මම ඇය ඉශාරා සමරසිංහ ලෙස හඳුන්වාදෙමි. ඇය ස්වර්ණවාහිනී ලයිව් @8 පුවත් මැදිරියේ සුපුරුදු චරිතයකි.ඒ ළෙංගතුකමට දැන් වසර අටකට ආසන්නය.ප්රවෘත්ති නිවේදිනය ඇගේ වෘත්තීයයි. රුව දුටු පමණින් මේ වනවිටත් ඔබ ඉශාරා හඳුනා ඇති වගට කිසිදු සැකයක් නැත. කාර්යබහුල ජීවන රටාවෙන් මඳක් මුදවාගෙන පුංචි කතාබහකට අපි ඇය එක්කාසු කරගත්තෙමු.
ඉශාරා අලුත් ආරංචියක් තියනවා නේද කියන්න?
ඔව්. හැබැයි මම හිතුවේ ඒක ටිකක් පස්සේ කියන්න
නෑ මුලින්ම ඒක හෙළිකරලාම කතාව පටන් ගමුකෝ?
මෙහෙමයි.මම ලබන වසරේ විවාහ වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ.සරසවියට තමයි මුලින්ම කිව්වේ .මම විවාහ වෙන්නේ මගේ ක්ෂේත්රයට හෝ කලාවට සම්බන්ධ කෙනෙක් නෙවේ.
මේ දවස්වල කොහොමද ඔබේ වැඩකටයුතු?
ඇත්තටම ලොකු විශේෂයක් නැහැ.ලයිව් @8 ප්රවෘත්ති කියන එක තමයි ඉතින්.
ඉශාරා ක්ෂේත්රයට පිවිසුණ අන්දම මතක් කළොත්?
දෙදහස් එකොළහ දැයට කිරුළ ප්රදර්ශනය තිබුණේ බුත්තල.මම ඒක බලන්න ගියා.එතන තිබුණා සිරස ටීවී එකේ කුටියක ඔඩිෂන් එකක්.අලුත් නිවේදක නිවේදිකාවන් තෝරනවා.මමත් ඒකේ පෝලිමට එකතු වුණා.මං හිතුවේ නැහැ මාව සිලෙක්ට් වෙයි කියලා.නමුත් වාසනාවට මාව එයාලා තෝර ගත්තා.ලයිව් @55 තමයි මුලින්ම කිව්වේ.ටික කාලෙකින් ස්වර්ණවාහිනීයට එන්න ඇරැයුමක් ලැබුණා.වසර අටක් දැන් මම මෙහෙට ඇවිත්.
අද වෙද්දි මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් දැනෙනවා.කාර්යාලයෙන් එළියට බැස්සම මිනිස්සු ඇවිත් කතා කරනවා.ඔයා නේද අර ප්රවෘත්ති කියන කෙනා කියලා අහනවා.ෆොටෝ ගන්නවා.මම මේ කෙටි ප්රවෘත්ති නිවේදන කාලය අතරතුර සම්මාන දෙකක් අරගෙන තියනවා.ඒ හොඳම නිවේදිකාව ලෙස සුමති උළෙලයන් දෙකක.නම මං හදාගත්තේ ගොඩක් වෙහෙස වෙලා.ඒකට නොසෑහෙන්න කැපකිරීම් කළා.ඒවායේ ප්රතිඵල තමයි මේ.
ඔය ජනප්රියත්වය කරදරයක් වෙලා නැතිද?
කවදාවත්ම නැහැ.ෆෝන් එකේ ඩේටා ඔන් කරපු ගමන් මැසෙන්ජර් කෝල් හරියට එනවා.ඒත් ඒ කිසිකෙනෙක් අමනාප කරගන්නේ නැතුව ගාණට මං මැනේජ් කරනවා.
ඔබේ ගම බුත්තල කිට්ටුවද?
මං උඩවලවේ.
එතකොට ඉස්කෝලේ?
රත්නපුර සුමනා බාලිකාව
ප්රවෘත්ති කියද්දී අපහසුතාවයකට පත්වූ අවස්ථා තියෙනවද?
එහෙම විශේෂ මොහොතවල් නැහැ.නමුත් අර හදිසියේම ලැබුණු පුවත් කියනකොට තමයි පොඩ්ඩක් පරිස්සමින් කියන්නේ.මොකද පොඩි හරි වැරදීමක් වෙන්න බැහැනේ.අපි කරන රාජකාරියේ අකුරක් වැරදෙන්න ඇති ඒක ජාතික ප්රශ්නයක් දක්වා යන්න.හරිම වගකීමෙන් තමයි කොයි කවුරුත් ප්රවෘත්ති කියන්නේ.
සුදේව සහ රංගනගේ කලමනාකාරිත්වය කොහොමද?
එයාලා අපිව ගොඩක් දිරිමත් කරනවා.ඉදිරියේදී අලුත් වැඩසටහන් කිහිපයක්ම ප්රේක්ෂකයෝ වෙනුවෙන් ගෙන එන්නට ඔවුන් සූදානම් වෙනවා.
Lanka Newsweek © 2023