Wednesday 21st of October 2020

English Tamil
Advertiesment


රාජ සභා මණ්ඩපයේ ආගම්වාදය සහ දේශපාලනය


2020-07-29 2056

ජනපතිගෙයි-අගමැතිගෙයි ක්‍රියාකලාපයට විශ්ව විද්‍යාල ප්‍රජාවේ විරෝධය  

 
 
(මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන)

 

සෑම ආණ්ඩුවක් විසින් මෙරට ඓතිහාසික පුරාවිද්‍යාත්මක උරුම වටිනාකම් ඇති ස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් වග කිව යුතුය. අඩු වැඩි වශයෙන් එම ජාතික උරුමය පිළිඹිබු කෙරෙන ස්මාරක ගොඩනැගිලි සහ කෞතුකාගාරවල තැන්පත් කර තිබූ චංචල වස්තූන් විනාශ කිරිම සේම අතුරුදහන් කිරිම සම්බන්ධ අපකීර්තිමත් ඉතිහාසයක් සියලුම ආණ්ඩු සතුව පවති. කුරුණෑගල රාජ සභා මණ්ඩපය ලෙස විශ්වාස කෙරෙන ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මත වටිනාකම සහිත එම ගොඩනැගිල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් තවමත් චූදිතයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනතේ වගන්ති ක‍්‍රියාත්මක නොවිම පිළිබඳ සමාජය තුළ දැඩි සංවාදයක් ගොඩනැගි ඇත.

 

උරුමය විනාශ කිරීමේ මෑත කාලීන දේශපාලන මැදිහත් විම

 

මහ මැතිවරණය හමුවේ රාජ සභා මණ්ඩපය පිළිබඳ දැඩි සංවාදයක් ඇති වුවද මීට පෙර බොහෝ අවස්ථාවල දේශපාලඥයන්ගේ මැදිහත්වීම මත පුරාවිද්‍යා උරුමයන් සඳහා හානි පමුණුවා තිබේ. 2018 වර්ෂයේ මැයි මාසයේදී අනුරාධපුර ඉපලෝගම ඓතිහාසික වශයෙන් වැදගත් වන පුරාවිද්‍යා භූමිය නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් විනාශ කරන ලදී. 

මෙහි ඇති පුරාවිද්‍යා ස්මාරක ක‍්‍රිස්තු වර්ෂ මුල් කාලයට අයත් වන බව නිගමනය වී තිබිණි. කෙසේ වුවද දේශපාලන බලාධිකාරියේ වුවමනාව වෙනුවෙන් ශ‍්‍රී ලාංකිය ඉතිහාසයේ ඉතා වැදගත් වන සංස්කෘතික භූ දර්ශනයේ සත්‍යතාව සඳහා විශාල හානියක් මෙමඟින් සිදු විණි. මෙම කරුණ විග‍්‍රහ කිරීමේදි පෙනි ගියේ රාජ්‍ය ආයතන තම සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලය හමුවේ පුරාවිද්‍යා නීති රීතිවල සඳහන් බලපෑම් ඇගයුම් සමීක්ෂණ ආදිය සිදු කිරිමෙන් වැළකි ඇති බවයි. පුරාවිද්‍යා නීතිය අනුව එම ක්‍රියාව දඬුවම් ලැබිය යුතු වරදක් වන අතර එම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අවසානයේ වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමට මහ ජනයාට සිදු විය. එහෙත් ඊට සාධාරණයක් ඉටු නොවුණි. 

2017 වර්ෂයේ අග භාගයේදී නැගෙනහිර පළාතේ සාම්පුර් ප‍්‍රදේශයේ බෞද්ධ ස්ථූපය විනාශ කෙරුණු අතර සංවර්ධන වැඩ සටහනක් වෙනුවෙන් කෙරුණු එම විනාශයට ද දේශපාලන මැදිහත්වීමක් පැවති බව වාර්තා විණි. මෙම කාර්යයේදිී පවා පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා බලපෑම් ඇගයුම මඟ හැර සංවර්ධන වැඩ සටහන වෙනුවෙන් පමණක් අවධානය යොමු කර තිබූ බව අනාවරණය විය. 

මෙම සියලු සංවර්ධන වැඩ සටහන් සහ දේශපාලන මැදිහත්විම් උරුමය හා සම්බන්ධ ක‍්‍රියාවලියේදී පුරාවිද්‍යා නිතී රීතිවල සඳහන් වගන්ති පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන බව විද්‍යමාන වේ. ඒ අනුව කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ පුරාවිද්‍යා උරුම අංග විනාශ කිරීම හමුවේ රටේ මහ ජන සංවාදය යොමු විය යුත්තේ විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ දේශපාලන බලය හරහා ක‍්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් මඟින් පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරිමට අදාළ බලපෑම් ඇගයුම් සමික්ෂණ ක‍්‍රියාත්මක කිිරීම සඳහා මෙම ආයතන උනන්දු කරවිමේ දිශානතියට බව සඳහන් කළ යුතුය. 

ජනාධිපතිවරයා පසුගියදා කුරුණෑගල පැවති දේශපාලන රැස්වීමකට සහභාගි වු අවස්ථාවේදී රැස්වීමට සහභාගි වි සිටි ඇතැම් පිරිස් රාජ සභා මණ්ඩපය සඳහා  සිදු කර ඇති විනාශය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමට උත්සහ කළහ. එසේ වුවද  එම ගොඩනැගිල්ලේ ඇති උරුම වටිනාකම් පිළිබඳව ජනාධිපතිවරයා අවධාරණය නොකොට එම "බුවනෙකගේ හෝටලය" ලෙස හඳුන්වමින් එම උරුම ගොඩනැගිල්ලේ වටිනාකම හෑල්ලූවට ලක් කරන ආකාරයෙන් කටයුතු කරන ලදි. 

යටත් පිරිසෙයින් එම ගොඩනැගිල්ලේ විනාශය පිළිබඳ නීතිමය විධිවිධාන අනුව ක‍්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බවට මහ ජනයා ඉදිරියේ පවසා සිටියේ නම් ඒ සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට ඉඩ කඩ තිබිණි. එහෙත් එම මහා සංහාරය 'බුවනෙක' නම් වචනය යොදා ගෙන සාමාන්‍යකරණයට ලක් කිරිමට ජනාධිපතිවරයා ක්‍රියා කිරීම ගැන පුරවැසියන් ලෙස කණගාටුවට පත් විය යුතුය. 

මෙම රාජ සභා මණ්ඩපය විනාශ කිරීමේ සිද්ධියට අදාළව, එම ගොඩනැගිල්ල ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට විධාන කළ බව නගරාධිපතිවරයා මුලදී පිළිගත් නමුදු බලාපොරොත්තු නොවුණු අයුරින් එම පුරාවිද්‍යා උරුම ගොඩනැගිල්ල විනාශ කිරිම පිළිබඳව ප‍්‍රබල විරෝධයක් සමාජයෙන් එල්ලවීම හමුවේ දේශපාලන යාන්ත‍්‍රණයේ නගරාධිපතිවරයාගේ සිට ඉහළට සංයුක්තව සිටින දේශපාලන බලධාරීන් විසින් එම ගොඩනැගිල්ල විනාශ කිරීම සම්බන්ධ ක‍්‍රියාවලිය වෙනස් කරමින් කටයුතු කිරීමට ඉදිරිපත් වි ඇත. 

අවසාන විග‍්‍රහයේදි මෙම පුරාවිද්‍යා උරුම ගොඩනැගිල්ල විනාශ කිරීම මානව මැදිහත්විමක් මත සිදු නොවූවක් වන අතර එම විනාශය සිදු වූයේ ස්වභාවික හේතු නිසා ගොඩනැගිල්ල කඩා වැටීමකට ලක් වීම හේතුවෙන් බවට දේශපාලන බලාධිකාරීන් තම මුල් මතය වෙනස් කරමින්කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. 

පුරාවිද්‍යා උරුමය පිළිබද සාක්ෂි පවතින මෙම ස්ථානයේ වටිනාකම නොසළකා හරිමින් බෞද්ධ උපදේශක කමිටුව නියෝජනය කරන ඇතැම් සංඝයා වහන්සේලා ජනාධිපතිවරයා ඉදිරියේ මේ රාජ සභා ගොඩනැගිල්ල පුරාවිද්‍යා උරුමයක් නොවන බවට කරුණු දැක්විම ඉතා භයානක ප‍්‍රවේශයක් ලෙස දැක්විය හැකිය. මෙම ප‍්‍රකාශය හේතුවෙන්  බෞද්ධ උපදේශන කමිටුව නියෝජනය කරන පුරාවිද්‍යා උරුමය පිළිබඳව දැනුමක් ඇති, වගකීමෙන් කටයුතු කරන විද්වත් සංඝයා වහන්සේලාගේ නිවැරදි මතයට ද දැඩි බලපෑමක් ඇති කර තිබේ.  මෙවැනි ව්‍යාජ තත්ත්වයන් හමුවේ උරුමය විනාශ කිරීමට සම්බන්ධ වූ චූදිතයන්ට එරෙහි නීතිය ක‍්‍රියාත්මක කිරිම පිළිබඳව බලවත් සැක සංකා සමාජය තුළ පැන නැගි ඇති නිසා උරුමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලසම්පන්න ප‍්‍රශ්න රාශියක් මතු වී ඇත. 

 
ප‍්‍රතිසංස්කරණයේ වියදම් පියවා ගැනීම

 

මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම හමුවේ විෂය භාර අමාත්‍යවරයා වන අග‍්‍රාමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා යැයි කියමින් කමිටුවක් පත් කිරීම අදාළ සිද්ධියට එරෙහිව ඇති වූ විරෝධය සමනයට පත් කිරීමට ගනු ලැබු දේශපාලන මූලෝපායක් වන අතර, මූලික කමිටු වාර්තාවේ ඉතා පැහැදිලිව සටහන් කර තිබෙන වරදකරුවන්ට දඬුවම් දීමේ ක‍්‍රියාවලිය තවදුරටත් පමා කොට ඇත. 

දේශපාලඥයන් මැදිහත් වී උරුමය විනාශ කරන සිදුවීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා නීතිය ක‍්‍රියාත්මක නොකොට ඊට ඉහළින් පත් කරනු ලබන විශේෂ කමිටු හරහා ආඥ පනත හෑල්ලූවට ලක් කිරිම යහපත් සමාජයක් ගොඩනැගිමට පොරොන්දු වී බලයට පැමිණෙන ආණ්ඩුවකින් අපේක්ෂා කළ නොහැක. අනෙක් අතට විටින් විට පුරාවස්තු විනාශ කරන පුද්ගලයන් හමුවේ මෙවැනි කමිටු පත් කිරීමෙන් ලබා දෙන ආදර්ශය ඉතා වැරදි පූර්වාදර්ශයක් බව සඳහන් කළ යුතුය. 

මෙම කමිටුව විසින් අග‍්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ පස් වැදෑරුම් යෝජනාවලියේ සඳහන් වන ආකාරයට විනාශයට පත් වු ගොඩනැගිල්ල නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමේදි ඒ සඳහා වැය වන මුල්‍යමය වියදම මෙම ගොඩනැගිල්ල විනාශ කිරීමට වග කිව යුතු පුද්ගලයින් සහ ආයතනවල ධනයෙන් සිදු කළ යුතු බවට වාර්තා කර ඇත. එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය වන මුදල රුපියල් මිලියන 09ක් බව වාර්තා වේ. 

එසේ වුවද අදාළ ආයතනවල සහ පුද්ගලයින්ගේ මුදලින් මෙම ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරිම සිදු වන බවට ආණ්ඩුව විසින් වාර්තා කිරීමත් සමඟ ඊට මහ ජන විරෝධය දැඩිව එල්ල වි ඇත. ඇත්ත වශයෙන්ම පුරාවිද්‍යා බලපෑම් ඇගයුමක් කිරීමේදි සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන ආයතන විසින් ඊට අදාළ ක‍්‍රියා මාර්ග ගෙන නොතිබීම මඟින් ද පුරාවිද්‍යා නීතිය උල්ලංඝනය කර ඇත. ආඥාපනතේ දැක්වෙන පරිදි බලපෑම් ඇගයුමට අදාළ මුදල් එම ආයතන විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තැන්පත් කර තිබුණේ නම්, මෙහි පර්යේෂණ කටයුතු මෙන්ම ඉදිරි ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා එම මුදල් භාවිතා කිරීමේ හැකියාව තිබුණි. 

 
උරුමය සහ ආගම්වාදය 

 

උරුමය රාජ සභා ගොඩනැගිල්ලේ විනාශය වෙනත් අතකට යොමු කිරීමේ අරමුණින් ආගම්වාදී ප‍්‍රකාශ සිදු කිරීමට ඇතැම් දේශපාලඥයන් පෙළඹිම හමුවේ මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම සාධාරණි කරණය කිරීමට පෙළඹිම කණගාටුදායක තත්ත්වයක් බව පැවසිය යුතුය. එකල ඓතිහාසික ජනප‍්‍රවාදයකට අනුව කුරුණෑගල රාජධානිය පාලනය කළ දෙවන බුවනෙකබාහු රජුගේ අන්ත:පුරය සහ එහි සිටි මුස්ලිම් ජාතික කාන්තාව පිළිබඳව ඒත්තු ගැන්වීම හරහා රජතුමා බෞද්ධ වුවත් ඔහුගේ මුස්ලිම් ඇසුර හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කිරිම ඉතා කණගාටුදායකය. ජනප‍්‍රවාද තොරතුරු අනුව දෙවන බුවනෙකබාහු රජුගේ මුස්ලිම් බිසවට දාව උපන් කුමරා වත්හිමි කුමරා හෙවත් වත්කම් හිමි කුමරා ලෙස හැඳින්වූ බව වාර්තා වේ. 

ඇතැම් අවස්ථාවල මේ කුමරා මුහම්මදන් නමින් ප‍්‍රචලිතව සිටි බව ඊ.එච්. මොඩර් විසින් පෙන්වා දි ඇත. අනෙක් අතට එම ජනප‍්‍රවාදයේ කියැ වෙන පරිදි දෙවන බුවනෙකබාහු රජුගේ බිසවට දාව උපන් කුමරා  හතර වන පරාක‍්‍රමබාහු ලෙස, බුවනෙකබාහු රජුගෙන් පසු රාජ්‍ය  පාලනය භාර ගෙන ඇත. සිංහල රාජ ඉතිහාසය තුළ අන්ත:පුරය සහ එහි කුමාරිකාවන්ගේ දකුණු ඉන්දීය සම්බන්ධය පිළිබඳව බොහෝ විස්තර පවති. විජය කුමාරයාගේ අග බිසව බවට පත් වූ කුමරිය දකුණු ඉන්දියාවේ මථුරා පුරයෙන් පැමිණි කුමාරිකාවකි. ඉන් අනතුරුව බලයට පත් වු බොහෝ රජවරු දකුණු ඉන්දිය කුමාරිකාවන් තමන්ගේ රජ බිසව ලෙස තෝරා ගත් බවට සාක්ෂි පවති. 

දේශපාලන වේදිකාවේ තවත්  පිරිස් විසින් ඇතැම් දේශපාලනඥයන්ගේ කතෝලික ආගම ද මීට සම්බන්ධ කිරීමට උත්සහ ගෙන ඇත. ඉතිහාසය තුළ ඉතා සහයෝගීව ආගමික සහ ජාතික සහජීවනයක් පැවති පසුබිම හමුවේ එවැනි සිද්ධි ආගමික වාදයට නැඹුරු කොට උරුමය විනාශ කිරිීම සාධාරණිකරණය කිරීම මගින් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම ශ‍්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගිමට වෙර දරන සමාජ පසුබිම ධ‍්‍රැවිකරණය කිරිමට උත්සහ කිරිම කණගාටුදායකය. 

 
නැගෙනහිර පුරාවිද්‍යා උරුමය

 

රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ අකිල විරාජ් කාරියවසම් විසින් ක‍්‍රිකුණාමලය මඩකපුව සහ අම්පාර යන ප‍්‍රධාන නගර කේන්ද්‍ර කොට ගෙන මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රධාන ව්‍යාපෘති තුනක් ආරම්භ කරන ලදී. යාපනය කොටුව සහ ඩෙල්ෆ් දූපත තුළ ද මෙවැනි ව්‍යාපෘතීන් දෙකක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ආරම්භ කරන ලදී. බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගම් සැළකිල්ට ගනිමින් යාපනයේ පුරාවිද්‍යාව පිළිබඳ මහචාර්යවරුන් වන එස් පද්මනාදන් සහ පී පුෂ්පරත්නම් යන අයගේ ප‍්‍රධානත්වයෙන් එම වැඩසටහන් ඉතා සහයෝගයෙන් ක‍්‍රියාත්මක කරන ලදීි. 

එසේ වුවද නැගෙනහිර කාර්ය සාධක බලකාය තුළ ආගමික විවිධත්වයක් තිබෙන පුරාවිද්‍යා ස්මාරක හා ගොඩනැගිලි හදුනා ගැනිමේ පසුබිම තුළ මෙවැනි ජාතික ආගමික අනන්‍යතාවක් ඇති විශේෂඥයින් ඊට ඇතුළත් නොකරගැනීම බරපතළ තත්ත්වයක් මතු කරන බව පෙන්වා දිය  හැකිය. අනෙක් අතට පුරාවිද්‍යා උරුමය පිළිබද පර්යේෂණ පවත්වන පශ්චාත් උපාධි ආයතනය ආරම්භ කළ 1984 සිට එහි කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ එකම දෙමළ විශේෂඥයා වූ මහාචාර්ය එස්. පද්මනාදන් මහතාව, කමිටු සාමාජිකයන් සංශෝධනයට ලක් කරිීමේ කාර්යයේදී ආණ්ඩුව විසින් එම මණ්ඩලයෙන් ඉවත් කිිරීමට කටයුතු කර ඇත. 

ඒ නිසා බෞද්ධ උරුමයට පිටතින් තිබෙන හින්දු සහ ඉස්ලාම් උරුමයන් පිළිබද විශේෂඥයින් ඊට ඇතුළත් කර ගැනිමෙන් ආගමික සංහිඳියාව ගොඩනැගිමට තිබෙන අවස්ථා පැහැර හැරීම බරපතළ තත්ත්වයක් බව දැක්විය යුතුය. සෑම ආගමකටම අයත් පැරණි වස්තූන්, පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ස්ථාන ලෙස සැළකේ. නැගෙහිර කලාපයේ පුරාවිද්‍යා ස්මාරක වාර්තා කිරිම, සංරක්ෂණය සහ ආර්ථික ඉලක්ක සපුරා ගැනිමේ කාර්යයේදී එය එම විද්වතු්ගේ සංවාදයට ලක් කිරීමේ ඇති අයිතිය බැහැර නොකිරීමට වග බලා ගන්නෙ නම් ඉතා වැදගත් බව පැවසිය හැකිය. 

-මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන-
(B.A.M.Phil.(Kel'ya), Cert, in Cultural asset. (Shiga) Ph.D. (Kelaniya), FSLCA)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 
කැළණිය විශ්ව විද්‍යාලය 
Advertiesment