Monday 21st of September 2020

English Tamil
Advertiesment


සභ්‍යත්ව සමාජයේ දේශපාලන භාවිතය


2020-07-23 1744

 
(මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන) 

 

කුරුණෑගල, II වන භුවනෙකබාහු රාජ්‍යය සමයට අයත් රාජ සභා මණ්ඩපය විනාශ කිරීමෙන් අනතුරුව රටේ උරුමය ආරක්ෂා කිරීම, ඉදිරියට පවත්වා ගැනීම සහ දේශපාලන භාවිතය අතර සම්බන්ධය පිළිබඳ දැඩි සංවාදයක් මේ වන විට පැන නැගී ඇත. විශේෂයෙන් මහා මැතිවරණ සමයක් වීම නිසා  බොහෝ දෙනෙකු විවිධ අදහස් ඉදිරිපත් කරමින් තම පාර්ශවයේ කරුණු සාධාරණිකරණය කිරීමට උනන්දු වන ආකාරය දැකිය හැකිය. 

දැනට පෙනෙන අන්දමට, රාජ සභා මණ්ඩපය විනාශ කිරීම සදහා හේතු වූ කරුණු බොහෝ තිබිය හැකි වුවත් මෙම බුල්ඩෝසර් කිරීම මඟින් සිදු කළ විනාශය සඳහා බලපෑ ප‍්‍රධාන හේතූව ලෙස පෙනි යන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඒ අසලින් ගමන් කරන කුරුණෑගල-දඹුල්ල ප‍්‍රධාන මාර්ගය පළල් කොට යටිතල පහසුකම් දියුණු කිරීම හරහා මහ ජනතාවට ලබා දිය යුතු සේවාව පුළුල් කිරීමේ අරමුණ ඉටු කර ගැනීමය. 

එසේ වුවද  බරපතළම ගැටලුව බවට පත්වී ඇත්තේ පුරාවිද්‍යා ආඥා පනත්වල සඳහන් කොන්දේසි ක්‍රියාවට නැංවීම පසෙකලා සිය සංවර්ධන ව්‍යාපාරය වෙනුවෙන් පමණක් මෙහෙයුම් කටයුතු  සංවිධානය කිරීමට නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු සෙසු ආයතන ක‍්‍රියා කිරීම හේතුවෙන්   ගැටලු  රාශීයක් මතුවීම ය. 

1998 අංක 24 දරන පුරා වස්තු සංශෝධන පනතේ 43 අ (1) සහ 40 (ආ) වගන්තිය යටතේ ආණ්ඩුව හෝ වෙනත් ආයතනයක් විසින් සංවර්ධන කටයුත්තක් යෝජනා කරන අවස්ථාවේදී, යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය මගින් පුරාවිද්‍යා උරුමයට සිදු වන හානි වළක්වා ගැනීම සදහා හානි ඇගයීම් සමීක්ෂණයක් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පෙර ක‍්‍රියාත්මක කළ යුතු වුවද, මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේදී එවැනි තත්ත්වයක් සිදුවී නොමැති බව පෙනී යයි. 

බොහෝ විට ආණ්ඩුවේ ප‍්‍රධාන ආයතන විසින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවලදී මෙවැනි පුරාවිද්‍යා අනපණතක් කෙරෙහි අවධානය යොමු කරමින් උරුමය ආරක්ෂා කර ගැනීම සදහා වු පුරාවිද්‍යා බලපෑම් ඇගයිම් සිදු නොකිරීම ප‍්‍රධාන ලක්ෂණයක් බවට පත්වී ඇත. මෙම පසුබිම තුළ රාජ සභා මණ්ඩපය විනාශ කිරීම සදහා මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ මාර්ග සංවර්ධන අධිකාරිය සහ නගර සභාව, ඉතා සෘජුවම මෙම පුරාවිද්‍යා උරුමය විනාශ කිරීමේ ප‍්‍රධාන පාර්ශවකරුවන් බවට පත් වී ඇති බව පෙනී යයි. 

අනෙක් අතට රාජ සභා මණ්ඩපය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර්කරණයට ලක් කිරීමට පෙර ඒ අසල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කළ කාණු පද්ධතිය සකස් කිරීමේදී පවා පුරාවිද්‍යා නිලධාරීන් ඊට මැදිහත් වී එහි ඇති බරපතළකම පිළිබඳව දැනුම්වත් කළ බව සඳහන් වේ. මේ පිළිබඳව වැඩි දුරටත් ශ‍්‍රී ලංකා පොලිසිය දැනුම්වත් කර, සිදු විය හැකි විනාශය වළක්වා ගැනීම සඳහා ආරක්ෂාව ඉල්ලා සිටිය ද එය ක‍්‍රියාත්මක කිරිම මග හැර ඇති බව පෙනි යයි. 

පුරාවිද්‍යා බලපෑම් ඇගයුමක් සිදු කොට පුරාවිද්‍යා නිර්දේශ ක‍්‍රියාත්මක කිරිමට නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය අවධානය යොමු කළේ නම් මෙම බුල්ඩෝසර්කරණය වළක්වා ගැනීමට හැකියාව තිබුණි. පුරාවිද්‍යා බලපෑම් ඇගයීම යනු සංවර්ධන වැඩ සටහන් සදහා අකුල් හෙළීමක් සිදු නොකිරීමකි. එහිදි ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිය මගින් සිදු වන බලපෑම වළක්වා සංවර්ධන වැඩ සටහන සංශෝධනය කිරීමෙන් පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීම සහ සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරිම පිළිබඳව දෙපාර්ශවයේම ක‍්‍රියාන්විත වැඩ සටහනක් පුරාවිද්‍යා පනතට ඇතුළත් කිරිම නිසා පුරාවිද්‍යා උරුමය අනාගත පරපුර වෙත ආරක්ෂා කිරීම උදෙසා ප‍්‍රායෝගිකව සිදු කරන මැදිහත්වීමක් විග‍්‍රහ කෙරේ. 

ඇත්ත වශයෙන්ම සංවර්ධන ව්‍යාපාර සහ පුරාවිද්‍යා බලපෑම් ඇගයීම වූ කලී බහු විෂයයක ප‍්‍රවේශයකි. ඒනම් මෙවැනි කටයුත්තකදී ඊට අනුබද්ධ සෑම ක්ෂේත‍්‍රයකම විශේෂඥයින් සහභාගි වී රටේ උරුමය ආරක්ෂා කොට තිරසාර සංවර්ධනය ඇති කිරීම සදහා ගනු ලබන සාධනීය පියවරකි. ලෝකයේ බොහෝ රටවල මෙවැනි කටයුතු සිදු කිරිමේදී සංවර්ධන ව්‍යාපෘති යෝජකයා, පුරාවිද්‍යාඥයින්, භූ විද්‍යාඥයින්, වාස්තු විද්‍යාඥයින්, පරිසරවේදීන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයින්, එම ක්ෂේත‍්‍ර කටයුත්තට සම්බන්ධ වී අදාළ ස්ථානයේ පැන නගින ගැටලු නිරාකරණය කර ගනිමින් සංවර්ධන වැඩ සටහන සාර්ථකත්වයට පත් කර ගන්නා ආකාරය හඳුනා ගත හැකිය. 

එහෙත් අප රටේ මෙවැනි කටයුතුවලදී ක්ෂේත‍්‍රය තුළ හමුවීමක් හරහා ඉදිරි පියවරක් ගනු නොලබන අතර දේශපාලනඥයන්ගේ සාධාරණ මැදිහත්වීමක් සිදු නොවන ආකාරය දැඩි සංවාදයකට ලක් විය යුත්තක් බව පෙනේ. පුරාවිද්‍යා ආඥා පනතේ ඉහත වගන්තිය නොසළකා හැර කටයුතු කිරීමෙන් අදාළ පාර්ශවයන් ඉතා පැහැදිළිව එම පනතේ 15 (ආ) වගන්තිය යටතේ පුරා වස්තු විනාශ කිරීමසඳහා ලබා දෙන දණ්ඩනයට යටත් වේ.  

මේ අනුව රාජ සභා මණ්ඩපය ඕනෑකමින් ම හානියට පත් කොට එහි මුල් ස්වරූපය විරූපි කිරීම යන දණ්ඩනයට යටත් වන අතර රුපියල් 50,000 සිට රුපියල් 2,50,000 දක්වා වූ දඩයටක මෙන්ම අවුරුදු 02 සිට 05 දක්වා වූ බන්ධනාගාර ගතවීමකට අදාළ වරදක් සිදු කර ඇත. මෙහිදි පුරාවිද්‍යා උරුමය විනාශ කිරීම සහ දේශපාලනය අතර තිබෙන සහසම්බන්ධය ඉතා ගැඹුරින් තහවුරු වන්නේ අදාළ විනාශ කිරීම සඳහා පාර්ශවයන් පිළි ගෙන ඇති තත්ත්වයක් තුළ වුවද ඒ සඳහා පුරාවිද්‍යා පනතේ සඳහන් නීතිය ක‍්‍රියාත්මක නොවීමයි. 

ඉතිහාසය විකෘති කිරීම පමණක් නොව රාජ සභා මණ්ඩපයේ උරුමය සඳහා නිගා කිරීම මඟින් එම ස්ථානයේ උරුම වටිනාකම් හෑල්ලුවට ලක් කිරිමේ ව්‍යාජ දේශපාලනික අදහස් ඉදිරිපත් කිරිම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව පෙනේ. පශ්චාත් රාජ සභා මණ්ඩපය විනාශ කිරිම සහ දේශපාලන භාවිතය තුළ නගරාධිපතිවරයා බේරා ගැනීම ප‍්‍රාදේශිය දේශපාලනඥයින්ගේ ප‍්‍රධාන වගකීමක් ලෙස සළකන ඇතැම් ප‍්‍රකාශ හමුවේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම සඳහා දේශපාලන භාවිතය විසින් ඇති කරන පීඩනය ඉතා හොඳින්ම පෙන්නුම් කරයි. 

මේ බව තහවුරු වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අග‍්‍රාමාත්‍යවරයාට ලබාදී ඇති අන්තර් කාලීන වාර්තාවේ ඇතුළත් ප‍්‍රධාන යෝජනා පහ අතර අංක 4 යටතේ එම විනාශයට වගකිව යුත්තන්ට නීති පියවර ගත යුතු බව දක්වා ඇති යෝජනාව නිසාය. මෙයින් වඩාත් තහවුරු වන්නේ පුරාවිද්‍යා ආඥාපනතේ නීතිමය පියවර සඳහන්  වුවත් උරුමය සහ දේශපාලනය අතර සම්බන්ධය නිසා එය ක‍්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇතුළු ශ‍්‍රී ලංකා පොලිසියට ඇති බාධාව යළි යළිත් මෙම වාර්තාව මඟින් පෙන්වා දි ඇති නිසාය. 

පුරාවිද්‍යා උරුමය ඉතා සංවේදී ක්ෂේත‍්‍රයක් වීම හා මහා මැතිවරණ ව්‍යාපාරයකදී එය ඉතා හොඳින් සමාජ ගත කිරීම මඟින් දේශපාලන ජයග‍්‍රහණ අත්පත් කර ගැනීම හමුවේ, විවිධ දේශපාලනඥයින් මෙහි වාසි ලබා ගැනීම සඳහා උත්සහ කිරීම මෙහි අනෙක් ගැඹුරුම දිශානතිය පෙන්නුම් කරයි. මක්නිසාද යත් මීට පෙර බොහෝ අවස්ථාවල දී දේශපාලකයින් පුරාවිද්‍යා ආඥාපනතෙහි සඳහන් පුරාවිද්‍යා බලපෑම් ඇගයිම් නොසළකා නිවාස ඉදිකිරිම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරිම ඉතා බරපතළ ලෙස සංස්කෘතික භූ දර්ශනය සඳහා හානි සිදු කළ ද එය මැතිවරණ සමයක් නොවීම නිසා දැඩි සංවාදයකට ලක් නොවීමයි. 

භූමිය විනාශ කිරිම සංවර්ධන ව්‍යාපෘති සහ දේශපාලනය අතර දැනට කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඇසුරින් ඇති වි තිබෙන මෙම සංවාදය ධනාත්මක ආකාරයෙන් මින් ඉදිරියට සිදු නොවීම සඳහා සංඥාවක් ලබා දෙන අතර විශේෂයෙන් රටේ ප‍්‍රතිපත්ති සම්පාදනය තුළ ඇති කරන සංවර්ධන වැඩ සටහන්වලදී පුරාවිද්‍යා ආඥා පනතේ ඇති විධිවිධාන කෙරෙහි අවධානය යොමු කිරිම සඳහා මෙම සංවාදය පවත්වා ගැනීම ඉතා වැදගත් කරුණක් සේ සැළකිය හැකිය. 

බොහෝ දේශපාලන පක්ෂ බලය ලබා ගැනීමේදී උරුමය සහ සංස්කෘතිය ඉදිරියට දමමින් මහජන අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කළද එම සංකල්ප විසින්ම උරුමය විනාශ කිරිම සඳහා කටයුතු කරන ආකාරය ඉතා හොඳින් පෙනේ. විශේෂයෙන් පසු ගිය සමයේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීම හා ඉදිරියේ්දී සභ්‍යත්ව රාජ්‍යයක් ගොඩනැගීම හරහා අපේකම සහ සංස්කෘතිය රැක ගැනීමට සැළසුම් ඉදිරිපත් වුවද ඒවා ව්‍යාජ සැළසුම් බව මෙවැනි පුරාවිද්‍යා උරුම විනාශ කිරිම හරහා තහවුරු කර පෙන්වයි. 

මෙම රාජ සභා මණ්ඩපයේ විනාශය මැතිවරණ සමයක් තුළ සිදුවීම හරහා රජය අපහසුතාවයට පත් කිරීමේ තත්ත්වයක් ඇඟ වෙන බවට සිදු කරන ප‍්‍රකාශ හමුවේ මතු වන ප‍්‍රධාන ගැටලුව වන්නේ තම දේශපාලන ව්‍යාපාරයේ පිරිස විසින් ම රජය අපහසුතාවයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි. එසේනම් ඊට හේතු වූයේ කුමන විභවතාවක් ද යන්න පිළිබඳව දේශපාලනික වශයෙන් වෙනම සොයා බැලීමක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.  

කුරුණෑගල රාජ සභා මණ්ඩපය ආශ්‍රිතව කුරූණෑගල යුගයට අයත් සාධක, මහනුවර යුගය සහ බි‍්‍රතාන්‍ය යුගයේ සාක්ෂි ආදිය පොළව අභ්‍යන්තරයේ ඉදි කිරිම් අවශේෂ මඟින් හදුනා ගත හැකිය. විශේෂයෙන් බි‍්‍රතාන්‍ය සමයේ සිටි එෆ්.එච්. මොඩර් විසින් 1893 රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව වෙත ලියා ඇති කුරුණෑගල විස්තරය සහිත ලිපිය තුළ මෙම ඓතිහාසික අවධි සඳහා පදනම් දර්ශකයක් වන බව පෙනේ. 

II වන භුවනෙක බාහු රජුගේ රාජ සභා මණ්ඩපය යන්න ජනප‍්‍රවාද සිද්ධියක් මත ගොඩනැගුණක් වුවද  එෆ්.එච් මොඩර් විසින් සටහන් කර ඇති මෙම ස්ථානයේ ප‍්‍රධාන ඉදිකිරිම් අවධිවල යම් කොටස් මෙම බුල්ඩෝසර්කරණය හමුවේ මතුවී තිබීම නිසා මෙහි ඇති පුරාවිද්‍යා වටිනාකම ඉහළ තත්ත්වයක පවතී. 

එසේ වුවද වංශ කතා සහ සෙල්ලිපිවල මෙම ස්ථානය පිළිබඳව විධිමත් අයුරින් වාර්තා නොවීම සහ ජනප‍්‍රවාද ගත ප්‍රවෘත්තිය හා සම්බන්ධ කුරුණෑගල අවධිය තහවුරු කර ගැනීම සඳහා එම ස්ථානයේ ස්ථිර විද්‍යාත්මක පුරාවිද්‍යා කැණිමක අවශ්‍යතාව ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් මෙම කැණිමේදී ලබා ගන්නා රේඩියෝ කාබන් දින නියමයන් සැළකිය යුතු ප‍්‍රමාණයක් මඟින් මෙම ස්ථානයේ යුගකරණය හඳුනා ගැනීමට ඉවහල් වනු ඇත. 

කුරුණෑගල රාජසභා මණ්ඩපය පුරාවිද්‍යා වටිනාකමින් යුක්ත ස්මාරකයක් බව අවබෝධ කර ගැනීම සඳහා මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ඉතා වටිනා ක‍්‍රමවේද ඇතුළත් කර තිබුණේ නම්, මෙම බුල්ඩෝසර්කරණය සඳහා ගනු ලැබු පියවර යම් මට්ටමකින් ප‍්‍රමාද කිරීමට අවකාශය තිබිණ. කුරුණෑගල නාගරික වටපිටාව තුළ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ බොහෝ නාගරික ස්ථානවල ඉතා වේගයෙන් සිදු වන සංවර්ධනයන් හමුවේ මහජන දැනුවත්භාවය ඇති කිරිම සඳහා පුරාවිද්‍යාවෙන් ගත යුතු පියවර විධිමත් කිරීමේ අවශ්‍යතාව සැළකිල්ලට ගත යුත්තකි. 

ලෝකයේ බොහෝ රටවල නාගරිකරණ වටපිටාව තුළ එම රටවල්වල උරුමය ඉතා හොඳින් සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමෙන් රටේ ආර්ථික උත්පාදනය කළ හැකි ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රියාවලිය තුළට ඇතුළත් කර ඇති ආකාරයහඳුනා ගත හැකිය. අප රටේ ඇති පුරාවිද්‍යා උරුම ගොඩනැගිලි විශාල ප‍්‍රමාණයක් කළමනාකරණය කර ගැනීම සඳහා ඒවා  ප‍්‍රාදේශිය මට්ටමේ නගර සභා සහ පළාත් සභා වැනි ආයතනවලට පවරා දී ඇති ආකාරය හඳුනා ගත හැකිය. එය එක් අතකින් ඓතිහාසික උරුම අංග ආරක්ෂා කර ගනිමින් භාවිතයකට යොදා ගන්නා නිසා විවිධ සෘණාත්මක බලපෑම්වලින් ආරක්ෂා කර ගැනිමට හේතූවේ. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙලෙස පවරාදී ඇති උරුම ගොඩනැගිලි සහ ස්ථාන නගර සභා සහ පළාත් සභා වැනි ආයතන ආදායම් උපදවා ගැනීමේ අරමුණින් බදු දීම මඟින් විවිධ ව්‍යාපාර කටයුතු පවත්වා ගැනිමෙන් ආදායම් උපදවා ගැනීමට අවස්ථාව උදා කර ගෙන ඇත. ශ‍්‍රී ලංකාවේ ගාල්ල, මාතර, යාපනයේ හැමන්හීල් ආදී බල කොටු, මාතර නූපේ වෙළෙඳ පොළ, මහනුවර නගරයේ ඇති බොහෝ ගොඩනැගිලි, බි‍්‍රතාන්‍ය යුගයේ ඇති බොහෝ ගොඩනැගිලි, බෞද්ධ පන්සල්, ආවාස ගෙවල්, අනුරාධපුර, සිගීරිය, පොළොන්නරුව, දඹුල්ල වැනි ලෝක උරුම ස්ථානවල සංස්කෘතික භූ දර්ශන ආදී උරුම ස්ථානවල සත්‍යතාව සහ ආචාර ධර්ම ආරක්ෂා වන පරිදි වෙළෙඳ ව්‍යාපාර සිදු වන ආකාරය හඳුනා ගත හැකිය. 

කුරුණෑගල රාජ සභා මණ්ඩපය ද මෙලෙස නගර සභාව වෙත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරාදීමෙන් පසුව වෙළෙඳ ව්‍යාපාර සඳහා අවස්ථාව උදා කර ගෙන ඇති බව පෙනේ. එසේ වුවද කුමන වර්ගයේ වෙළෙඳ ව්‍යාපාර පවත්වා ගත යුතු ද යන්න පිළිබඳ නිර්දේශ පුරාවිද්‍යාවෙන් ඇතුළත් නොවීමෙන්  බරපතළ ප‍්‍රශ්න රැසක් මතු කර ඇත. 

ඇත්ත වශයෙන්ම යම් කිසි උරුම ගොඩනැගිල්ලක පවතින උරුමය හා එහි සංස්කෘතික වටිනාකම් එම ගොඩනැගිල්ල හා සාපේක්ෂ බවක් පෙන්නුම් කරන නිසා එය ආරක්ෂා කර ගැනිමේ වගකීම කෙරෙහි පුරාවිද්‍යා අවධානය යොමු කිරිමෙන් නිශ්චිතව ක‍්‍රියාත්මක කළ යුතු ව්‍යාපාර පිළිබඳ යෝජනාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත් කිරිම කෙරෙහි අවධානය යොමු විය යුතු බව රාජ සභා මණ්ඩපයේ විෂමාචාර ව්‍යාපාර මඟින් පෙන්නුම් කර ඇත. 

එපමණක් නොව පවතින සමාජ ආර්ථික වටපිටාව තුළ තම වෙළෙඳ ව්‍යාපාර යෝජනාව එළෙස සිදු වන්නේද යන්න පිළිබඳ අධීක්ෂණය කිරිම කෙරෙහි අවධානය යොමු කිරිම මඟින් කුරුණෑගල රාජ සභා මණ්ඩපය වැනි ස්ථානවල දේශපාලන භාවිතය තුළින් ක‍්‍රියාත්මක වන විෂමාචාර ව්‍යාපාර පාලනය කිරිමේ හැකියාව උදා කර ගත හැකිය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නගරසභා , පළාත් සභා යන ආයතන දෙක මෙම පවරාදීමේ ක‍්‍රියාවලිය සහ නැවත අත්පත් කර ගැනීම හා දේශපාලනය අතර පවතින විසංවාදය කදිමට පෙන්නුම් කරන්නේ විමර්ශන කමිටුව විසින් අග‍්‍රාමාත්‍යවරයා වෙත ලබා දුන් සිය අතුරු කමිටු වාර්තාවේ අංක 02 යටතේ රාජ සභා ගොඩනැගිල්ල නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම සඳහා නිර්දේශ කර තිබීමෙනි.   

මෙය සැබවින්ම පවරාදීමේ කොන්දේසිවල දුර්වලතාවයකි. දැනට පවරා දී ඇති සියලුම උරුම ගොඩනැගිලි සඳහා මෙය බලපාන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තව විසින් නගර සභාය, පළාත් සභාව හෝ වෙනත් ආයතන සඳහා පවරා දෙන උරුම ගොඩනැගිලි  නැවති අත්පත් කර ගැනීමේ බලය අණපනත්වලින් සහ ගිවිසුම් මඟින් ශක්තිමත් කළ යුතුය. 

ඓතිහාසික උරුම ගොඩනැගිලි යම් සාධාරණිකරණයක් හමුවේ වාණිජ ව්‍යාපාර කටයුතු කෙරෙහි යොදා ගැනිම මඟින් යම් රැකියා උත්පාදනයක් හරහා එම ප‍්‍රදේශ දියුණුව සඳහා අවකාශය සකස් කරනු ඇත. ශ‍්‍රි ලංකාවේ පාස්කු ප‍්‍රහාරය ඉක්බිතිව ඇතිවු නව කෝවිඞ් 19 වෛරසයට පෙර සංචාරක කර්මාන්තය පුරාවිද්‍යාව හා බැඳුණු උරුම සංචාරක කටයුතු සඳහා ඉහළ ආකර්ශණයක් තිබිණි. 

ශ‍්‍රි ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයන් අතුරෙන් 2015, 2016, 2017 යන වර්ෂවල මිලියනයකට ආසන්න ප‍්‍රමාණයක් ලෝක උරුම ස්ථාන හා අනෙකුත් සංස්කෘතික ස්ථානවල සංචාරය කිරිමට පෙළෙඹි තිබුණි. අනෙක් අතට දේශිය සංචාරකයන් විශාල ප‍්‍රමාණයක් මෙම ස්ථාන නැරඹීමෙන් රජයට විශාල ආදායමක් පුරාවිද්‍යා උරුම ක්ෂේත‍්‍රයෙන් ලබාදීමට හැකි විය.  

ශ‍්‍රී ලංකාවට විදේශ සංචාරකයන් පැමිණි ඉහත වර්ෂවල දෛනික ආදායම සිගීරිය ලෝක උරුම ස්ථානයේ පමණක් මිලියන 12 ක පමණ සීමාවට ගමන් කිරිමට හැකි විය. අනෙක් අතට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් පරිදි විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් යාපනය, ඩෙල්ෆ් දූපත, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කොළඹ, බදුල්ල, මොණරාගල, අනුරාධපුර තදාශ‍්‍රිතව ආදි දිස්ත‍්‍රික්කවල පවතින පුරාවිද්‍යා උරුමයන් සඳහා දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ඇති කිරිමමඟින් ආදායම් උත්පාදනය කිරීමේ ක‍්‍රම මාදිලි සකස් කිරීමට හැකියාව ලැබිණි. 

 

-මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන-
(B.A.M.Phil.(Kel'ya), Cert, in Cultural asset. (Shiga) Ph.D. (Kelaniya), FSLCA)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය  

 

Advertiesment