Saturday 24th of October 2020

English Tamil
Advertiesment


කාබන් ශූන්‍යකරණ සහතිකයෙන් ජනපති පිදුම් ලබයි 


2020-07-17 6933

ජනපතිවරණ ව්‍යාපාරයේදී රට පුරා පැළ 26,000ක් රෝපණය කරලා 

 

කාබන් උදාසීන ප්‍රථම ජනපතිවරණ ව්‍යාපාරය 

 
 
(සුජිත් මංගල ද සිල්වා) 

 

ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම "කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය" සඳහා ප්‍රදානය කෙරෙන "කාබන් ශූන්‍යකරණ" සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැමිණි.

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයෝ බ්‍රහස්පතින්දා (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම "කාබන් ශූන්‍යකරණ" සහතිකය පිළිගැන්වූහ.

ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පරිසර හානිය සහ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය අගයක තබා ගත් බව සහතික කර ඇත්තේ, හරිතාගාර වායු කළමනාකරණය පිළිබඳ සහතික නිකුත් කිරීම සඳහා බලය හිමි "Sustainable Future Group" නම් පරිසර පර්ෂදය විසිනි. මෙම පරිසර පර්ෂද කණ්ඩායම හරිතාගාර වායු විමෝචන ක්ෂේත්‍රයේ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමැතිය ලැබූවකි.

සම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව පරිසර දූෂණයෙන් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණය සැලසුම් කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චින්තනය සහ අධිෂ්ඨානය වූ අතර ඒ අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් මුළු  දිවයිනම ආවරණය පරිදි සංවිධානය කෙරුණු 150 ට අධික ජන රැලි සියල්ල පොලිතීන්, පෝස්ටර්, බැනර් සහ කටවුට් ආදියෙන් තොරව පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු තීරණය කර තිබිණ. 

ජන හමුවලට එන වාහනවලින් සහ ජනතාවගෙන් පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය අන්තර්ජාතික ක්‍රමවේදයකට ගණනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස මුදා හැරෙන කාබන් ස්කන්ධය අවශෝෂණය කර ගැනීම සඳහා ශාක 21,000ක් රෝපණය කළ යුතු බව නිගමනය කර "රටේ පැළ වන නිදහසේ හුස්ම" රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ සෑම ජන රැළියක්ම අවරණය වන පරිදි එම ශාඛ රෝපණය කිරීමට කටයුතු කරනු ලැබීය. 

"රටේ පැළ වන නිදහසේ හුස්ම" රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී රට පුරා රෝපණය කළ  පැළ 26,000 හේතුවෙන් කාබන් අවශෝෂනය වී හානිය ශූන්‍ය කර ඇතැයි "ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය" තක්සේරු කර තිබෙන අතර අදාළ කාලසීමාවේ දී වූ පරිසර හානිය සහ කාබන් අවශෝෂනය පදනම් කොට ගෙන පරිසර හානිය ශූන්‍ය වී ඇති බව පූර්ණ වශයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනය ද කියා සිටියි.

"තිරසර පරිසර ප්‍රතිපත්තියක් යනු පරිසර සංරක්ෂණය පමණක් නොව සමබර වූ සමාජ, ආර්ථික පුරුදු ක්‍රියාවට නැංවීමය" යන්න ජනාධිපතිවරයාගේ  "සෞභග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් කර තිබිණ.

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රකාශනයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදක කමිටුව නියෝජනය කරමින් මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය සම්පත් වාහල, දර්ශනී ලහඳපුර, රෝෂිනී රාජපක්ෂ, චමින්ද මහනායක, අනුෂ්ක කුමාරසිංහ, සමන්ත ගුණසේකර සහ අර්ජුන පෙරේරා යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

Advertiesment