Sunday 29th of November 2020

English Tamil
Advertiesment


රජයේ COVID-19 දත්ත විශ්වාස නැහැ -කිරිඇල්ල-


2020-07-16 8481

මැතිවරණය වෙනුවෙන් ජනතාවගෙන් සත්‍ය වසන් කරනු එපා 

 

රජය හදිසියේ මැතිවරණ කටයුතු නතර කළේ ඇයි..?

 

රජය සිය මහා මැතිවරණ කටයුතු හදිසියේ නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිළි ප‍්‍රකාශයක් සිදු කළ යුතු බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ති‍්‍රක් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවරදි විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප‍්‍රකාශ කළේය. 

කොරෝනා යම් කිසි මට්ටමකට පාලනය කර ඇතැයි රජය පැවසූවත් තමා මීට පෙර සඳහන් කර පරිදිම රජයේ සංඛ්‍යා ලේඛන පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත් සත්‍ය තත්ත්වය ජනතාවට පැවසිය යුතු බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.

මේ මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

අපි දුටුවා පොදු ජන  පෙරමුණ නිවේදනයක් නිකුත් කරලා තිබුණා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු නවත්වා දැමීම පිළිබදව. ආණ්ඩුව මැතිවරණ සටන අත්හැරලාද..? මේක ප‍්‍රහේළිකාවක්. හදිසියේ මැතිවරණ සටන අත්හැරීමට බලපෑ සත්‍ය හේතුව කුමක්දැයි රජය ජනතාවට පැහැදිළි කළ යුතුයි.  ජනතාවගෙන් කරුණු හංගන්න එපා. අපි මුල සිටම පැවසූවා රජයේ සංඛ්‍යා ලේඛන පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ කියලා. මම රූපවාහිනි වැඩසහනකදීත් මේ බව ප‍්‍රකාශ කළා. 

නමුත් රජය ප‍්‍රකාශ කළා සංඛ්‍යාලේඛන නිවැරදියි කොරෝනා දැන් පාලන මට්ටමක තිබෙන්නේ කියා. නමුත් එදා අපි කිව්ව දේ අද ඇත්ත වෙලා තියෙනවා. රජය කුමක් පැවසූවත් අද කොරෝනා නැවත සමාජ ගත වෙලා තිබෙනවා. අපි දුටුවා අයි.ඞී.එච්. රෝහලේ වෛද්‍යවරුන් ප‍්‍රකාශයක් නිකුත් කරලා තිබුණා ඔවුන් පොකුරු රෝගින්ගෙන් පිට කොරෝනා රෝගින් සිය ගණනකගේ වාර්තාවක් රජයට ලබාදී තිබෙනවා කියා. නමුත් රජය එම වාර්තා ප‍්‍රතික්ෂේප කරලා තිබෙනවා.  

එම ප‍්‍රතික්ෂේප කිරිමෙන් පැහැදිළි වන්නේ රජයට මෙම තොරතුරු සැගවීමේ අවශ්‍යතාවයක් තිබෙන බව. හොඳම උදාහරණය රජය මැතිවරණයට නාම යෝජනා කැදවන තෙක් කොරෝනා අවදානම ගැන ජනතාවට පැවසූවේ නැහැ. නමුත් නාම යෝජනා භාර ගැනීමෙන් පසු රට වසා දැමුවා. එදත් රජය නාම යෝජනා වෙනුවෙන් තොරතුරු සැගවූවා. අදත් රජය මැතිවරණය වෙනුවෙන් තොරතුරු සගවනවාද..? 

සෞඛ්‍ය අමාත්‍යතුමිය වරෙක පැවසූවා අපේ‍්‍රල්  19 කොරෝනා ඉවරයි කියලා. උපහාර උත්සව පවා පැවැත්වූවා. අපි එදා ඉදන්ම කිව්වේ මැතිවරණය කල් දාමු කියලා. නැවත පාර්ලිමේන්තුව කැදවලා මේ සෞඛ්‍ය වාර්තා ගැන විවාදයක් කරලා සංඛ්‍යා ලේඛනවල සත්‍යතාව පැහැදිළි කර ගමු කියා. නමුත් රජය ඇහුම්කන් දුන්නේ නැහැ. එදා රජය කිව්වේ අපි මැතිවරණයට බය නිසා පාර්ලිමේන්තුව නැවත කැදවන්න උත්සාහ කරනවා කියලා. නමුත් අද රජය කිසිදු හේතුවක් පවසන්නේ නැතිව මැතිවරණ කටයුතු නවත්වලා. 

ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරලා තිබුණා මැතිවරණය පැවැත්වීමේ සෞඛ්‍ය උපදේශන මාලාව ගැසට් කළ යුතු බව. ඇයි රජය මේ උපදේශන ගැසට් කරන්නේ නැත්තේ..? ගැසට් කළා නම් රජයට අවශ්‍ය විදිහට මැතිවරණ ව්‍යාපාරය කර ගෙන යන්න බැහැ. සෞඛ්‍ය උපදේශන මාලාව ගැසට් කළා නම් රජය වුණත් මැතිවරණ නීති කඩ කළොත් මැතිවරණ කොමසාරිස්ට බලය තිබෙනවා මැතිවරණ නීතිය අනුව ඒ අයට විරුද්ධව කටයුතු කරන්න. මොකද ඒ යටතේ රැස්වීමකට සහභාගි කරවන්න පුළුවන් 100ක පිරිසක් පමණයි. අද ඒ නීතිය වැඩිදුරම කඩකරන්නේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි.  
 

Advertiesment