Friday 14th of August 2020

English Tamil
Advertiesment


මැතිවරණයට අදාළ කොරෝනා මාර්ගෝපදේශ වහා ගැසට් කරනු - කරු-


2020-07-12 6213

රටයි-ජනතාවයි අනතුරේ නොදමනු 

 

ජනතාවගේ ජිවිත මැතිවරණයට වඩා වටිනා බව සිතනු 

 

(සුජිත් මංගල ද සිල්වා) 


Covid -19 වසංගතය උග්‍ර විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇති තත්වය හේතුවෙන් මහා මැතිවරණයට අදාළව  සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශ ජනතාවගේ යහපත වෙනුවෙන් වහාම ගැසට් කිරීමට රජය ක්‍රියා කළ යුතු යැයි හිටපු කතානායක දේශබන්ධු කරු ජයසුරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම මාර්ගෝපදේශවලට නීතිමය  වටිනාකමක් ලබා දී මාරාන්තික COVID වසංගතයෙන් රටත්-ජනතාවත් බේරා ගන්නා  සියලුම වග කිව යුතු නිලධාරීන්ගෙන් සහ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද කරු ජයසුරිය මහතා අවධාරණය කර සිටියි.

හිටපු කතානායක කරු ජයසුරිය මහතා මාරාන්තික COVID වසංගතයට අදාළව ජනතාව වෙනුවෙන් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.     

අද උදෑසන වාර්තා වූ පරිදි, ශ්‍රී ලංකාව තුළ දැනට උද්ගත වී තිබෙන කෝවිඩ්-19 වසංගත තත්ත්වය අතිශයින් ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකි බව, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ඇති  විශේෂඥ මතය වී තිබේ. ඇති විය හැකි වසංගත උවදුරු වළක්වා ගැනීම සඳහා ජනතාවට තමාගේ ආරක්ෂාව සලසා ගැනීම ඉතාමත් වැදගත් වන බව අවධාරණය කරමින්, සෞඛ්‍ය උපදෙස් සිය උපරිම හැකියාව අනුව පිළිපදින මෙන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 

කෙසේ වෙතත්, ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම පිණිස, පාලිත කොරෝනා තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මාර්ගෝපදේශ මේ වන තෙක් ගැසට් නොකිරීම අතිශයින් කණගාටුදායක තත්ත්වයකි. එකී මාර්ගෝදේශ සැබවින්ම ජනතාව සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සංවිධානය කරන පුද්ගලයන් විසින් පිළිපදින බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන බලතල කිසිවක් රාජ්‍ය නිලධාරීන් හට ලැබී නැත. ඊට හේතුව එම මාර්ගෝපදේශ ගැසට් පත්‍රයක් මගින් නීතිගත කොට නොතිබීමයි. 

මේ වන විට, මැතිවරණ ප්‍රචාරණයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙස ගරු අග්‍රාමාත්‍යවරයා විසින් ද  ඉල්ලීමක් සිදු කර තිබේ. කෙසේ වෙතත්, නීතිමය වශයෙන් ක්‍රියාවට නැංවීමේ බලයක් නොමැති ඉල්ලීමක් මගින් දේශපාලන ප්‍රචාරණය වැනි අතිශය තරඟකාරී පරිසරයක් තුළ සිදු කළ හැකි බලපෑම අල්ප වේ. දැනට පවතින නීතිමය හිඩැසෙන් අයතු සහ අනර්ථකාරී ප්‍රයෝජන ලබමින්, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන ආකාරයේ ජන රැළි සංවිධානය කිරීම බෝහෝ දේශපාලඥයන් විසින් පසුගිය සති කිහිපය පුරා සිදු කරනු දක්නට ලැබිණි.

දේශපාලඥයන් විසින් එසේ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම පසුගිය මාස ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ ජනතාව කොරෝ්නා උවදුරෙන් මුදවා ගැනීම පිණිස සිය දිවි පරදුවට තබා කටයුතු කළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ ප්‍රයත්නය අපතේ යාමට ඉඩ හැරීමකි. එය ඔවුන්ගේ උදාර සේවයට සහ කැපවීමට කරනු ලබන බලවත් අපහාසයකි. 

මෙවැනි කණගාටුදායක තත්ත්වයක් හමුවේ ජනතාව සිය සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට තමන්ට හැකිසෑම අයුරකින් ම කටයුතු කළ යුතු බව අවාරණය කරමි. තව ද, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මැතිවරණයට අදාළව නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩිනමින් ගැසට් කරනු ඇතැයි මම පොදු ජනතා සුභසිද්ධිය පෙරටු යහපත් චේතනාවෙන් අපේක්ෂා කරමි. එම මාර්ගෝපදේශයන්ට නීතිමය වටිනාකමක් ලබා දී රටත් ජනතාවත කොරෝනා උවදුරින් බේරා ගැනීමට කටයුතු කරන මෙන් සියලු වගකිවයුතු නිලධාරීන්ගෙන් සහ දේශපාලන නායකත්වයෙන් ආයාචනය කර සිටිමි.

Advertiesment