Thursday 24th of September 2020

English Tamil
Advertiesment


එජාපයයි-නායකයයි වැනසුවේ කවුද..?


2020-07-29 8269

එජාපයට පිටු පා සිරිකොතට යළි පැමිණිමේ දේශපාලනය

 

(මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන) 

 

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය යටතේ පසුගියදා එජාප සාමාජිකයින් 99 දෙනෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීම හේතුවෙන් එජාප සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබීය. 

විශේෂයෙන් ඉදිරි මහ මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා ඉදිරිපත් කිරිම වෙනුවට වෙනත් පක්ෂයකින් නාම යෝජනා අත්සන් කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා නොගැනීම යන නීත්‍යානූකූල පසුබිම මගින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබීම මීට හේතූ වී තිබේ. 

ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් දේශපාලන සංවිධානයක් ගොඩනැගීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීන්දු කරනු ලැබුව ද සජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිස විසින් වෙනම දේශපාලන පක්ෂයක් මැතිවරණ කොමිසම් සභාව තුළ ලියාපදිංචි කොට එජාපයට එරෙහිව දේශපාලන ප‍්‍රචාරක කටයුතු මෙහෙයවීම ඉතා සෘජුව පක්ෂයේ විනය කඩ කිරීමක් ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂ ව්‍යවස්ථාව අනුව තීරණය කර ඇත.  

එජාපය විසින් ඉදිරි මැතිවරණයට ගොඩනගන පුළුල් සන්ධානය හා සම්බන්ධ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතා අපොහොසත් වීම මගින් එජාපයෙන් වෙන් වී යාම සදහා අවශ්‍ය සියලු කටයුතු ඊට ඇතුළත් කර මෙම කටයුතු ඉදිරියට ගෙන ගොස් ඇති බව පෙනි යයි.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉතා පැහැදිළිව පෙන්නුම් කර දී ඇති එජාප කේන්ද්‍රීය පදනම යටපත් නොකොට ප‍්‍රබල පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනීම වෙනුවට වෙනත් පක්ෂයක් ගොඩනගා එජාපයට එරෙහිව නාම යෝජනා ලබා දීම හා පශ්චාත් නාම යෝජනා කාලය තුළ දී එජාපයට එරෙහිව දේශපාලන ප‍්‍රචාරක කටයුතු සංවිධානය කිරීමේ විභවය හමුවේ තවදුරටත් සමගි ජන බලවේගය (ස.ජ.බ) කණ්ඩායම එජාපය ලෙස හැඳින්වීම පක්ෂ ව්‍යවස්ථාව යටතේ සිදු කළ නොහැකි තත්ත්වයක්ව පවතී. 

 

අධිකරණ තීන්දුවෙන් පරාජය වූ ස.ජ.බ.

 

එජාප ව්‍යවස්ථාවට අනුව මෙම පිරිස ඉවත් කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මහ ලේකම් විසින් පැවරූ නඩුවට කොළඹ දිසා අධිකරණය විසින් ලබා දුන් තීන්දුව බල රහිත කිරීමට ඉල්ලා බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය වෙත සිදු කළ අභියාචනය පසුගියදා රුපියල් විසි පන්දහසක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප‍්‍රභා කරන ලදී. 

මේ අනුව ස.ජ.බ යනු වෙනම පක්ෂයක් වන අතර එහි සාමාජිකයින්ට එජාපය තුළ රැඳෙමින් කිසිසේත්ම ද්විත්ව සාමාජිකත්වයක් පවත්වා ගැනීමට නොහැකි බව මෙම අධිකරණ තීන්දුව මගින් තහවුරු කර ඇත. මෙම අධිකරණ තීන්දුව ප‍්‍රකාශවීමත් සමග එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් දේශපාලන රැළියක් අමතමින් ප‍්‍රකාශ කර සිටියේ එජාප ය විනාශ කරන අය තවදුරටත් එජාපයේ නොසිට එයින් ඉවත් විය යුතු බවයි. එම පසුබිම තුළ මෙම අධිකරණ තින්දුව විසින් එජාපය සහ සජබ වෙනම පක්ෂ දෙකක් ලෙස  පිළි ගෙන ඇති බව පැහැදිළිය. 

 

බණ්ඩාරනායක එජාපයෙන් ඉවත්වීම

 

1946 එජාපය බිහි කිරීමේ සිට ගෙවි ගිය වසර 73ක කාල පරිච්ඡේදය තුළ අවස්ථා කිහිපයක දී විවිධ දේශපාලනික මති මතාන්තර හේතු කොට ගෙන දූරදර්ශි බව සහ ඉවසීමේ ගුණය ප‍්‍රගුණ කර ගනිමින් බොහෝ පිරිසක් තමාගේ අවස්ථාව එන එජාපය තුළ රැකෙමින් දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යාමට සමත් විය. 

ඉහත ගුණාංග පිළි පැදීමට අපොහොසත් වූ තවත් පිරිසක් තාවකාලික දේශපාලනික ගණන් හිලව් හදා ගෙන තම වටා සිටින පිරිසගේ ඉල්ලීම අනුව එජාපය  වෙතින් ඉවත් ව ටික කලකින් නැවත සිරිකොත වෙත පැමිණ දේශපාලන කටයුතු ආරම්භ කළ අවස්ථා බොහෝමයක් ද පවතී. 

එජාපය පිහිටූවීමේදී එහි උප සභාපතිවරයෙකු වූ එස්. ඩබ්. ආර්.ඞී  බණ්ඩාරනායක මහතා 1951 දී එජාපයෙන් ඉවත්වීම සඳහා සළකා බැලූ පූර්ව කොන්දේසියක් වූයේ තත්කාලීන දේශපාලන පරිසරය තුළ ජාතිකත්වය පෙරට දමා කටයුතු කිරීමේ විෂය මූලික කරුණු ඔස්සේ මහ ජන ආකර්ෂණය ලබා ගැනීමෙන් ඉතා පහසුවෙන් රාජ්‍ය බලය ලබා ගැනීම සදහා අවස්ථාව උදා කර ගත හැකි බවයි. 

එබැවින් ඔහු විසින් ශ‍්‍රීලනිපය බිහි කරන ලදී. එය එක් අතකින් මුල් කාලීන දේශපාලන පක්ෂ බිහි කිරීමේ සම්ප‍්‍රදාය තුළ එජාපයට විකල්පයක් ලෙස බිහි කළ ප‍්‍රථම පක්ෂය ලෙස සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම හමුවේ බණ්ඩාරනායක විසින් ජනිත කළ දර්ශනය ඔහුගේ අනුගාමිකයෝ ඉදිරියට ගෙන ගියහ.  කෙසේ වුවද 1993 දී බණ්ඩාරනායකගේ එකම පුතණුවන් වූ අනුර බණ්ඩාරනායක එජාප දේශපාලනය තෝරා ගැනීම දෛවෝපගත සිද්ධියක් ලෙස සැළකිය හැකිය. 

 

රණසිංහ පේ‍්‍රමදාසගේ එජාප අරගලය

 

1951 ඞී.එස්. සේනානායකගේ හදිසි අභාවය හේතු කොට ගෙන ඩඞ්ලි සේනානායක පක්ෂ නායකත්වයට පත් වුවද පක්ෂයේ ප‍්‍රබලයෙකු වු ජේ.ආර් ජයවර්ධන සහ ඩඞ්ලි අතර ප‍්‍රබල ප‍්‍රතිවිරෝධයක් මතු වී තිබිණි. මෙම දේශපාලනික බල ව්‍යුහය තුළ පක්ෂයේ ආධුනිකයෙකු වු රණසිංහ පේ‍්‍රමදාස යම් මට්ටමකින් ඩඞ්ලි සේනානයකට සහය දක්වන ලදී. මෙම වටපිටාව තුළ රණසිංහ පේ‍්‍රමදාස විසින් සකස් කළ යෝජනා කිහිපයක් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉවත දැමීමේ හේතුව නිසා  එයින් කම්පනයට පත් වු රණසිංහ පේ‍්‍රමදාස සමස්ත ලංකා පුරවැසි පෙරමුණ නමින් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම එජාපයට සෘණාත්මක බලපෑමක් ඇති කිරීමට හේතූවිය. 

කෙසේවුවද එක් අතකින් මෙය පක්ෂයෙන් වෙන්වී යාමේ දේශපාලන තීන්දුව ගන්නවාට වඩා පක්ෂය තුළ රැකෙමින් පක්ෂයේ නායකත්වය සදහා තමාට කාලය එන තෙක් ඉවසීමේ ගුණාංගය වෙනුවෙන් අනුගත වූ ක‍්‍රියාවලියක් ලෙස සැළකිය හැකිය. ඉක්බිතිව ඩඞ්ලිගේ අභාවයත් සමග පේ‍්‍රමදාස ජේ.ආර් එක්ක  එකතුව පුරවැසි පෙරමුණ පසෙකින් තබා, 1977 රාජ්‍ය බලය ලබා ගැනීම සදහා කටයුතු කළේය.මෙයින් පෙනි යන්නේ පක්ෂය තුළ ඩඞ්ලි සහ ජේ.ආර් ගැටුම් ඇති කර ගැනීමේදී රණසිංහ පේ‍්‍රමදාස එජාපයෙන් වෙන් වී යාම පසෙක තබා පක්ෂය තුළ රැඳෙමින් ඉවසීමෙන් නායකත්වය සඳහා කටයුතු කළ ආකාරයයි. 

 

සේනානායකවරු එජාපයෙන් ඉවත්වීම

 

කෙසේ වුවද සේනානායක පරපුරේ බොහෝ පිරිසක් ඩඞ්ලිගේ අභාවයත් සමග එජාපය හැරදා ගොස් පසු කලක දී නැවත සිරිකොත දේශපාලනය තෝරා ගැනීමට කටයුතු කර ඇත. ඩඞ්ලිගේ අභාවය සමග 1972 දී දැදිගම මන්ත‍්‍රීවරයා ලෙස පත්වූ රුක්මන් සේනානායක, පක්ෂ නායකයා වූ ජේ. ආර් සමග පක්ෂ නායකත්ව ගැටුමකට පැමීණීමේ අවසාන ප‍්‍රතිඵලය වූයේ, ජේ.ආර් විසින් ඔහුගේ පක්ෂ සමාජිකත්වය අහෝසී කිරීමයි. 

ඩඞ්ලිගේ අභාවය සමග රුක්මන් සේනානායක විසින් සේනානායක පරපුරේ උරුමය ඉදිරියට දමා පක්ෂ නායකත්වය ලබා ගැනීමට යාම මගින් පැහැදිළි වන්නේ, දේශපාලන භාවිතයේ දී තිබිය යුතු දූදර්ශී බව, ඉවසීමේ ගුණය, සහ සිය කාලය එන තෙක් උපායශීලිව කටයුතු කිරීම යන ගුණාංග ඔහු සතුව නොතිබූ අතර ඒ හේතුවෙන් රුක්මන් සේනානායකගේ දේශපාලන ජීවිතය විනාශ වූ බවය.

මේ නිසා 1977 රාජ්‍ය බලය ලබා ගත් එජාප ආණ්ඩුවේ විශාල වැඩ කොටසක් කිරීමට තිබූ අවස්ථාව රුක්මන් සේනානායක අහිමි කර ගත්තේය. 1980 දශකයේ අග භාගයේදී එක්සත් ලංකා ජනතා පක්ෂය නමින් රුක්මන් සේනානායක නැවත ක‍්‍රියාකාරී දේශපාලනයට පැමිණිය ද එය අසාර්ථක විය. ඔහුගේ සාර්ථකත්වය නැවත ආරම්භ වූයේ 1994 සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප දේශපාලනය ආරම්භ කිරීමත් සමගිනි. පසු කාලීන සේනානායක පරපුරේ සාමාජිකයන් ඉවසිමේ ගුණය ප‍්‍රගුණ නොකළ නිසා ඔවුහූ දේශපාලනයේ දී සිය ඉදිරි ගමන් මඟ කඩාකප්පල් කර ගත්හ. ඔවුන්ට ද විවිධ දේශපාලන පක්ෂවල කටයුතු කර අවසානයේ එජාප දේශපාලනය තෝරා ගැනීමට සිදු විය. 

 

ලලිත්-ගාමිණි එජාපයෙන් ඉවත්වීම 

 

රණසිංහ පේ‍්‍රමදාසට එරෙහිව ඉදිරිපත් කළ දෝශාභියෝගය හමුවේ ලලිත්-ගාමිණි විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ නමින් නව පක්ෂයක් ගොඩනැගීම සිදු කරන ලදි. ලලිත්-ගාමිණි යනු මෙරට දේශපාලනයේ උගත් සහ බුද්ධිමත් දේශපාලන නායකයින් ලෙස ජනතාවගේ ආදරය දිනා ගත් දෙදෙනෙකු විය. ඔවුන් විසින් 1977 ජේ.ආර් ගේ ආණ්ඩුව තුළ මෙරට සමාජ ආර්ථික සංවර්ධය උදෙසා තම බුද්ධිමය දායකත්වය ලබා දුන් රාජතාන්ත‍්‍රික බවින් පරිපූර්ණ වූ දේශපාලඥයින් විය. 

කෙසේ වුවද එජාප පාක්ෂිකයෝ ඔවුන් සිරිකොත දේශපාලනය හැර යාම අනුමත නොකළහ. 1991 දී පැවති පළාත් සභා මැතිවරණයේදී ඔවුනට ලබා ගත හැකි වූයේ ඡන්ද ලක්ෂ නවයකට ආසන්න ප‍්‍රමාණයකි. කෙසේ වූවද රණසිංහ පේ‍්‍රමදාස ඝාතනයෙන් පසු ගාමිණි දිසානායක විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ අත හැර නැවත සිරිකොත දේශපාලනය තෝරා ගැනීමෙන් සනාථ වන්නේ එජාපයෙන් වෙන් වී නිර්මාණය කරන පක්ෂවලට අනාගතයක් නොමැති බවයි.  

එක් අතකින්, දෝෂාභියෝගය හරහා එජාපය තුළ මතු වූ දේශපාලන විසංවාදය එම පක්ෂයේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් එල්ල කරන ලදී. අනෙක් අතින් එල්ටී.ටීඊ සංවිධානය විසින් එජාපයේ ඉදිරි පෙළ බොහෝ නායකයින් ඝාතනය කිරිම හේතුවෙන් පක්ෂය තුළ මුල් පෙළේ නායකයින් බොහෝ දෙනෙකුගේ අඩුවක් පැවතිණි. 

ඒ.සී.එස් හමීඞ්, මොන්ටේගු ජයවික‍්‍රම, ඇලික් අලුවිහාරේ සහ ඊ.එල් සේනානායක, වැනි ජ්‍යෙෂ්ඨ නායකයින් විශ‍්‍රාම යෑමට සිටි අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ 1994 පක්ෂ නායකත්වය භාර ගනිමින් පක්ෂයේ ඉදිරි නායකත්ව පරපුර ගොඩනැගීමට තම දායකත්වය ලබා දුන්නේය. කෙසේ වුවද එම ගොඩනැගු පිරිස විසින් ම පක්ෂ නායකයා විවේචනය කිරිම, ආණ්ඩු බලය ලබා ගැනිමේ සටනට සහය නොදැක්වීම, විවිධ මාධ්‍යය සහය ලබා ගෙන පක්ෂ නායකයා විවේචනය කිරීම වැනි කටයුතු සිදු කිරීම මගින් පක්ෂ යාන්ත‍්‍රණය දුර්වල කිරීමට එම පිරිස වැඩි කාලයක් ලබා දීම හේතුවෙන් එජාප පාක්ෂිකයන්ට විශාල අසාධාරණයක් සිදු කර ඇත. 

 
කරු ජයසූරිය ඇතුළු පිරිස එජාපයෙන් ඉවත්වීම 

 

2006 දී එවක පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග විපක්ෂය ලෙස කටයුතු කළ එජාපය විසින් ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා ප‍්‍රබල සහයක් ලබා දුන්නේය. මෙම පසුබිම තුළ වුවද 2007 දී කරූ ජයසූරිය ඇතුළු එජාප සාමාජිකයන් 17 දෙනෙකු එජාපයෙන් ඉවත් වී  ආණ්ඩු පක්ෂයට එකතු වී කැබිනට් අමාත්‍ය ධූර ලබා ගැනීම හමුවේ පක්ෂයේ ශක්තියට සහ ආණ්ඩු බලය ලබා ගැනීමේ සංවිධානාත්මක කටයුතු සදහා ප‍්‍රබල බලපෑමක් ඇති කරන ලදි. 

එම පිරිස ආණ්ඩුවට එකතු වීම සිදු වූයේ යුද්ධයට සහය ලබා දීමට බව පැවසුවත් එය එජාප පාක්ෂිකයන් එකහෙලා ප‍්‍රත්ක්ෂේප කරන ලදී. ඊට හේතූ වූයේ එජාපය විසින් ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා ඒ වන විටත් ආණ්ඩු පක්ෂය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ සිටි නිසාය. කෙසේ වුවද  සැළකිය යුතු කාලයක් ආණ්ඩුවට සහය ලබා දුන් මෙම පිරිසට පවා නැවත සිරිකොතට පැමිණ තම දේශපාලනය කටයුතු ආරම්භ කිරිමට සිදු විය. කරූ ජයසූරියට නැවත එජාප නියෝජ්‍ය නායකයා බවට පත් වීමට හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවර පක්ෂය විසින් ගොඩනගා තිබුණි. කෙසේ වුවද මෙම තත්ත්වයන් ඉතා හොඳින් නිරීක්ෂණය කළ පාක්ෂිකයින් පසුව පැවති මහ මැතිවරණවලදී ඇතැම් පිරිස් පරාජයට පත් කළ අතර අනෙක් පිරිස මනාප ලැයිස්තුවේ පහළින් තැබීමට පියවර ගනු ලැබීය. 

 
රනිල් වික‍්‍රමසිංහට හිමිව තිබූ රාජ්‍ය නායකත්වයට කුමන්ත‍්‍රණ කිරීම 

 

2011 වර්ෂයේදී  පක්ෂ නායකත්වයට අභියෝග කිරීම සහ පක්ෂ මූලස්ථානය වු සිරිකොතට ගල් ගැසීමේ සිද්ධිය පක්ෂයේ ඉදිරි ගමන් මග අහුරා දැමීමට ප‍්‍රධාන හේතුවක් විය. කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ පැවති ඡන්දයෙන් රනිල් වික‍්‍රමසිංහ පක්ෂ නායකත්වයට පත්වීම පිළිබඳව නොරිස්සූ ඇතැම් පිරිස් පෙළපාලි සංවිධානය කරමින්  පක්ෂය අවුල් කිරිමට කටයුතු කරන ලදීි. 

මෙහි ප‍්‍ර‍්‍රතිඵලය වූයේ එවක පැවති ආණ්ඩුව පරාජය කිරිම සඳහා අවශ්‍ය බොහෝ විෂය මුලික කරුණු සම්පූර්ණ කර තිබුණ, පක්ෂ නායකයාගේ කිර්තී නාමය විනාශ කොට ජනාධිපතිවරණය තරඟ කිරීමට තිබූ අවස්ථාව පක්ෂ අභ්‍යන්තරයේ ඇතැම් පිරිස් විසින් කඩාකප්පල් කර තිබීමයි. මේ නිසා නිසැක වශයෙන්ම 2015 වර්ෂයේදී එජාප ජනාධිපතිවරයා ලෙස පක්ෂ නායකයා වූ රනිල් වික‍්‍රමසිංහ බිහි කර ගැනීමට තිබූ අවස්ථාව පක්ෂ අභ්‍යන්තරය විසින් දියත් කළ කුමන්ත‍්‍රණ හේ්තුවෙන් අහිමි විය. 

ඒ සඳහා 2011 දී සිරිකොතට ගල් ගැසීමේ සිද්ධිය සේම ඊට පෙර එජාප ශක්තිය දුර්වල කර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට 17 දෙනෙකු පක්ෂය හැරදා යාමේ සිද්ධිය මූලික වූ බව ඉතා පැහැදිළි කරුණක් බවට පත්වී ඇත. මෙහි ප‍්‍රතිඵලය වූයේ එජාප නොවන පුද්ගලයෙකු ලෙස ශ‍්‍රිලනිප මහා ලේකම් වූ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා බවට පත් කොට එජාප ශක්තිය යොදවා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට සිදු වීමයි. 

ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණයට පත් වුව ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පෙරළා එජාප පාක්ෂිකයන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ප‍්‍රධාන කොට ගත් එජාප ක‍්‍රියාවලිය පසෙකලා කටයුතු කිරීමේ විභවය හමුවේ එජාප ය හැර ගිය පිරිස් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදේශකයන් බවට පත්වීම සහ ඔවුන්ගේ සහය ඇතිව එජාපය විනාශ කිරීමේ පිඹුරු පත් සකස් කිරිම සිදු විය. පක්ෂය සහ නායකයා නැවත නැවතත් විනාශ කිරිමට කටයුතු කළ එජාපයේ මෙම කණ්ඩායමේ මූලික අභිප‍්‍රාය වූයේ එජාපය දුර්වල තත්ත්වයකට ඇද දැමීමය.   

 
රනිල්ගේ දුරදර්ශී භාවය සහ සජිත්ගේ අදුරදර්ශී බව

 

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් පක්ෂය තුළ ගොඩනගා පසු ගිය ජනාධිපතිවරණයට සජිත් පේ‍්‍රමදාස එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. එම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පාක්ෂිකයන්ට දැනුම් දෙන අවස්ථාවේදී පැවති පක්ෂ සම්මේලනයේදී 2023 තෙක් රනිල් වික‍්‍රමසිංහ පක්ෂ නායකයා ලෙස කටයුතු කිරිම සඳහා සජිත් පේ‍්‍රමදාස ඇතුළු ස.ජ.බ යේ සිටින සියලු දෙනා කැමැත්ත ප‍්‍රකාශ කරන ලදි. 

එජාප නායකයා විසින් 2023 දක්වා පමණක් එළෙස කටයුතු කිරිමට ගනු ලැබූ තීරණය වූ කලී, 2025 දි සජිත් පේ‍්‍රමදාස සඳහා නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මෙරට රාජ්‍ය පාලකයා බවට පත්වීමට අවශ්‍ය කාලය ලබාදීම සඳහා ගනු ලැබු තීරණයකි. වසර දෙකක කාලයක් තම දේශපාලන ජීවිතයේ ඉවසීමේ ගුණය ප‍්‍රගුණ කිරිමට නොහැකි වූ මෙම පිරිස් පළමු පියවර වශයෙන් පසු ගිය ජනාධිපතිවරණයේදී එජාපයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ භාවිතය ක‍්‍රියාත්මක කළහ. 

එහි දෙවැන්න වූයේ පශ්චාත් ජනාධිපතිවරණයෙන් පසු එජාප ය හැර ගොස් වෙනම පක්ෂයකින් තරඟ කිරිම සඳහා කටයුතු කිරීමේ අවස්ථාව යොදා ගැනීමයි. මේ සඳහා සජබ පිරිස, මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය ලබා දුන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවිමේ ආශ්වාදයෙන් පිරිපුන් වි ඇති බව පෙනේ. 

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි වීම සැබවින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දුර්වල දේශපාලන ක‍්‍රියාකාරීත්වය නිසා සිදු වූවක් බව පෙනේ. ඔහු  ජනාධිපතිවරයා වීම සඳහා පැමිණීම සිදු වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ යාන්ත‍්‍රණය කඩා බිඳ දැමීමෙනි. අනතුරුව ඔහු ජනාධිපතිවරයා වීමෙන් පසුව ශ‍්‍රිලනිප නායකත්වය ඔහුට ලබා දුන්නත්, පක්ෂයේ පිරිස් එකතු කර ගැනීමට ඔහු අසමත් විය. ඊට ප‍්‍රධාන හේතුව වූයේ මහින්ද රාජපක්ෂ හා සසඳා බලන විට සිරිසේන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහි වීම සහ ඔහුගේ නායකත්ව ලක්ෂණ දුර්වල වීම නිසාය. 

එබැවින් තාවකාලික වශයෙන් තනි පුද්ගල දේශපාලන කැරිස්මාව යටතේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවීමේ අවස්ථාව සමාජය විසින් ඉල්ලා සිටින ලදී. එහෙත් එහි ඉදිරිය අභියෝගාත්මකය. කෙසේ වුවද අවසානයේ සිරිසේන ජනාධිපතිවරයාට පවා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත ගමන් කිරීමට සිදු විය. මක්නිසාද යත්, පසුගිය ජනාධිපකිවරණය පෙන්වු සාධකය වූයේ වෙන් වෙන්ව සටන් කිරිම මගින් ආණ්ඩු බලය ලබා ගැනීමට නොහැකි බවය. සජිත් පේ‍්‍රමදාස වෙනම පක්ෂයක් ලෙස සජබ පිහිටුවා ගැනීම සඳහා ඔහුව මෙහෙය වන ලද ඉදිරි කවය පසු ගිය ජනාධිපතිවරණයේදී තම ආසන වැඩි ඡන්ද 30,000 කට අධික සංඛ්‍යාවකින් පරාජයට පත්වූ පිරිස වීම කැපී පෙනේ. 

එජාප ය තුළ රැඳෙමින් නාම යෝජනා ඉදිරිපත් කළේ නම් නියත වශයෙන්ම මෙම පිරිස පරාජයට පත්වී එජාපයේ නවක මුහුණු ජයග‍්‍රහණය කිරීම නොවැළැක්විය හැකි පසුබිමක් නිර්මාණය කර තිබිණි. මෙම තත්ත්වයෙන් බේරීම සඳහා නීති විරෝධීව වෙනම පක්ෂයක් ලෙස සජබ පිහිටුවා ගනිමින් එජාපය විවේචනය කිරිමට කටයුතු කරමින් සිටී. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම  සජිත් පේ‍්‍රමදාස ද සිදු කර ඇත්තේ පක්ෂයට ද්‍රෝහි වීමකි. මේ වන විට සජබ ඉදිරි දේශපාලන කවය තුළ කටයුතු කරන පිරිස බවට පත්වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදේශකයන් වූ පිරිස, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබා ගෙන ආගමනය කළ පිරිස, කාලාන්තරයක් තිස්සේ එජාප න්‍යෂ්ටිය බිඳ දැමිමට කටයුතු කරන මාධ්‍යය කිහිපයක් සහ අනාගත නායකයන් වීමට වෙනත් පක්ෂවලින් පැමිණි පිරිස වීම කැපී පෙනේ. මේ නිසා සජබ දේශපාලන ව්‍යාපාරය මන්ත‍්‍රී ධූර රැක ගැනීමට එහා ගියා පුළුල් වූ අනාගත දේශපාලන භාවිතාවක් සකස් කර ගැනීමක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. 

 
නවීන්ගේ එජාප නායකත්ව සිහිනය  

 

නවීන් දිසානායක විසින් තමාට එජාප නායකත්වයේ සිහිනයක් ඇති බව හැටන් ප‍්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් ප‍්‍රකාශ කරන ලදී. දැනට එජාපයේ තුන්වැනි හතර වැනි ස්ථානයට තමන් සිටින බව සහ අනාගත එජාපයේ නායකත්වය අපේක්ෂා කරන බව ප්‍රකාශ කරන ලදී. සජිත් පේ‍්‍රමදාසගෙන් පසුව තමා නායකත්වය බලාපොරොත්තුව සිටි නමුදු ඔහු මේ වන විට එජාපය හැරදා ගොස් ඇති නිසා තමා ඊට සුදුස්සෙකු බව ප‍්‍රකාශ කර ඇත. 

නවීන් දිසානායක 2007 දී එජාප හැරදා ගොස් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක් විය. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව නිදහසට තියුණු බලපෑමක් කළ 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහින්ද රාපක්ෂ සමග පක්ෂව ඡන්දය ලබා දුනි. එකල එජාපයට බැණ වදිමින් සිටී නවීන් දිසානායක නැවත සිරිකොතට පැමිණෙන්නේ 2014 නොවැම්බර් මාසයේදීය. ඒ 2015 මහ මැතිවරණය ඉලක්ක කර ගෙනයි. 

නවීන් දිසානායක සිය නායකත්ව සිහිනය පිළිබඳව සිදු කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් එජාපයේ ජ්‍යෙෂ්ඨයෙකු වන වජිර අබේවර්ධන ඊට සිය විරෝධය ප‍්‍රකාශ කර ඇත. ඔහුගේ ප‍්‍රකාශය තුළ ප‍්‍රධාන කරුණු දෙකක් අන්තර්ගතව ඇති බව පෙනේ. එහි පළමුවැන්න වන්නේ, එජාප නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මේ වන විට කටයුතු කරමින් සිටින අවස්ථාවක සහ මැතිවරණ සමයක මෙවැනි ප‍්‍රකාශයක් කිරීමේ අවශ්‍යතාවක් නොපැවතීමයි. දෙවැන්න වන්නේ, නවීන් දිසානායක එජාපය හැරදා නැවත සිරිකොත වෙත පැමිණ ඇත්තේ 2014 වැනි ඉතා මෑත කාලීනව වීම නිසා එවැනි ප්‍රකාශයක් නොකළ යුතු බවය.

වජිර අබේවර්ධනගේ දෙවැනි කරුණෙහි ගැඹුර විය හැක්කේ එජාප මතවාදයට විරුද්ධව මහින්ද රාජපක්ෂට එකතු වූ නවීන් දිසානායකගේ එජාප සුජාතභාවය ප‍්‍රශ්න කළ යුතු බව ඇඟවීම විය හැකිය. මෙවැනි හදිසි ප‍්‍රකාශ සිදු නොකර, ඉවසීම ප‍්‍රගුණ කළ දූරදර්ශිභාවයෙන් කටයුතු කරන රනිල් වික්‍රමසිංහගෙන් පසු එජාපයේ නායකත්වය ගැනීමට සුදුසු තවත් බොහෝ පිරිස් සිටින බව අමතක නොකළ යුතුය. යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහය ලබාදීමට එකඟතාව පළ කර සිටියදී කාලයට සාපේක්ෂව අදූරදර්ශි ලෙස ගනු ලැබු මෙම තීන්දුව ඔහුගේ නායකත්ව සිහිනයට තියුණු බලපෑමක් ඇති කිරිම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වී ඇති බව පෙනේ.

 

ආර්ථිකය ගොඩනැගීමේ එජාප දර්ශනය

 

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පසුගියදා තීරණය කරනු ලැබුවේ ජාතික ආණ්ඩු ගොඩනැගිම සඳහා කටයුතු නොකරන බවය. මේ වන විට රටේ උද්ගත වී ඇති කොරෝනා වසංගතය හමුවේ ජනතාවගේ ජීවිතය ආරක්ෂා කිරීම උදෙසා ආණ්ඩුවට සහය ලබා දීම කිසිසේත්ම ආණ්ඩුව සමග ජාතික ආණ්ඩු සෑදීමේ ක‍්‍රියාවලිකයකට සම්බන්ධවීමක් නොව ඉතා දියුණු ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රමයක භාවිතයක් පමණි. 

කොරෝනා වසංගතය සමඟ බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩනගන ආකාරය එජාප මැතිවරණ ප‍්‍රකාශය තුළ පැහැදිළි කර ඇත. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් ආර්ථිකය ගොඩනගන ආකාරය ඉතා සරළව දේශපාලන වේදිකාව තුළ පැහැදිළි කරන ආකාරය හඳුනා ගත හැකිය. එජාප කේන්ද්‍රිය පසුබිමට බලපෑම් කොට සජබ විසින් ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කරන ව්‍යාජ සටන ප‍්‍රායෝගික නොවන්නකි. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන සංයුතියේ සමගිය ප‍්‍රධාන කොට ගත් පුළුල් ජාතික සංහිදියා දර්ශන පථය ගොඩනැගි ඇති එජාපය මේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් සමාජ ආර්ථික සංවර්ධන වැඩ කටයුුතු රාශියක් සිදු කර ඇති පක්ෂයකි. එම ධනාත්මක ප‍්‍රවේශයන් සජබ ට හොරකම් කළ නොහැකිය. මේ නිසා ඉතිහාසයේ පෙන්නුම් කර ඇති පරිදි සජබ අනාගත පැවැත්ම සඳහා සිරිකොත දේශපාලනය සමග සම්බන්ධවීම වෙනුවෙන් කටයුතු කිරිමේ සංවාදය සකස් කර ගැනීම වඩාත් ප‍්‍රායෝගික බව පෙන්වා දිය හැකිය.  

-මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන-
(B.A.M.Phil.(Kel'ya), Cert, in Cultural asset. (Shiga) Ph.D. (Kelaniya), FSLCA)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 
කැළණිය විශ්ව විද්‍යාලය 

 
Advertiesment