Tuesday 20th of October 2020

English Tamil
Advertiesment


දේශපාලනයේ අපරාධකරණය


2020-08-01 16751

(වික්ටර් අයිවන්)

දේශපාලනයේ දක්නට තිබෙන අපරාධකරණය ලංකාව සේ ම අපේ ළඟම අසල්වැසියා ලෙස සැලකිය හැකි ඉන්දියාවද වෙලාගෙන තිබෙන බිහිසුණු පිළිකාවක් ලෙස සැලකිය හැකිය. එහිදී ඉන්දියාවේ පවතින යථා තත්ත්වය තේරුම් ගැනීමට අවශ්‍ය දත්ත ඇතත්, ලංකාවේ යථාර්ථය තේරුම් ගැනීමට අවශ්‍ය තරම් දත්ත නැති කමේ ප්‍රශ්නයක් පවතී. ලංකාවේ සමාජ විද්‍යාඥයින්, පාර්ලිමේන්තු හා මැතිවරණ බලධාරීන් තුළ ඒ සදහා උනන්දුවක් නැතිකම දත්ත නැතිකමේ ප්‍රශ්නය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. ඉන්දියාවේ 2004 දී අපරාධ නඩු තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුපාතිකය සියයට 24 ක් වූ අතර 2007 දී එය සියයට 30 දක්වාත්, 2014 දී සියට 34 දක්වාත් වර්ධනය වී 2019දී තවදුරටත් සීයට 43 දක්වා වර්ධනය විය.


ලංකාවේ තත්ත්වය


ලංකාවේ තත්ත්වය තේරුම් ගැනීමේදී අවශ්‍ය දත්ත නැතිකමෙහි ප්‍රශ්නයක් ඇතත්, ඒ විෂයේදී ලංකාව තිබෙන්නේද යහපත් තත්ත්වයක නොව නරක තත්ත්වයකය. ඉන්දියාවේ නම් දේශපාලනයට කළු සල්ලි ගලා ඒම වළකන දැඩි නීතිරීති පවතී. එසේම ඉන්දියාවේ දේශපාලන පක්ෂවල අරමුදල් මැතිවරණ කොමිසමේ දැඩි පරීක්ෂාවට ලක්වේ. ලංකාවේ ඒ දෙකම සිදුවන්නේ නැත. 1978න් පසුව දැන් මැතිවරණ වියදම් සීමා නීති ලංකාවේ නැත. පක්ෂවල අරමුදල් පරීක්ෂා කිරීමේ බලයක් මැතිවරණ කොමිසමට නැත. මැතිවරණවලදී ලංකාවේ දේශපාලන පක්ෂ යැපෙන්නේ කළු සල්ලිවලිනි.

1978න් පසුව බලයට පත් හැම ජනාධිපතිවරයෙකුම පිටුපස පාතාල නායකයෙකුද ලොකු කළු සල්ලිකාරයෙකුද සිටියේය. කළු සල්ලිකාරයා ජනාධිපතිගේ සමහර දුෂ්කර මූල්‍ය ප්‍රශ්නද, පාතාල නායකයා ජනාධිපතිට නීතියෙන් විසඳාගත නොහැකි ප්‍රශ්නද විසඳා දුන්නේය.

ලංකාවේ දේශපාලකයා හා අපරාධකාරයා දෙමුහුන්වීමක් සිදුවූයේ ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදීය. ආණ්ඩුවේ දේශපාලකයින්ට කැරලිකාරයින්ගෙන් එල්ල වූ මරණ තර්ජන නිසා දේශපාලකයින්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට පුද්ගලික හමුදා ඇතිකර ගනිමින් ඒවා පවත්වාගෙන යාමේ අයිතිය ලබාදෙන ලදි. එසේ ගොඩනගන පුද්ගලික හමුදාවල සෙබළුන් බවට බොහෝවිට පත්වූයේ එම ප්‍රදේශවල අපරාධකරුවන්ය. ආරක්ෂක හමුදා ඔවුන්ට අවි පුහුණුවක් ලබාදී ඔවුන්ට අවශ්‍ය ආයුධද ලබා දෙන ලදි.

ඒ නිසා අපරාධකරුවන්ට ප්‍රාදේශීය දේශපාලන බලවතුන් සමග විශ්වාසදායක හා සමීප සම්බන්ධයක් ඇතිකර ගැනීමට හැකිවූ අතර ඒ මගින් ප්‍රාදේශීය දේශපාලන බලවතුන්ගේ දේශපාලන වුවමනාවන්ට ගැළපෙන ලෙස කැරලි මර්දනය කරන්නන් ලෙස ක්‍රියා කරනවාට අතිරේකව දේශපාලන අනුග්‍රහය මත නීතියේ රැහැනට හසු නොවී සිය අපරාධ කටයුතු පවත්වාගෙන යාමේ හැකියාවද ලැබුණි. ප්‍රචණ්ඩ ගැටුම් දීර්ඝ කාලයක් පැවතීම නිසා දේශපාලකයින් හා ඔවුන් අතර ඇතිවූ සමීප සම්බන්ධය දීර්ඝකාලීන දෙයක් බවට පත්වී දේශපාලකයා අපරාධකාරයා වෙන්කොට හඳුනා ගැනීම පහසු නැති දෙමුහුන් පුද්ගලයකු බවට පත් කිරීමට හේතු විය.


දේශපාලකයා හා අපරාධකාරයා


අපරාධකාරයින් හා දේශපාලකයින් අතර ඇතිවී තිබුණ මෙම අන්තර් සම්බන්ධය පොලීසියේ භූමිකාව උපරිම මට්ටමකට දූෂිත කිරීමට හේතුවිය. දේශපාලකයින් සමග සහයෝගයෙන් ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට දේශපාලකයන්ගේ සමීප ආධාරකරුවන් ලෙස ක්‍රියා කරන අපරාධකරුවන් සමගද සහයෝගයෙන් ක්‍රියා කිරීමට සිදුවිය. ඒ නිසා අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමේ බිඳ වැටීමක් සිදුවු අතර පොලීසිය අපරාධකරුවන් සමග සහයෝගයෙන් ක්‍රියාකරන තත්ත්වයක් ඇතිවිය. එම තත්ත්වය රටේ සිදුවන අපරාධවල වර්ධනයක් ඇති කිරීමට හේතුවූ අතර අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමේ ක්‍රියාවලියේ බිඳ වැටීමක් ඇති කිරීමටද හේතුවිය.

අපරාධකාරයා හා දේශපාලකයා අතර ගොඩ නැගී තිබුණ අන්තර් සම්බන්ධය අපරාධකාරයින් කිසියම් ප්‍රමාණයකට දේශපාලකයින් බවටත් දේශපාලකයින්ද කිසියම් ප්‍රමාණයකට අපරාධකරුවන් බවටත් පත්කිරීමටද හේතුවී තිබුණි. දේශපාලන අනුග්‍රහය නිසා සමහර අපරාධකරුවන්ට රටේ පළමු පෙළේ ධනවතුන් බවට පත්වීමට හැකිවිය. රටේ දේශපාලන නායකයින් ඔවුන් මත යැපෙන තත්ත්වයක් ඇතිවීම නිසා රටේ ගමන් මග කිසියම් ප්‍රමාණයකට තීරණය කිරීමේ බලය එවැනි ධනවතුන්ට හිමිවිය.


ලංකාවේ නොසැලකිල්ල


අපරාධකරණය ඉන්දියානු දේශපාලනයේද දක්නට තිබෙන ප්‍රබල ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකි වුවද ඉන්දියාවේ ඊට එරෙහිව කරන බලවත් සටනක්ද දැකිය හැකිය. එහෙත් ලංකාවේ එවැනි සටනක් ඇත්තේම නැති තරම් ය. අවුරුදු 40 කටත් වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් රජයේ වැදගත් මාර්ග අල්ලා ගනිමින් නීතියට පටහැනිව පොදු දේපළ කොල්ලකන ක්‍රමයක් ක්‍රියාත්මකවෙමින් තිබුණද ලංකාවේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදුවන්නේම නැති තරම්ය. මෙය අපරාධ ගණයෙහිලා සැලකිය හැකි වරදක් වන අතර එම වරදට සම්බන්ධ මහජන නියෝජිතයන්ගේ අනුපාතිකයද ඉහළම මට්ටමක පවත්නා බව පෙනෙන්න්ට තිබේ. ඒ මගින් රජයට වාර්ෂිකව සිදුවන අලාබයේ තරමද අතිවිශාලය. එහෙත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදුවන්නේම නැත.

ගතවූ 42 වසරක් තරම් දීර්ඝ කාලයකට එම විෂයේදී වරදකරුවන් වී තිබෙන්නේ මහජන නියෝජිතයින් දෙදෙනෙකු පමණය. ඒ 1979දී ඇල්බට් සිල්වා හා 2000 දී රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරුන් දෙදෙනාය. අධිකරණය විසින් අවස්ථා දෙකකදී ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි කරනු ලැබුවද ඒ අවස්ථා දෙකේදීම ඔවුන් දෙදෙනා වෙනත් ආකාරයකින් මන්ත්‍රීවරුන් බවට පත් කොට ඔවුන් ට හිමි දණ්ඩනයෙන් ඒ දෙදෙනා නිදහස් කරන ලදි. එම අවලස්සන නීති විරෝධී ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයට හේතුවූයේ නැත.

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට එරෙහිව පවත්වාගෙන යන පරීක්ෂණ තිබේ. ඒ සමහර පරීක්ෂණවලට අවුරුදු 10කට වැඩි කාලයක් ගතවී ඇතත් ඒවා අවසන් කිරීමට හැකිවී නැත. අධිචෝදනා ඉදිරිපත් වී ඇති මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් උසාවියේ ඇසෙන නඩු පිළිබඳව ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියද ඊට වෙනස් නැත. ඒ සියලු නඩු පැහැදිලි අවසානයක් නොපෙනෙන දීර්ඝකාලීන නඩු බවට පත්වී තිබේ. 1978න් පසුව සිරදඬුවමක් ලැබූ එකම මන්ත්‍රීවරයා බවට පත්ව සිටින්නේ දුමින්ද සිල්වාය.


ඉන්දියාවේ තත්ත්වය


මහජන නියෝජියින්ට අදාළ පරීක්ෂණ හා නඩුහබ සම්බන්ධයෙන් ඉන්දියාවේ කටයුතු සිදුවන ආකාරය ලංකාවට වඩා මුළුමනින් වෙනස් ය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය 2014දී දෙන ලද තීන්දුවක් අනුව අපරාධ චෝදනා එල්ලවී තිබෙන මහජන නියෝජිතයින්ගේ වසරක් තුළ අසා නිම කළ යුතුය. අභියාචනා ඇති අවස්ථාවලදී එම අභියාචනාද මාස තුනක් තුළ අවසන් කළ යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණය 2015 නොවැම්බර්වලදී දෙන ලද නඩු තීන්දුවක් අනුව මහජන නියෝජිතයින්ට අදාළ නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා විශේෂ අධිකරන ක්‍රමයක් ඇති කළ යුතු බව නිර්දේශ කළේය. ඒ අනුව 2017දී ආණ්ඩුව මුළු රටටම බලපාන ලෙස විශේෂ අධිකරණ 12 ක් ඇති කරන ලදි.

2020 පෙබරවාරිවලදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තවත් තීන්දුවක් අනුව දේශපාලන පක්ෂයක් අපරාධ නඩු ඇති පුද්ගලයෙකුට නාමයෝජනා ලබාදීමට තීන්දු කරන හැම අවස්ථාවකදීම අපරාධ නඩු තිබියදී නාමයෝජනා දීමට බලපෑ හේතු පැහැදිලි කරන ප්‍රකාශයක් පක්ෂයේ වෙබ් අඩවියෙන්ද පුවත්පතක පළකරන දැන්වීමක් මගින්ද පැය 48ක් තුළ ප්‍රසිද්ධ කළ යුතුය. ඒ ගැන විස්තර ඇතුළත් වාර්තාවක් එම පක්ෂය පැය 72ක් තුළ මැතිවරණ කොමිසමටද ඉදිරිපත් කළ යුතුය. එසේ කිරීමෙන් වැළකී සිටින දේශපාලන පක්ෂ වෙතොත් එය අධිකරණයට කරන ලද අපාහාසයක් ලෙස සලකා මැතිවරණ කොමිසම අධිකරණයට වාර්තා කළ යුතුය. ලංකාවට එවැනි තත්ත්වයකට යනු ඇත්තේ කවදාද?

Advertiesment