Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුව කෙලසීම


2020-07-25 1801

(වික්ටර් අයිවන්)

 

ලංකාවට 1948 සිට 1978 දක්වා තිබුණේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකි. ලංකාවට ඩොමීනියන් තත්වයක් ලබාදුන් සොල්බරි ව්‍යවස්ථාවෙන් බ්‍රිතාන්‍ය ආකෘතියේ අංග සම්පූර්ණ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් පිහිටුවන ලදී. ආණ්ඩුකාරයාගේ හා 1972 ඇති කල ජනාධිපතිගේ තත්වය ව්‍යවස්ථානූකූල රජතුමාගේ තත්වයට සමාන විය. පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයාගේ මූලිකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය පාලන බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කලේය.

1978 දී එම ක්‍රමය කන පිට හරවන තෙක් එම ක්‍රමය ප්‍රශස්ථ කාර්‍යභාරයක් ඉටුකලේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ හා ඊට අනුකූලව ක්‍රියාකිරීම පිලිබද ප්‍රශ්නයේදී හැර අන් සියලු කටයුතු හොදින් සිදු විය. මැතිවරණ වලදී ආණ්ඩු වෙනස් කරගැනීමේ හැකියාව මහජනයාට තිබුණි. සාමානයෙන් බොහෝ මැතිවරණවලදී ආණ්ඩු මාරුවක් සිදු විය. පාර්ලිමේන්තුවේ සිදුවන කටයුතුද උසස් ප්‍රමිති තත්වයක තිබුණි. පාර්ලිමේන්තු වාද විවාද උසස් තත්වයක තිබුන අතර රැස්වීම හා කාරක සභා රැස්වීම් වලට සහභාගිත්වය යහපත් තත්වයක තිබුණි. නීති සම්පාදනය හොදින් සිදුවූ අතර අධීක්ෂණ කාර්‍යභාරයද හොදින් ඉටුකර තිබුණි.

මන්ත්‍රීවරුන්ද හොදින් පරීක්ෂාවට ලක්වූ අතර මැතිවරණ වියදම් සඳහා වියදම් සීමා නීති ක්‍රියාත්මක විය. මැතිවරණ වියදම් සොයා බලන ක්‍රමයක් ද ක්‍රියාත්මක විය. නීතියට පටහැනිව ක්‍රියාකරන අයගේ මන්ත්‍රීකම් අහිමි කරන ක්‍රමයක් ද ක්‍රියාත්මක විය. පරණ පාර්ලිමේන්තු ක්‍රමය 1962 දී හමුදා කුමන්ත්‍රණයකට සේම 1971 දී ප්‍රචන්ඩ කැරැල්ලකටද සාර්ථක ලෙස මුහුන දුන්නේය.

ජේ.ආර් ජයවර්ධන දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කල ජනාධිපති ක්‍රමය රාජ්‍යයේ සකලවිද බලය ජනාධිපති අතට පත්කොට පාර්ලිමේන්තුවට තිබුණ උත්තරීතර තත්වය නැතිකොට එය ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් බවට පත්කලේය. මැතිවරණ කොට්ඨාශ ක්‍රමය නැති කොට දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා පත් කරගන්නා ක්‍රමයක් ඇති කලේය. අතුරු මැතිවරණ ක්‍රමය නැතිවිය. අපේක්ෂකයින් සඳහා පැවති වියදම් සීමා නීතිද නැති විය. අපේක්ෂකයින් ගේ මැතිවරණ වියදම් සොයා බලන ක්‍රමයද අහෝසි කළේය.

පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබුණ උත්ත්‍රීතර පිළිගැනීම අහිමි කිරීමෙන් මන්ත්‍රීවරුන් අතර ආසනයක් ඇතිවී තිබුණේ නම් එය නැතිකොට ඔවුන් තෘප්තිමත් තත්වයක තැබීම සදහා ඔවුන්ට පොදු දේපල කොල්ලකන්න ඉඩ දෙන ක්‍රමයක් ඇති කර දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පවත්නා මොනම රටකවත් මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයින්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කරන්නට,ආණ්ඩුවේ දේපල මිලදී ගන්නට ආණ්ඩුවට දේපල විකුනන්නට ඉඩ දෙන්නේ නැත. එවැනි ක්‍රියා සැලකෙන්නේ ඔවුන් දරන තනතුරුවලින් පහ කලයුතු බරපතල වැරදි ලෙසය. 1978 දක්වා ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තියද ඊට සමානවිය. කලාතුරකින් හෝ එවැනි වැරදි කරන අයගේ මන්ත්‍රීකම් අහිමි කරන ලදී. 1977දී ගාලු ආසනයට එජාපයෙන් තේරී පත්වූ ඇල්බට් සිල්වාට ඔහුගේ මන්ත්‍රීකම අධිකරණය විසින් අහිමි කලේ ඔහු නමට ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කල බූමිතෙල් බලපත්‍රයක් තිබීම නිසාය.

ජනාධිපති ජයවර්ධන පැවති එම යහපත් තත්වය කනපිට හැරවීය. මන්ත්‍රීවරුන්ට රජයේ පොදු දේපල කොල්ල කෑහැකි ක්‍රමයක් ඇතිකර දෙන ලදී. එම නීති විරෝධී දූෂිත ක්‍රමයට එකතුවීමට කිසියම් හෝ හිරිකිතයක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට තිබුණේ නම් එම හිරිකිතය නැති කිරීම සදහා අධම ගණයේ පූර්වාදර්ශ ලබා දීමටද ජනාධිපතිට සිදු විය.

ජනාධිපති ජයවර්ධනට පිය උරුමයෙන් හිමිවූ පොල් වත්තක් හලාවත මාදම්පේ ප්‍රදේශයේ තිබුණි. එය අක්කර 50 ක නිසරු පොල් ඉඩමක් විය. ජනාධිපතිවරයා එම පොල් ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමට දී කොමිෂම සතුව තිබූ සරුසාර පොල්වත්තක් වු කීන කැලේ වත්තෙන් අක්කර 50 ක් තමන් වෙත හිමිකර ගත්තේය. එම මහා ආදර්ශයෙන් පසුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සේම මන්ත්‍රීවරුන්ද නාමික මිලකට ආණ්ඩුවේ වතු වගාවන් හිමිකර ගනිමින් වාණිජ වැවිලි කරුවන් බවට පත්විය. ආණ්ඩුවට පවරාගෙන තිබූ ඉඩම් ප්‍රමාණය අක්කර දසලක්ෂයක් තරම් විශාල වීම නිසා එම ඉඩම් කොල්ලය වෙනත් ජනාධිපතිවරුන් යටතේද දිගටම සිදුවන දෙයක් වශයෙන් පැවතුණි.

දූෂණයේ දොරටු ඇරීම

ජනාධිපති ජයවර්ධන මන්ත්‍රීවරුන්ට රජයේ වතු ඉඩම් හිමිකරගැනීමට ඉඩ දෙනවාට අතිරේකව රජයේ කොන්ත්‍රාත් කරුවන් ලෙසද දැව,ගල් , වැලි, හා මගී ප්‍රවාහන බලපත්‍ර ලාභීන් ලෙස ද ක්‍රියා කරන්නටද ඉඩ දුන්නේය. ජයවර්ධන ජනාදිපති වරයාගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරුන්ද ජනාදිපති ජයවර්ධන හදුන්වා දෙන ලද එම දුෂ්ට විනාශ කාරි දූෂිත ක්‍රමය ආරක්ෂා කරගනිමින් හා ඊට අලුත් අංග එකතු කරමින් ඒ ක්‍රමය ඉදිරියට ගෙන ගියේය.
ජනාධිපති චන්ද්‍රිකා ගේ පාලන කාලයේදී ඇය මත්පැන් බල පත්‍ර 1500 කට වැඩි ගණනක් බෙදා හරින ලද්දේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හරහාය.ඒ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් ඝෲජු ලෙස හෝ අනියම් ලෙස තැබෑරුම් පවත්වාගෙන යන තැබෑරුම් කරුවන් බවට පත්විය. මෙම වස්තු කොල්ලය රජයේ භාණ්ඩාගාරය දුප්පත් කොට ජනාධිපතිවරුන් මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ගජ මිතුරන් ධනවත් කිරීමට හේතු විය.

නොවිසදුන ප්‍ර‍හේලිකාව

ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන් , මන්ත්‍රීවරුන්, ඔවුන් ගේ ගජ මිතුරු නිලධාරීන් හා ඔවුන් ගේ ගජමිතුරු ව්‍යාපාරිකයින්ට පොදු දේපල කොල්ල කන ක්‍රමයක් ලංකාවේ ස්ථාපිත වී දැන් දසක හතරකටත් වඩා වැඩිය. ඒ නිසා ලංකාව දැන් තිබෙන්නේ ඒ සියලු දෙනා විසින් ලංකාවේ සාරය උපරිම තත්වයකින් උරාබීම තුල රට නිසරු හපයක් බවට පත් වූ තත්වයකය. එහෙත් එහිදී තේරුම් ගැනීමට පහසු නැති ප්‍රහේලිකාව වනුයේ මෙම දුෂ්ට දූෂිත කොල්ලකාරි ක්‍රමය ලංකාවේ ස්ථාපිත වී අවුරුදු හතලිහකට වැඩි කාලයක් ගත වී තිබියදීත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම පක්ෂයක්, කිසිම මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තු බලධාරියෙක්, පාර්ලිමේන්තුවේ අනුග්‍රහය ඇතිව රටේ සිදුවන මෙම දැවැන්ත වස්තු කොල්ලය ගැන කිසිවක් කතා කර නැත. එම විෂය එකම අවස්තාවකදීවත් පාර්ලිමේන්තුවේ සංවාදයට ලක්වී නැත. ඊට අදාලව කිසිම යෝජනාවක් ඉදිරිපත්වී නැත. ඒ ගැන කරන කිසිම විවේචනයක් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයෙන් අසන්නට ලැබී නැත.

එය එසේ වූයේ ඇයි?

ජනාධිපතිවරුන් ඇතුලුව මහජන නියෝජිතයින් ඔවුන් භාරයේ තිබෙන රටේ පොදු වස්තුව කොල්ල කන ක්‍රමයක් අවුරුදු 40 කට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන බව රට පාලනය කරන ජනාධිපතිවරුන් මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් දැන සිටියේ නැද්ද? 

අවිධිමත් ලෙස වුවත් රන්ජන් රාමනායක හැර කිසිම මන්ත්‍රීවරයෙක් ඒ ගැන කතා කර නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම දේශපාලන පක්ෂයක් ඒ ගැන කතා කර නැත. කතානායකවරුන්ටද එය ඔවුන්ගේ හදවත සසල කරන ප්‍රශ්නයක් ලෙස ක්‍රියා කර නැත.1978 න් පසු ආණ්ඩු ප්‍රතිසංන්කරණ යෝජනා ඉදිරි පත් වූ වාර ගණන හයකි.ඒ එකම අවස්තාවක දී හෝ එම බරපතල නිවැරදි කිරීම සදහා යෝජනා ඉදිරිපත් නොවුයේ ඇයි.

එම නිශ්චිත මූලික ප්‍රශ්නයෙදී පාර්ලිමේන්තුව නියෝජනය කරන හොද නරක හා වාමාන්ශික, දක්ෂිනාන්ශික දේශපාලන පක්ෂ වල හර්දසාක්ෂියට සිදුවූයේ කුමක් ද?

ඇත්තටම එවැනි බරපතල වරදක් සිදුවන බව ඔවුන්ට පෙනුනේ නැද්ද?

නැතිනම් වෙනත් ප්‍රශ්න ගැන කොතරම් මත බේද තිබුනද එම නිෂ්චිත ප්‍රශ්නය සදහා සියලු දෙනා අතර අනියම් ලෙස ඇති කරගත් පොදු එකගත්වයක් තිබූ නිසාද?

ඒ සදහා පවත්වා ගෙන ගිය නිහඩතාව බිදින්න අලුත් පාරලිමේන්තුවට පුලුවන්ද?

Advertiesment