Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


ආණ්ඩුවට නොයන්නැයි සජිත් අර්ල්ගෙන් බැගෑපත්ව ඉල්ලයි  


2020-07-23 4668

"lankanewsweek" හෙළිදරව්වෙන් සජිත් කලබල වෙලා 

 

අර්ල්ට කතා කර ජාතික ලැයිස්තු මන්ත්‍රීකම සහතික කරලා

 

අර්ල් ගුණසේකරගේ ස්ථාවරය අපැහැදිලියි 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

ආණ්ඩුවට එකතුවීමට ගෙන තිබෙන තීරණය අත්හිටුවා පක්ෂය සමග දිගටම රැදී සිටින්නැයි සමගි ජන බලවේහයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක අර්ල් ගුණසේකර මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

"සජිත්ගේ ලැයිස්තුව මහින්දට විකුණා අර්ල් ආණ්ඩුවට පනී" පනී යන ශීර්ෂය යටතේ, අර්ල් ගුණසේකර මහතාගේ මෙම දේශපාලන පිල් මාරුව  2020.07.22 වැනිදා "lankanewsweek" හෙළිදරව් කිරීමත් සමග කලබලයට පත් වී ඇති සජිත් ප්‍රේමදාස මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි අර්ල් ගුණසේකර මහතාට දුරකථන ඇමතුමක් ගෙන මේ ඉල්ලීම කර ඇත.

එහිදී ආණ්ඩුවට එකතු නොවන ලෙස අර්ල් ගුණසේකර මහතාගෙන් බැගෑපත්ව ඉල්ලා ඇති සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, නියත ලෙසම ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරන බවට අර්ල් ගුණසේකර මහතාට පොරොන්දු වී තිබේ.

අර්ල් ගුණසේකර මහතා මෙසේ ආණ්ඩුවට එක් වන්න යන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනය ඇතිව වරයා සහ නාවික අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ සම්බන්ධීකරණය යටතේ වන අතර මහා මැතිවරණයෙන් අනතුරුව පිහිටු වන බහුතර ආණ්ඩුව යටතේ ඔහුට වග කිව යුතු ඉහළ තනතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කලක් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටී අර්ල් ගුණසේකර මහතා, ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජය ගනු ඇතැයි උපකල්පනය කර එක්සත් ජාතික පක්ෂය සමග එක් වූයේ එම පක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රුපියල් ලක්ෂ ගණනක් ලබා දෙමින් ජනාධිපතිවරණයෙන් පසුව රජයේ ඉහළ තනතුරක් බලාපොරොත්තුවෙනි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය පරාජය වුණු විගස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට දේශපාලන මුක්කු ගසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීමට අර්ල් ගුණසේකර මහතා ක්‍රියා කළේය.

එහිදී ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායක ධූරය සහ නව ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ තනතුරක් ද බලාපොරොත්තු වූ අතර එම පුවත 2020.02.25 වැනිදා "lankanewsweek" පළ කර සිටියේ "අර්ල් ගුණසේකර ආණ්ඩුවේ ලොකු පුටුවකට" යන ශීර්ෂය යටතේය.

කෙසේ නමුත් තමා බලාපොරොත්තු වන ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ තනතුර සහ සංවිධායක ධූරය තමාට ලැබීම ප්‍රමාද වන බව දුටූ අර්ල් ගුණසේකර මහතා කළේ තවත් අති විශාල මුදලක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට සිය නම ඇතුළත් කර ගෙන සිය දේශපාලන වටිනාකම වැඩි කර ගැනීමය.

ආණ්ඩුවට යළිත් එක් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ආරාධනය කර සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ඔහු උපයා ගත් දේශපාලන වටිනාකම හේතුවෙන් වන අතර ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත දී කුරුණෑගල පැවැත්වීමට නියමිත ජන රැළියකදී ඔහු ආණ්ඩුවේ වේදිකාවට නැගීමට නියමිතව සිටියි. 

Advertiesment