Friday 23rd of October 2020

English Tamil
Advertiesment


රනිල්-කිලී යළි දීග යති..?


2020-07-20 11699

අතට අත දී එකිනෙකා බදා ගෙන සිප ගනිති

 

දේශපාලන වෛරක්කාරකම් පිටු දකිති

 

කිලීගේ ආරාධනය රනිල් පිළි ගනියි   

 

"කළු කෝපි" බොමින් පැය ගණනක් පෞද්ගලිකව කතා කරලා

 

සමගි බලයට ගහන්න එපා යැයි රනිල් සිය මාධ්‍ය ඒකකයට උපදෙස් දෙයි 

 

"දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන්  නොමැත"

 
 
(සුජිත් මංගල ද සිල්වා)     

 

කලක් මුළුල්ලේ වචනයක්වත් කතා නොකර දේශපාලන වෛරක්කාරයන් ලෙස සිටී එක්සත් ජාතික පක්ෂ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ "සිරස" මාධ්‍ය ජාලයේ අයිතිකරු වන කිලී මහාරාජ යන මහත්වරු සියලු දේශපාලන එදිරිවාදීකම් අත්හිටුවා සිය පෞද්ගලික සහ දේශපාලන සබඳතා යළි තහවුරු කර ගෙන සිටිති.

දෙපාර්ශවය අතර පළුදු වී තිබූ මෙම අතිශය පැරණි පෞද්ගලික සහ දේශපාලන මිතුදම යළි මෙසේ තහවුරු වී තිබෙන්නේ "සිරස" මාධ්‍ය ජාලයේ විශේෂ ආරාධනයකට අනුව මහා මැතිවරණය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (16) උදෑසන කොළඹ, බ්‍රේබෘක් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන පරිශ්‍රයට ගිය අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි බව ආයතනයේ ඉහළම පෙළේ බලධාරීන් දැනුම් දුන් වහාම සිය කාර්යාලයේ සිට ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට පැමිණ ඇති "සිරස" මාධ්‍ය ජාලයේ අයිතිකරු කිලී මහාරාජා මහතා, ඔහු ඉතා උණුසුම්ව සහ ගෞරවාදරයෙන් යුතුව පිළි ගෙන තිබේ. මෙහිදී අතට අත දී ආචාර සමාචාර කර ගැනීමෙන් නොනැවතී ඇති එම දෙපාර්ශවය එකිනෙකා බදා ගෙන සිප වැළඳ ගනිමින්ද එකිනෙකාට සිය සුහදතාවය පළ කිරීමට ක්‍රියා කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙසේ සිය උණුසුම් සුහදතාවය පළ කර, ඔහු කැඳවා ගෙන සිය කාර්යාලට ගොස් ඇති කිලී මහාරාජා මහතා ඔහු වෙනුවෙන් විශේෂ "කළු කෝපි" සංග්‍රහයක් පවත්වා ඇති අතර එම සංග්‍රහයෙන් අනතුරුව දෙපාර්ශ්වය මුහුණට මුහුණ (One to One) දීර්ඝ සාකච්ඡාවක් ද කර තිබේ.

මුහුණට මුහුණ බලා වචනයක්වත් කතා නොකරන මට්ටමකින් දෙපාර්ශවය අතර පැවැති මෙම විරසකභාවය සමනය කිරීම සඳහා සර්වාගමික, දේශපාලන සහ ජනමාධ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් පාර්ශව ගණනාවක් අවුරුදු ගණනාවක් මුළුල්ලේ උත්සහ කළත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ බව කවුරුත් දනිති. 

එවැනි පසුබිමක් යටතේ රනිල් වික්‍රමසිංහ සහ කිලී මහාරාජා යන මහත්වරුන් මෙසේ හමුවී එකිනෙකාට සුහදතාවය පළ කර ගනිමින් "කළු කෝපි" සංග්‍රහයක් ද (Black Coffee Chat) භුක්ති විඳ මුහුණට මුහුණ (One to One) දීර්ඝ සාකච්ඡාවක් ද පැවැත්වීමේ සිද්ධිය දේශපාලන සේම ජනමාධ්‍ය කරළිය උණුසුම් කරමින් තිබෙන අතර මේ සිද්ධිය මෙසේ සියලු දෙනාගේ අවධානයට ලක් වීම කෙරෙහි බලපා තිබෙන තවත් ප්‍රධාන හේතුවක් වන්නේ "හිරු" සහ "දෙරණ" මාධ්‍ය ජාලාවල සේම එම ආයතනවල හිමිකරුවන්ගේ මාධ්‍ය භාවිතය වේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, සම්මුඛ සාකච්ඡාවක් සඳහා "සිරස" ආයතනයට මෙසේ පැමිණ ඇත්තේ අවුරුදු ගණනාවකට පසුව වන අතර "සිරස" මාධ්‍ය ජාලය ද ඔහුට ඒ හා සමාන කාලයක් තිස්සේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දී නොතිබිණ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මේ කාලය ඇතුළත දී "සිරස" මාධ්‍ය ආයතනයෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලා නොමැති අතර එම ආයතනය ද ඔහුට කිසිදු ආරාධනයක් කර නොමැති බවය.

එසේ තිබියදී සිය මහා මැතිවරණ ව්‍යාපාරයේ පළමු රූපවහිනී සම්මුඛ සාකච්ඡාව ලෙස "සිරස" මාධ්‍ය ජාලය මගින් විකාශය කෙරෙන අදාළ වැඩ සටහනට එක් වන ලෙසට එම ආයතනය රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ආරාධනයක් සිදු කිරීම සහ ඔහු එම ආරාධනය පිළි ගැනීම විශේෂයෙන් කැපී පෙනෙන දේශපාලන සිද්ධියක් වේ.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහ එහි නායකයින්ට මහා මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රබල දේශපාලන ප්‍රහාර, චෝදනා සහ අවලාද එල්ල නොකර අවශ්‍යතාවය පරිදි ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් පමණක් කරුණු මතු කරමින් ජනතාව දැනුම්වත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය මාධ්‍ය ඒකකයට සහ මාධ්‍ය ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.  

 

    

Advertiesment