Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


රුවන් අනාථයි-ජනතා විරෝධය උග්‍රයි-හේතු මෙන්න


2020-07-11 3466

සල්ලිවලටවත් මිනිස්සු හොයා ගන්න බැහැලු 

 

මැතිවරණ ව්‍යාපාරයම කඩා වැටිලා

 

මිනිස්සු කලකිරිලා 

 

පෙම්වතියගේ ක්‍රියාකලාපයට විරෝධය

 

විජයවර්ධනලා වලව් කාරයෝයි-ධන කුවේරයෝයි වූ හැටි ඉදිරියේදී   

 

අතිශය රහස් තොරතුරු ගොන්නක හෙළිදරව්වකි   

 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා, මෙවර මහා මැතිවරණයේ දී අන්ත පරාජයකට පත් වනු ඇතැයි එක්සත් ජාතික පාක්ෂිකයෝ ප්‍රධාන පාර්ශව ගණනාවක් පෙන්වා දෙති.

මේ බව සාක්කි සාධක සහ කරුණු කාරණා සහිතව "lankanewsweek" වෙත පෙන්වා දෙන්නේ, කැළණිය මැතිවරණ කොට්ඨාශය ප්‍රධාන ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පාක්ෂිකයින්, සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සේවක සේවිකාවන්, "සිරිකොත" තරුණ තරුණියන් සහ "ලංකාදීප" සේම "ඉරිදා ලංකාදීප"  පත්‍රවල කර්තෘ මණ්ඩල නියෝජනය කරන ප්‍රවීණ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකි.

මේ කාරණයට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි ජනතාව ඇතුළු විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් සහ ඒ අය සමග සම්මුඛ වෙමින් කළ විමර්ශනවලදී "lankanewsweek" වෙත හෙළි වූයේ, ගම්පහ දිස්ත්‍රික් ජනතාව අතරින් රුවන් විජයවර්ධන මහතා  මෙසේ ප්‍රතික්ෂේප වී ඔහුගේ ජනප්‍රියත්වය මුළුමනින්ම පහත වැටී මහා මැතිවරණයෙන් පරාජය වන තත්ත්වයට පත්ව තිබෙන්නේ ප්‍රධාන කරුණු කාරණා කිහිපයක් මත බවය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කැළණිය ආසනය ප්‍රධාන ගම්පහ දිස්ත්‍රික් ජනතාවට නිසි සේවයක් නොකිරීම, එම දිස්ත්‍රික්කයේ ඇඟට දැනෙන සංවර්ධනයක් නොකිරීම, තරුණ තරුණියන්ට රැකියා ලබා නොදීම, මිනිස්සු නොසලකා හැරීම, ජනතාවට ඔහු හමුවීමට නොහැකිවීම, ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා නොකිරීම, දිස්ත්‍රික්කයේ අවශ්‍යතා වෙනුවෙන් මැදිහත් නොවීම, හදිසියකටවත් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකිවීම, උඩඟුකම, පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහු සම්බන්ධයෙන් ද ජනතාව අතර ඇති වී තිබෙන අප්‍රසාදය සහ ඔහු සමග එකට ජීවත් වන (Living Together) ඔහුගේ පෙම්වතියගේ ක්‍රියාකලාපය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව එම පාර්ශව "lankanewsweek" සමග තහවුරු කර සිටියහ.

මේ අතර නාග ලෝකයෙන් පැමිණි නාගයෙකු සර්වඥ ධාතූන් වහන්සේලා 14 නමක් කැළණි විහාරයට පූජා කළේ යැයි කියන කුප්‍රකට පුවත ජනාධිපතිවරණයට සතියකට පෙර පතුරුවා මුළු රටම මෝහ අන්දකාරයේ ගිල්වමින් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලන අගතියක් සිදු කළේ යැයි කියන කැළණි රජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝ රඛිත නා හිමියන් ලවා රුවන් විජයවර්ධන මහතා තමා වෙනුවෙන් කරවා ගෙන තිබෙන ප්‍රකාශය ද ඔහුට අවාසියට හේතු වී ඇත.

රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් කොල්ලුපිටියේ මහින්ද සංඝ රඛිත නා හිමියන් කර ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් රුවන් විජයවර්ධන මහතා හාස්‍යට ලක් කරමින් ඔහුගේම "facebook" පිටුවට පැමිණ කර ඇති අදහස් දැක්වීම්වලින් ඒ බව මනාව තහවුරු වන බව ද ඔවුහූ පෙන්වා දුන්හ.  

මේ අතර සිය සේවය අගය නොකිරීම, සේවක සේවිකාවන්ට අවම පහසුකම්වත් ලබා නොදී ගෞරවයක් නොදක්වා අවම අයිතීන්වත් තහවුරු නොකර වහලුන්ට වගේ සැලකීම, සිය සොච්චම් වැටුප, අති කාල දීමනා සහ පාරිතෝෂික දීමනා ආදිය පවා මේ වන විට කප්පාදු කරමින් සිටීම ඇතුළු හේතූන් රැසක් මත රුවන් විජයවර්ධන මහතා මෙවර මහා මැතිවරණයෙන් කෙසේ හෝ පරාජය කිරීමට කටයුතු කරන බව ඔහුගේ පියා වන රංජිත් විජයවර්ධන මහතාට අයත් සීමාසහිත විජය පුවත්පත් සමාගමේ රියදුරන් සහ කම්කරුවන් ඇතුළු සුළු සේවක සේවිකාවන් පිරිසක් "lankanewsweek" සමග පැවසූහ. 

රුවන් විජයවර්ධන මහතා මහා මැතිවරණයෙන් පරාජය වන බවට විජය පුවත්පත් සමාගම පුරා මේ වන විට රාවයක් පැතිර යමින් තිබෙන අතර "ලංකාදීප" පත්‍රයේ කර්තෘවරයෙක් "lankanewsweek" සමග පැවැසුවේ එසේ වුණොත් විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුව සිටින රුවන් විජයවර්ධන මහතා මහා මැතිවරණයෙන් පසුව සමාගමේ සක්‍රීය සේවයට එක් වනු ඇති බවය.

විජය පුවත්පත් සමාගමේ රියදුරන් ලෙස අවුරුදු ගණනාවක් මුළුල්ලේ සේවය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සේවකයින් පිරිසක් "lankanewsweek" සමග මෙසේ පැවසූහ.

"අපි මහත්තයෝ රංජිත් හාමුටයි-රුවන් බබාටයි-සුජාන් හාමුටයි-මේ පත්තරවලටයි අවුරුදු ගානක් කඹුරනවා. ඒත් වැඩක් නැහැ. දියුණුවක් නැහැ. අපි ගැන බලන්නේ නැහැ. දේශපාලනයට ආපු දවසේ ඉඳලා අපි වැඩ කළේත් ඡන්දය දුනනේත් රුවන් බබාට. ඒත් ඇහැක් ඇරලා අපි ගැන බලලා නැහැ. හදිස්සියකට හම්බ වෙන්න බැහැ. දරුවෙකුට රස්සාවක් ගන්න බැහැ. අපේ පඩියක් වැඩි කර ගන්න බැහැ. අපිට සලකන්නේ සත්තුන්ට වගේ. සේවකයින්ට නොසලකන හාම්පුත්තු රටේ රජ වෙලා මිනිස්සුන්ට සලකයි ද මහත්තයෝ..."

මේ අතර රුවන් විජයවර්ධන මහතා ක්‍රියාකාරී දේශපාලනයට ආ දවසේ සිට බියගම මැතිවරණ කොට්ඨාශය මුල් කර ගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ඔහු වෙනුවෙන් ඇපකැප වී වැඩ කළ සහ එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතාට අවුරුදු තිහක් මුළුල්ලේ ආවතේව කටයුතු කළ ඔහුගේ පෞද්ගලික සහයකයෙක් මේ සම්බන්ධයෙන් "lankanewsweek" සමග මෙසේ පැවසීය.

"රුවන් විජයවර්ධන මහත්තයාට මේ සැරේ අමාරුයි. අපි කවුරුත් එතුමාට වැඩ කරන්නේ නැහැ. ඔක්කොම මිනිස්සු කියන්නේ සල්ලි දුන්නොත් විතරක් වැඩ කරනවා කියලා. ඒ වුණාට සල්ලි දීලත් ඡන්දෙට වැඩ කර ගන්න මිනිස්සු හොයා ගන්න බැරුවයි එතුමා දැන් ඉන්නේ. ඒ තරමටම මිනිස්සු කලකිරිලා. මිනිස්සුන්ට කිසිම උදව්වක් කළේ නැහැ. කෑවා ද, බිව්වා ද කියලා හෙව්වේ නැහැ. දුක සැප බැලුවේ නැහැ. මිනිස්සුන්ට රස්සාවක් දුන්නේ නැහැ. හම්බ වෙන්න විදිහක් නැහැ. ආසනයට එන්නේ නැහැ. 2015 ආණ්ඩුව හැදුවට පස්සේ මම මගේ පුතාට කම්කරු හරි රස්සාවක් ඉල්ලුවා. ඒත් කවදාවත් දුන්නේ නැහැ. පුතා තවම ගෙදර. මම මේ ගැන අගමැතිතුමාටත් කිව්වා. එතුමා කිව්වා සාගල මහත්තයාට කියන්න කියලා. සාගල මහත්තයාටත් කිව්වා. ඒත් වැඩේ කෙරුණේ නැහැ. මම අවුරුදු 30ක් නායකතුමා එක්ක. දැන් නම් නැහැ. එතුමාට මම කන්න උයලා දීලා තියෙනවා. රෙදි හෝදලා දීලා තියෙනවා. මේ අත් දෙකෙන් එතුමාගේ යට ඇඳුම් පවා මම හෝදලා තියෙනවා. දැන් අපි අපේ වැඩක් බලා ගෙන අපේ පාඩුවේ ඉන්නවා. මේවා තේරෙන කොට අපි වයසට ගිහිල්ලා. දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. පරක්කු වැඩියි."

එක්සත් ජාතික පක්ෂයට සහයෝගය පළ කරන දේශපාලන පක්ෂයක නායකයෙක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් "lankanewsweek" සමග පැවැසුවේ රුවන් විජයවර්ධන මහතාගේ දේශපාලන ජීවිතය මෙසේ විනාශ වන්නේ ඔහුගේ පෙම්වතියගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ අලසකම නිසා බවය.

මෙම කරුණු විමර්ශනය කිරීමේ දී, රුවන් විජයවර්ධන මහතාගේ පෙම්වතිය, යහ පාලන ආණ්ඩු සමයේ සිදු කළේ යැයි කියන දේශපාලන සහ මුල්‍ය ගනුදෙනු (Political and Financial Deal) ගණනාවක් සම්බන්ධයෙන් ද, සුද්දන්ගේ කාලයේ දී විජයවර්ධන පවුල ධන කුවේරයන් බවට පත් වූ ආකාරය සේම පසුව මිද්දෙනිය වලව්වට සම්බන්ධවී වලව් කාරයන් වූ හැටි ගැන ද තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට "lankanewsweek" කණ්ඩායමට හැකි වූ අතර ඒ පිළිබඳ තොරතුරු අපි පසුව හෙළි කරන්නෙමු.              

Advertiesment