Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


කුරුණෑගල එජාප ලැයිස්තුවට අකිල විරාජ් කළ විනාශය


2020-07-23 5814

සිය පැවැත්ම වෙනුවෙන් සල්ලිකාර දේශපාලන අඳ බාලයෝ යොදා ගෙන

 

කුරුණෑගල එජාප පදනම අනාථයි 

 

දේශපාලනයක් නැහැ   

 

එජාප මහා ලේකම් පාර්ලිමේන්තු යවන්න අපේක්ෂකයින් 17 ම ගොන්නු වගේ වැඩ 

 
(කුරුණෑගල විශේෂ වාර්තාකරු)

 

මෙවර මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂ ලැයිස්තුව සකස් කර තිබෙන්නේ සිය පාර්ලිමේන්තු සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණෙන් පමණක් බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධානයේ එම අභන්තර ආරංචි මාර්ග අවධාරණය කර සිටින්නේ දේශපාලනය ගැන කිසිදු අවබෝධයක් නොමැති, ජනතාව නොදන්නා සහ ජනතාව අතර නොමැති පිරිසක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර, ඔවුන් පාවිච්චි කරමින් දිස්ත්‍රික්කය පුරා ආසන 14හි ම මනාප එකතු කර ගැනීමේ කූඨ දේශපාලන පරමාර්ථය ඇතිව අකිල විරාජ් මහතා මෙම ලැයිස්තුව සකසා ඇති බවයි.

අකිල විරාජ් කාරියවසම් මහතා සමග අපේක්ෂකයන් 18 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කය යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහා මැතිවරණයට තරග කරන අතර, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හැර එම ලැයිස්තුවේ සිටින අනෙකුත් සියලු අපේක්ෂකයින් නවකයින් බව ද එම ආරංචි මාර්ග කියා සිටියි.

මෙම අපේක්ෂකයන්ගෙන් බහුතරය එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක හෝ නොසිටි අය  වන අතර ඇතැම් අපේක්ෂකයන් දේශපාලන වේදිකාවකට හෝ ගොඩ නොවූ අය වෙති. ඇතැමුන් නාම යෝජනා භාර දෙන දිනය වන තෙක් ශ්‍රී ලංකාවේ දී එකම ඡන්දයක් හෝ භාවිත කර නොමැති අය වන අතර ඇතැම් අපේක්ෂකයන් ධනවත් ව්‍යාපාරිකයෝ වෙති. 

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධානයේ බහුතරය පෙන්වා දෙන්නේ, පාක්ෂිකයින්ගේ දැඩි විරෝධය හේතුවෙන් තමාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යළි තේරී පත් වීම ලෙහෙසි පහසු නොවන බව දන්නා නිසා දේශපාලනය ගැන අවබෝධයක් නොමැති ආධුනිකයින් පිරිසකට ශ්‍රී ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂයේ ආසන සංවිධායක ධූර, දිස්ත්‍රික් සංවිධායක ධූර සහ අපේක්‍ෂකත්ව ලබා දී ඔවුන්ට පාර්ලිමේන්තු සිහිනය පෙන්වා ඔවුන් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගනිමින් "One Man Show" එකක් ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා ඉතා සූක්ෂම ලෙස සිය මහා මැතිවරණ මෙහෙයුම සැළසුම් කර තිබෙන බවය.

මේ වන විට ඇතැම් අපේක්ෂකයන් අකිල විරාජ් මහතාගේ මෙම දේශපාලන උප්පරවැට්ටිය හඳුනා ගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කුරුණෑගල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කළ අපේක්ෂකයා ඡන්ද සටනින් ඉවත් වී තිබේ. එහෙත් බොහෝ අපේක්ෂකයන්ට සිදුව ඇත්තේ ඉදිරියට තැබූ පය මේ මොහොතේ ආපස්සට ගන්නට නොහැකිව අසරණ වීමටය. එම නිසා ඔවුන් මහා මැතිවරණ සටන අත හැර 2020 අගොස්තු 05 වැනි දා වන තුරු ඇඟිලි ගනිමින් බලා සිටින්නේ තමා අතින් නොදැනුවත්කමින් සිදු වූ වරද නිවැරැදි කර ගැනීමටය.

මේ අතර කිසිවක් කර කියා ගත නොහැකිව අන්ත අසරණ වී සිටින අපෙක්ෂකයන් යළි යළිත් ඇන්දවීමේ අරමුණින් අකිල විරාජ් කාරියවසම් මහතා මේ දිනවල එම අපේක්ෂකයින්ට කියා සිටින්නේ " මේ මහා මැතිවරණය පෙරහුරුවක් කර ගෙන වැඩ කළොත් පළාත් සභාව දිනන එක මහා කජ්ජක් නොවෙයි" කියාය. එසේ කියමින් ඔහු එම අපේක්ෂකයින් යළි යළිත් දිරි ගන්වා ඔවුන්ගේ සාක්කුවල ඇති අවසන් සතය දක්වාම වියදම් කරවීමට විශාල හයියක් ලබා දෙන බව ද කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ එම අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි. 

Advertiesment