෙන්නේ ඔනෑම පියෙකු සුපුරුදු පරිදි කරන දේ කරමින් සිය පුත්‍රයා සුද්ද කිරීමය.

අතුරලියේ රත්න හිමි පෙරටු කර ගෙන 2011 දී ජාතික කෘෂිකර්ම සමුළුව සංවිධානය කරමින් වස විසෙන් තොර ගොවිතැනක් උදෙසා නූතන කාබනික කෘෂිකාර්මික විප්ලවයට චතුර සේනාරත්න නායකත්වය ලබා දෙන්නේ එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු හෙළා ගැනීමේ දේශපාලන අරමුණ ඇතිව බව කිව යුතුය.

මේ අරගලයේ ප්‍රධාන අරමුණ නූතන කාබනික කෘෂිකාර්මික විප්ලවය වුණත් එහි යට තිබූ කූට දේශපාලන අරමුණ වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන රෙජීමය සමග අතුරලියේ රත්න හිමි සහ පාඨලී චම්පික රණවක ප්‍රධාන ජාතික හෙළ උරුමය මතවාදීව බිඳවා එම කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර බලමුළු ගැන්වීම වෙනුවෙන් එළියට ගැනීමය.

ඒ මන්ද නූතන කාබනික කෘෂිකාර්මික විප්ලවය යටතේ "Glyphosate" ඇතුළු විෂ රසායන හතරට එරෙහිව සටන් කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගන්නේ පොහොර මාෆියාවේ පැත්ත විනා ගොවියාගේ, ජනයාගේ හෝ  නූතන කාබනික කෘෂිකර්මයේ පැත්ත නොවන බව චතුර සේනාරත්න දැන සිටී නිසාය. එවිට මහින්ද රාජපක්ෂ රෙජිමයට එරෙහිව අතුරලියේ රත්න හිමි සහ ජාතික හෙළ උරුමය උසි ගැන්විය හැකි බව ද, එම ගැටුම ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රෙජීමයේ තටු කැපිය යුතුය යන ස්ථාවරයට එම කණ්ඩායම තල්ලු කළ හැකි බව ද ඔහු දැන සිටියේය.

සිය අරමුණු කූට ප්‍රාප්තියට පත් කර ගනිමින් අවසානයේ දී අතුරලියේ රතන හිමි සමග එක්ව "රට ගත යුතු මඟ" යන ජාතික ප්‍රතිපත්ති මාලාව පිවිතුරු හෙටක් ජාතික සභාව හරහා 20213 ජූනි මස 02 වැනිදා එළිදක්වමින් ජන ගත කිරීමට චතුර සේනාරත්න සමත් වූ අතර පසු කලක දී 2020 ජනවාරි 08 විප්ලවයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ "මෛත්‍රී පාලනයක්-ස්ථාවර රටක්" යන ප්‍රකාශනයට ගෙඩිය පිටින්ම පාදක කර ගැනුණේ එම ප්‍රතිපත්ති මාලාවය.

එමෙන්ම 2011 දී ආරම්භ කළ වස විසෙන් තොර ගොවිතැනක් උදෙසා නූතන කාබනික කෘෂිකාර්මික විප්ලවය කූට ප්‍රාප්තියට පත් කර ගනිමින්  "Glyphosate" ඇතුළු විෂ රසායන හතරක් යහ පාලන රජය යටතේ තහනම් කර ගැනීමට ඔහුට හැකි වූ අතර ඒ අනුව මාරාන්තික විෂ සහිත "Glyphosate" ඇතුළු විෂ රසායන හතර තහනම් කළ ලෝකයේ 16 වැනි රට බවට ශ්‍රී ලංකාව පත් විය.

මේ සිද්ධීන්ගෙන් පැහැදිළි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, පිවිතුරු හෙටක් ජාතික සභාව සහ වස විසෙන් තොර ගොවිතැනක් උදෙසා නූතන කාබනික කෘෂිකාර්මික විප්ලවය යනු ජාතික හෙළ උරුමය ඇතුළු බලවේග ඒකාධිපති රෙජීමයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර වෙත උපක්‍රමිකව තල්ලු කිරීම සඳහා එම කඳවුරු දෙක අතර මැදින් චතුර සේනාරත්න ගැසූ මුක්කු බවය.

රටේ ප්‍රජාතාන්ත්‍රීය පාලනය තහවුරු කිරීම සඳහා ශ්‍රීලනිප-ජවිපෙ පරිවාස ආණ්ඩුව 2001 දී ගෙන ආ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද, ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කරමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන ආ ප්‍රජාතන්ත්‍ර විරෝධී-ඒකාධිපති 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ද, සිය දෑතම උස්සා සහය පළ කළ ජාතික හෙළ උරුමය ඒකාධිපති රෙජිමයට එරෙහිව යහ පාලනයක් වෙනුවෙන් එළියට බැස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, පිවිතුරු හෙටක් ජාතික සභාව සහ වස විසෙන් තොර ගොවිතැනක් උදෙසා නූතන කාබනික කෘෂිකාර්මික විප්ලවය හරහා බව මේ අනුව ඉතා පැහැදිළිය.

අවසානයේ දී රටේ ප්‍රජාතාන්ත්‍රීය පාලනය තහවුරු කිරීම සඳහා යහ පාලන ආණ්ඩුව යටතේ ඉදිරිපත් කර සම්මත කෙරුණු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික හෙළ උරුමයේ අතුරලියේ රත්න හිමි මාර්ගයෙන් කෙටුම්පත් කර ගැනීමට ද චතුර සේනාරත්න සමත් විය. 

 

මෝඩිගේ උපදේසය සහ චතුරගේ ජාත්‍යන්තර භූමිකාව

 

චතුර සේනාරත්නගේ දේශපාලන භූමිකාව සහ ඔහු නායකත්වය ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය ශ්‍රී ලාංකීය ජාතික දේශපාලනයේ කරන මෙහෙවර රටේ වඳ පීදුණු දේශපාලන පක්ෂ සහ නායකයින් අගය නොකළත් අගය නොකළත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ විශේෂ ඇගයීමට ඔහුත් ඔහුගේ පක්ෂයත් ලක් වූ අතර ඒ නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාවේ සිවිල් ව්‍යාපාරය ශක්තිමත් කිරීමට චතුර සේනාරත්න දරන උත්සාහය අගය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සිවිල් ව්‍යාපාරය කිසදා අත නොහැර එම බලවේග එක්ක නිතරම කටයුතු කරමින් ඉදිරියට යන ලෙසට ඔහුට උපදෙස් දුන්නේය. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ලාල් ක්‍රිෂ්ණ අද්වානි මහතා ඉන්දීය උප අගමැති ලෙස නම් කිරීමට පක්ෂය එදා ක්‍රියා කළේ ඉන්දීය සිවිල් ව්‍යාපාරයේ බල කිරීම සහ ඉල්ලීම මත බව ද නරේන්ද්‍ර මෝඩි මහතා කියා සිටියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මේ බව කියා සිටියේ, ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතතුර නුවරඑළිය දිස්ත්‍රික්කයේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී,චතුර සේනාරත්න මහතා දොස්තර රාජිත සේනාරත්න මහතා ද සමගින් පැමිණ ඔහු හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා-ඉන්දීය පාර්ලිමේන්තු සංසදයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ක්‍රියා කරන චතුර සේනාරත්න පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංසදය මගින් යුරෝපයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ ආසියාවේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් 2017 දී සංවිධානය කළ විශේෂ වැඩමුළුවේ ආසියානු කලාපීය උපදේශකයා ලෙස ද ක්‍රියා කර ඇත.

වාමාංශික දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විශේෂ පුහුණුවක් සඳහා 1993 දී කොරියාව බලා ගිය තරුණ ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා වූයේ ද චතුර සේනාරත්න වන අතර එම සංචාරය සංවිධානය කළේ ශ්‍රී ලංකා-උතුරු කොරියා මිත්‍ර සංගමය මගිනි. මේ අතර 2004 දී ඇමරිකා එක්සත් ජනපදය බලා ගිය ඔහු පුරා මාස තුනක් එහි රැදී සිටිමින් දේශපාලන විද්‍යාව පිළිබඳව විශේෂ පාඨමාලාවක් ද හදාරා ඇත.

 

සජිත්ගේ අනාවැකිය සහ "ප්‍රජාවේ" ශක්තිය

 

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒකාධිපති වාදයට විරුද්ධව සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට පැමිණ සමගි ජන බලවේගය ගොඩනගද්දී, බොහෝ මන්ත්‍රීවරුන් ඔහු සමග යනවා ද, රනිල් වික්‍රමසිංහ සමග සිටිනවා ද යන දේශපාලන දෙගෙඩියාවෙන් සිටින විට කිසිදු සැකයක් සහ බියක් නොමැතිව සජිත් ප්‍රේමදාස මහතා සමග ඍජුව හිට ගත්තේ චතුර සේනාරත්නය. ඔහුගේ පියා වන දොස්තර රාජිත සේනාරත්න මහතා පවා එම තීරණය ගත්තේ පරක්කු වෙලාය.

රනිල් වික්‍රමසිංහගේ ඒකාධිපති, ආත්මාර්කාථමී, බල ලෝභී සහ මුරණ්ඩු ක්‍රියාකලාපයට එරෙහිව චතුර සේනාරත්න සජිත් ප්‍රේමදාස මහතාගේ දෑත් ශක්තිමත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ (ප්‍රජාව) ශක්තිය සහ හයිය ද සමගිනි. මේ වන විට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 876ක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කරන අතර නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන පහක බලය එම පක්ෂය සතුය.

මේ අතර උතුරු පළාත ඇතුළත දකුණේ නායකයෙකු සතු වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවට හිමිකම් කියන්නේ චතුර සේනාරත්න වන අතර නැගෙනහිර පළාතේ පමණක් ඔහුගේ නායකත්වය යටතේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 230ක් බිහි වී ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, චතුර සේනාරත්නට ගම්පහින් කවදාවත් ආසනයක් ලබා නොදුන්නත් සමගි ජන බලවේගයේ බියගම ප්‍රධාන සංවිධායකවරයා ලෙස ඔහු පත් කරමින් ඔහුට සාධාරණය ඉටු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කළේ ඔහුගේ වටිනාකම, හැකියාව සහ දක්ෂතා අවබෝධ කර ගෙනය.

මේ අතර චතුර සේනාරත්න යනු මේ රටේ නැගී එන තරුණ ජාතික නායකයා යැයි ද, ඔහු දක්ෂයෙකු වන අතර ඔහුට හොඳ දේශපාලන අනාගතයක් තිබෙන්නේ යැයි ද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණයෙන් යුතුව කියා සිටියේ චතුර සේනාරත්නගේ ජය තහවුරු කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ පැවැති ජන රැළියකට එක් වූ අවස්ථාවේදීය.

 

චතුරගේ සංඛේතීය පියා විජය

 

වාමාංශික දේශපාලන නායකයෙකු වන දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වුණත් චතුර සේනාරත්න සිය දේශපාලන ජීවිතයේ දී පමණක් නොව සිය පෞද්ගලික ජීවිතයේ දී පවා අනුගමනය කරන්නේ, ගුරු කොට ගන්නේ සහ ආදර්ශයට ගන්නේ සිය පියා නොව, මානව හිතවාදියෙකු වන විජය කුමාරණතුංගයන්ය.

උතුර-නැගෙනහිර යා කිරීම, ජාතීන් අතර එකමුතුව, ජාතික සමගිය, සහජීවනය දිළිදුකම පිටු දැකීම සහ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ගොඩනැගීම සේම දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව අරගල කිරීම ඔහුගේ සහ ඔහු නායකත්වය ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය, දර්ශනය සහ වැඩ පිළිවෙළ වී තිබෙන්නේ ඒ නිසාය.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ ශ්‍රී ලංකා මහා ජන පක්ෂයේ නායකයා ලෙස විජය කුමාරණතුංගයන් දොස්තර රාජිත සේනාරත්න සමග එක්ව එදා උතුර-දකුණ යා කිරීමට අරගල කරද්දී, ඔහු නිතරම රාජිත සේනාරත්න මහතාගේ නිවසේ ගැවසීම නිසා කුඩා කල සිටම ඔහු සමීපයේ හැදී වැඩීමට චතුර සේනාරත්නට අවස්ථාව ලැබීමය. එමෙන්ම විජය කුමාරණතුංගයන් ඒ කාලයේ සහභාගී වූ බොහෝ රැස්වීම් බැලීම සඳහා සිය පියා සමග යාමටත් ඔහුගේ දේශපාලන කතා කුඩා කල සිටම අසා සිටීමටත් ඔහුට අවස්ථාව උදාවීම ද ඊට බලපා තිබේ.

 

මෛත්‍රීගේ හෙළිදරව්ව සහ කාලෝගේ අනාවැකිය

 

යහ පාලන සමයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැති උත්සවයක දී විශේෂ දේශනයක් කරමින් අභාව ප්‍රාප්ත වෛද්‍ය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියේ, විජය ධජය බිම නොහෙළා සියතට ගෙන අනාගතයට රැගෙන යමින් විජය කුමාරණතුංගයන්ගේ අරගලය ජයග්‍රහණය කර විය හැකි නායකයෙකු බිහි වී ඇති අතර ඒ චතුර සේනාරත්න බවය.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කතාවේ දී කියා සිටියේ යහ පාලනයක් ඇති කිරීමට ඒකාධිපති රෙජිමයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර වෙනුවෙන් තමා එළියට ගැනීමට දොස්තර රාජිත සේනාරත්න ක්‍රියා කරද්දී, ඒ තීරණය බිය නොමැතිව ගැනීම සඳහා තමාගේ මොළය හේදුවේ චතුර සේනාරත්න බවය.

 

බැඳුම්කර අරගලය
 

දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව සටන් කරද්දී චතුර සේනාරත්නට දේශපාලන පිලක් හෝ නායකයෙකු නොමැතිව බව පැහැදිළි වන්නේ මහා බැංකු බැඳුම්කර සිද්ධිය මුල් කර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන්ට එරෙහිව විශ්වාස භංග යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහු ඊට පක්ෂව ක්‍රියා කිරීමේ සිද්ධියෙන්ය.

අග්‍රාමාත්‍යවරයාට සහ රවී කරුණානායක මහතාට එරෙහිව සහ විශ්වාස භංග යෝජනාවලට පක්ෂව ක්‍රියා කරන්න එපා යැයි දොස්තර රාජිත සේනාරත්න මහතා අවස්ථා ගණනාවකදීම ඔහුගෙන් ඉල්ලා සිටියත් ඔහු ඊට එකඟ නොවුනි. එ පමණක් නොව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ උපාය දූතයෙකු ද ඔහුගෙන් මේ ඉල්ලීම කර තිබූ අතර "lankanewsweek" ඒ දිනවලම මේ සිද්ධීන් දෙක හෙළිදරව් කළ බව කිව යුතුය.

මහා බැංකු බැඳුම්කර සිද්ධියට සහ එම අර්බුදයට මුහුණ දී, රජයට සිදු වූ අලාභය පියවා ගෙන ලාභයක් ද උපයා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා හතරක් ඇතුළත් විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට චතුර සේනාරත්න ක්‍රියා කළේය.

එම ක්‍රියාකාරී සැලැස්ම මගින් සිදු කෙරුණු යෝජනා වන්නේ මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ සමාගම්වලට අයත් බැංකු ගිණුම්වල තිබෙන රුපියල් කෝටි 1,200 ශ්‍රී ලංකා මහා බැංකුව මගින් අත්හිටුවීම, එම සමාගම්වල බලපත්‍ර තහනම් කිරීම, ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීම සහ අදාළ සමාගම් බැඳුම්කර ගනුදෙනුවෙන් උපයා ගත් ලාභය දෙස් විදෙස් සමාගම්වල ආයෝජනය කර තිබෙන්නේ නම් ඒ සියලු ආයෝජනවල ලාභය රජයට පවරා ගැනීමය.

මේ යෝජනා හතරෙන් තුනක්ම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම පියවර ගත් අතර ක්‍රියාත්මක නොවූයේ අදාළ සමාගම් බැඳුම්කර ගනුදෙනුවෙන් උපයා ගත් ලාභය දෙස් විදෙස් සමාගම්වල ආයෝජනය කර තිබෙන්නේ නම් ඒ සියලු ආයෝජනවල ලාභය රජයට පවරා ගන්නා ලෙසට කළ යෝජනාව පමණය.

 

රනිල්ගේ බැඳුම්කර බොරුව අතේ පත්තු වෙයි 

 

මහා බැංකු බැඳුම්කර සිද්ධියේ දී අදාළ සමාගම්වලට අයත් බැංකු ගිණුම්වල තිබෙන රුපියල් කෝටි 1,200ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහා බැංකුව මගින් අත්හිටුවීමට තමා ක්‍රියා කළ බවට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල කියන කතාව අතේ රෝලක් බව ද මේ අනුව පැහැදිළි වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා මහා බැංකුව මාර්ගයෙන් අදාළ සමාගම්වල බැංකු ගිණුම් අත්හිටවූ වීමට යන බව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයෙකු පමණක් නොව චතුර සේනාරත්න ද දැන නොසිටී අතර සියලු දෙනාම ඒ ගැන දැන ගත්තේ ජනපති උපදෙස් අනුව මහා බැංකුව එම ගිණුම් අත්හිටුවීමෙන් පසුවය.

මහා බැංකු බැඳුම්කර මංකොල්ලයට එරෙහිව පාර්ලිමේන්තුවේ නැගී සිට කතා කිරීමට පවා අයිතියක් තිබෙන්නේ චතුර සේනාරත්න මහතාට පමණක් යැයි එම සිද්ධියට අදාළ පාර්ලිමේන්තු විවාදයේ දී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එදා කියා සිටියේ එම සිද්ධියේ දී ඔහු ක්‍රියා කළ ආකාරය නිසාමය. එමෙන්ම රජයට අලාභයක් වීමට ඉඩ නොතබා මේ බැඳුම්කර අර්බුදය කළමනාකරණය කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි වූයේ චතුර සේනාරත්න ඒ සම්බන්ධයෙන් ලබා දුන් ක්‍රියාකාරී සැලැස්ම නිසා බව ද ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව සමග එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන කූට දේශපාලන ගනුදෙනුව සහ සම්බන්ධය ගැන එදාට වඩා අද දේශපාලන කරළියේ විවිධ කතා පැතිර යමින් තිබෙන අතර එම සිද්ධිය මේ වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති බව කිව යුතුය.

එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදයේ දී, රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂ කඳවුර සමග ඇති රහස් ගනුදෙනු ගැන හෙළි කරමින් සහ ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවමින් චතුර සේනාරත්න ඔහුගේ මුහුණටම කියා සිටියේ මෙබන්දකි. "මගේ සතුරාගේ මිතුරා කියන්නේ මගේ සතුරා...එමනිසා ඒකාධිපති රාජපක්ෂ කඳවුරේ මිතුරා වී ඔබතුමා මගේ සතුරා බවට පත් වෙන්න එපා..."

 

පිය උරුමය දේශපාලන අභාරණයක් නොවේ 

 

දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න ඔහුගේ දේශපාලන පිටිය සහ නිජබිම වන කළුතර අතහැර ගම්පහට ආවේ පිය උරුමය දේශපාලන ආභරණයක් කර ගත් ඇමති පුතුන්ගේ දේශපාලන සම්ප්‍රදාය බිඳ දමමිනි. තාත්තාගෙන් දේශපාලනයේ අකුරු ඉගෙන ගත් නමුත් ඔහුට හැම විටම අවශ්‍ය වූයේ ඒ දේශපාලන භාෂාව මත තමාගේම කතාවක් තනියෙන් ලියන්නටය. කිසිඳු සම්බන්ධයක් නොතිබූ ගම්පහට පැමිණ බිංදුවේ සිට තනිව ගොඩ නැගුණු ඔහු දීර්ඝ දේශපාලන අත්දැකීම්වලින් ලද පන්නරයෙන් ගම්පහ මිනිසුන්ගේ විශ්වාසයෙන් මන්ත්‍රීවරයෙකු වුණේ ඒ නිසාය.

ඔහුට මනාපය ලබා දුන් ඔබගේ ගෞරවය ඔහු ආරක්ෂා කර ඇත. මහජන මුදල් සතයක් හෝ අවභාවිත කර නොමැත. ඇමති පුතෙකු ලෙස හෝ තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස සමාජ ශාලාවල හෝ වෙනත් සල්ලාලකම්වලට කාලය ගත කර නොමැත.

කොමිස්, පගා, බාර් ලයිසන් ,එතනෝල් ලයිසන්, පස් කැපීම, මත්ද්‍රව්‍ය, වැලි ගොඩදැමීම,බැඳුම්කර වංචාව වැනි දුෂණවලට අදාළ ශ්‍රී ලාංකික දේශපාලනයේ සුලබ චෝදනා එක්කවත් ඔහු වෙත වෙත එල්ල කළ නොහැකිය. මේ මොහොතේ රට ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව ඇතුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් රට වෙනුවෙන් සත්‍යය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ය. ජූරිය ඔබය..!

 

 

Advertiesment