එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ගත් තීරණයක් අනුව රජයේ සේවකයන්ට 2020 ජනවාරි මාසයේ දී ලබාදීමට නියමිතව තිබී වර්තමාන ආණ්ඩුව විසින් ලබා නොදුන් සියලු දීමනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ලබාදෙන බව හිටපු අග්රාමාත්ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි.
වර්තමාන ආර්ථික අර්බුදය ආරම්භ වූයේ කොරෝනා වසන්ගතය මෙරටට පැමිණීමට පෙර 2020 ජනවාරි මාසයේ දී බව අවධාරණය කළ රනිල් වික්රමසිංහ මහතා ජනවාරි මාසයේ රජයේ සේවකයන්ට ගෙවීමට නියමිතව තිබූ දීමනා ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වීමෙන් ඒ බව තහවුරු වන බව ද පෙන්වා දුන්නේය.
ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ ජයග්රහණය තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්රික්කයේ හෝමාගම මැතිවරණ කොට්ඨාශයේ අඟහරුවාදා (07) පැවැති ජන රැලියක් අමතමිනි.
එක්සත් ජාතික පක්ෂය මෙවර ජනවරමක් ඉල්ලන්නේ ජනතාව සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට බව කී රනිල් වික්රමසිංහ මහතා එම සම්මුතියේ එක් කොටසක් වනුයේ වර්තමාන ආණ්ඩුව විසින් ගෙවීම නතර කළ සියලු දීමනා රජයේ සේවකයන්ට ලබාදීම බව ද සඳහන් කළේය. ජනතාවගේ අතට මුදල් ලබාදී ඒවා වියදම් කිරීමෙන් රටේ වෙළෙඳාම දියුණු කළ යුතු බව පෙන්වා දෙන රනිල් වික්රමසිංහ මහතා වර්තමාන ආණ්ඩුව ජනතාවගේ අතට මුදල් දෙනවා වෙනුවට රජයේ සේවකයන්ගේ වේතනයෙන් නොයෙකුත් අරමුදල් සඳහා ඔවුන්ගේ කැමැත්ත නොමැතිව මුදල් කපා ගැනීම සිදු කරන බවට ද චෝදනා කළේය.
ගෙවුණු සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඓතිහාසික වන බව කී හිටපු අග්රාමාත්යවරයා ඉතිහාසයේ පළමු වරට රජයේ සේවකයන්ට උත්සව අත්තිකාරම් මුදල් නොලැබුණු වසරක් වූ බව පැවසීය. තමා අග්රාමාත්ය ධුරය දරමින් පැවති ආණ්ඩුව යටතේ රජයේ සේවකයන්ගේ වැටුප වසර පහක් ඇතුතුළත සියයට 107 කින් වැඩි කළ බව පැවසූ රනිල් වික්රමසිංහ මහතා එසේ වැටුප් වැඩි කළේ ලෝකයේ කුමන රටේ දැයි විමසා සිටියේය. එසේම පොලිස් නිලධාරීන්ගේ වැටුප් 40% කින් ද ගත වූ වසර පහ ඇතුළත හමුදා නිලධාරීන්ගේ වැටුප අට වතාවක් ද වැඩි කළ බව ද සඳහන් කළේය.
Lanka Newsweek © 2021