Monday 21st of September 2020

English Tamil
Advertiesment


ඍන ආර්ථිකයෙන් රට ගොඩගත හැක්කේ එජාපයටයි -රනිල්-


2020-07-27 3856

විදේශ ගත ලාංකිකයින් ආණ්ඩුව රටට ගෙන්වා නොගන්නේ මුදල් වැය වන නිසයි -රවි-

 

එජාපයේ තිරය පිටුපස දේශපාලන ඕපදූප 

 

වැටී ඇති රටේ ආර්ථිකය ගොඩනැගීම හා යහපාලන රජය ලබාදුන්, මේ රජය කපා දැමූ සහන යළි ලබා දෙන බවටත් එ.ජා.ප නායකයා ලබා දෙන ප්‍රතිඥා හේතුවෙන් ඔවුන්ගේ මැතිවරණ සටන ඉහළ තැනකට පැමිණ තිබේ. එ.ජා.ප නායකයා බ්‍රහස්පතින්දා නැගෙනහිර පළාතටත් අනතුරුව උතුර සහ ඌව පළාත්වලත් සිදු කළ මැතිවරණ මෙහෙයුමට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබිණ. ඔහු යළිත් කොළඹ ආවේ සෙනසුරාදා රාත්‍රියේය.

"අපේ සම්පත් හා පෞරාණික ස්ථාන රකින්න ආපු පිරිසක් පුරා විද්‍යාවටත් අභියෝග කරලා බුවනෙකබා රාජ සභාව කඩා බිද දැමීම ප්‍රශ්නයක්. මේ සිද්ධිය පිටුපස නගරාධිපති පමණක් නොවෙයි බලවතුන් ඉන්න බවයි ආරංචි. නැග එන විරෝධය හමුවේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරිම වගකීමයි." ඒ  එ.ජා.ප නායකයාගේ ස්ථාවරයයි.

"කුලියාපිටියේ වොක්ස්වැගන් එක වෙනුවට ඔටෝමොබයිල් වාහන එකලස් කිරීමේ කම්හලේ වැඩ ඉවරයි. ඒක රටට එළි කරන්න පමාවීම ගැන පාක්ෂිකයන් අතර නෙසතුටක් තියෙනවා." ජනතාව වෙතින් නායකයාට ලැබුණ ප්‍රතිචාර එබදුය. "කුරුණෑගල දිසාවටයි ඕක බලපාන්නේ. අපි නිම කරපු බව ඒ පැත්තේ මිනිස්සු දන්නවා." නායකයාගේ පිළිතුර විය.

කොරෝනා නිසා ඇද වැටුණ ආර්ථිකයත් වසර අවසානයේ රැකියා ලක්ෂ 10 ක් අහිමිවීමේ අභියෝගයටත් පිළියම් යෙදීම එජාප ස්ථාවරය වේ. රැකියා නැති වෙන ලක්ෂ 10 ට රුපියල් දස දහසක් ගෙවිමට රු.බිලියන 150 මුදලක් අය වැයෙන් වෙන් කිරීම එජාප සැලසුම වේ. එසේම බංකොලොත් රටකට මුදල් සොයා ගැනීමේ හැකියාව පවතින්නේ රනිල් ප්‍රමුඛ එජාපයට බවට ද ජනතාව තුළ මෝරමින් තිබෙන මතය ඔවුන්ට වාසිදායක වී තිබේ.

" 2001 සෘණ 1.6 ක කඩා වැටුණු ආර්ථිකය බාර ගත් එ.ජා.ප ය 7% ක වර්ධනයක් ලබා ගත්තා. දැනුත් රටේ ආර්ථිකය සෘණ වෙලා තියෙන්නේ. ආණ්ඩුව ඒක හංගනවා. ඡන්දයෙන් පස්සේ මේ ආණ්ඩුවේ නොහැකියාව හා සෘණ ආර්ථිකයේ ආදීනව ජනතාවට දැනේවි." නායකයාගේ විග්‍රහ කළේය.

ස.ජ.බ යට ගිය එ.ජා.ප යේ සියයක් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව ඔවුන් උසාවි පිහිට පැතුව ද දිස්ත්‍රික් මෙන්ම අභියාචනාධිකරණවලදී ද ඔවුන් පරාජයට පත්වූවේ ගාස්තුවට ද යටත් වීමෙන් වීම එ.ජා.ප ය පසුගිය සතියේ ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි.

"මේ ආණ්ඩුවට දැන් ණය දෙන්න කෙනෙක් නැහැ. අපි බාර දෙනකොට ඩොලර් බිලියන 7.5 ක විතර විදේශ සංචිතයක් තිබුණා. දැන් ඒක බිලියන 4.5 ට මාස 7 ට හින්දවලා. ඇමරිකාව ඉතිහාසයේ මුල්වරට අපේ විදෙස් සංචිත ඇපයට තියා ගෙනයි ණය දෙන්න හදන්නේ. ඒක නිවස උගසට තියලා ගිණි පොලී කාරයකුගෙන් ණයක් ගන්නවා වගේ භයානක වැඩක්. ජනතාව මේවා තේරුම් ගන්න ඕනෑ." එ.ජා.ප නායකයා රටේ ආර්ථික ව්‍යාකූලතාවය පිළිබිඹු කළේ ඒ පරිද්දෙනි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියට සවි කිරීම ගෙන ආ දොඹකර 3 ගොඩබෑවද එය සවි නොකිරීම සේවකයන්ගේ උදහසට හේතුවී තිබේ. ඔවුන් යළිත් බදාදා දැවැන්ත උද්ඝෝෂණයකට මුල පුරා සති දෙකක කාලයක් ආණ්ඩුවට ලබා දුන්නේය. එහි පැමිණි ඇල්ලේ ගුණවංස හිමි ද සේවකයන් හා එකතු වෙමින් ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් එල්ල කිරීම විශේෂත්වයකි.

මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කළ ද ආණ්ඩුව ඒවා ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවීම තවත් ව්‍යාකූලතාවයක් බවට පත්ව තිබේ. දෙවෙනි කොරෝනා රැල්ලට පසුබිම සැකසුනේත් එකී පසුබිම තුළ බව සෞඛ්‍ය අංශවල මතය වේ.

"ආණ්ඩුවට කොරෝනා පාලනයක් නෑ. රටට කියන්නේ බොරු. බලය මිසක් ජනතාවගේ ආරක්ෂාව ගැන තකන්නේ නෑ. මැද පෙරදිග 35,000 ක් හිරවෙලා. ඩුබායිවල 18,000 ක් ඉන්නවා. 7000 ට විසා වගේම කෑම බීම නවාතැන්, රැකියාත් නැහැ. සමහරු මිය ගිහින්. ඩුබායිවල ඉන්න රවී වර්මා කියලා ව්‍යාපරිකයෙක් කතා කළා. ඒ ශ්‍රමිකයන් ලංකාවට ගේන්න ප්ලේන්වලට යන අධික තෙල් වියදම ලංකාවට ආවාම නිරෝධායනය වීමට හා පී.සි.ආර් පරික්ෂණවලට වැය වෙන මුදල ගැන හිතලා අපිව මැරෙන්න දාලා ආණ්ඩුව අහක බලා ගෙන ඉන්නවා කියලා ඒ මිනිස්සු කියනවා. ඒ වගේම අපිව ආණ්ඩුවට ඕනෑ ඡන්දයට විතරයි කියලාත් ඒ මිනිස්සු කියනවාලු." එජාප උප නායකයා කීවේ ඉතා සංවේදි කතාවකි.

"මම අද කතා කරන්නේ ආර්ථිකය හා ජනතා හිරවීම් ගැනයි. රට ජාතිය ගැන අපේ තියෙන හැගීම ජනතාව දන්නවා. දැන් එ.ජා.ප යේ මහ ජාතියේ හෝ සුළු ජාතික අන්තවාදීන් නෑ. මේ රට 2015 ඉදලා සමබරව ඉදිරියට ගෙනාපු හැටි ජනතාව තේරුම් ගන්න ඕනෑ. ඉදිරියටත් ඒ සහන අපි ඒ විදියටම දෙනවා." එ.ජා.ප නායකයා රටට දෙන දැවැන්ත ප්‍රතිඥාව එය වේ.

Advertiesment