Wednesday 24th of April 2024

English Tamil
Advertiesment


විශ්ව විද්‍යාල ප්‍රජාව රවී වටා පෙළ ගැසෙති 


2020-07-06 7792

රවී ගැන විශ්ව විද්‍යාල "මහාචාර්ය-ආචාර්ය" මතය මෙන්න

 

"පීඩිතයාගේ සේම ධන කුවේරයාගේ ප්‍රශ්න ගැනත් දන්නවා"

 

"රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි"

 

 "එජාප උප නායකයාගේ පෙරස්ත්‍රොයිකාව කාලෝචිතයි-ප්‍රායෝගිකයි"

 

"යහ පාලනය වැටුණේ මුදල් ඇමතිගේ කකුලෙන් ඇද්ද නිසා"

 

"ජාතික දේශපාලනට අවශ්‍ය රවීලා වගේ ප්‍රායෝගික මිනිස්සු"

 

 
(සුජිත් මංගල ද සිල්වා)   

  


එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතාගේ දේශපාලන භාවිතය, දර්ශනය සහ වැඩ පිළිවෙළ අනුමත කරමින් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් රැසක් ද, වෘත්තීයවේදීන් විශාල පිරිසක් ද, ඔහුට මතවාදීව සහය පල කිරීමට පියවර ගෙන සිටිති.

රවී කරුණානායක මහතාට මතවාදීව සහය පල කරමින් සිටින විශ්ව විද්‍යාල ප්‍රජාව අතර මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන, මහාචාර්ය ටෙරන්ස් පුරාසිංහ, මහාචාර්ය මිල්ටන් රාජරත්න, ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා, ආචාර්ය විශාකා සූරිය බණ්ඩාර සහ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යන මහත්වරුන් ප්‍රධාන විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් රැසක් සිටිති.

විශ්ව විද්‍යාල ප්‍රජාව නියෝජනය කරන මෙම මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතාගේ දේශපාලන භාවිතය, දර්ශනය සහ වැඩ පිළිවෙළ අනුමත කරමින් ඔහුට මතවාදීව සහය පල කරන්නේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහු රටේ ආර්ථිකයට සහ ජනතාවට කළ මෙහෙවර න්‍යායික පදනමකින් අගය කරමිනි.

මාරාන්තික COVID - 19 නව කොරෝනා වසංගතය හමුවේ රටක්-ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටී සිටින මේ මොහොතේ රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියා නම් වත්මන් ආණ්ඩුව වගේ මුදල් අච්චු ගැසීමට රජයට සිදු නොවන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ, කළමනාකරණ අධ්‍යන සහ වාණිජ්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.

මෙවැනි බරපතළ සහ හදිසි තත්ත්වයකදී මුදල් අච්චු ගසා රටේ ආර්ථිකය තව තවත් අර්බුදයකට තල්ලු නොකර ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මුල්‍ය ප්‍රතිපාදන රැස් කිරීමට සේම අර්බුදය අවසන් වන තුරු එම ප්‍රතිපාදන කළමනාකරණය කිරීමට රවී කරුණානායක මහතාට හැකියාවක් තිබෙන බව පෙන්වා දුන් මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනයේ නිත්‍ය සාමාජිකයෙකු වන ඔහු මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අත්දැකීම් සහ හැකියාවන් බහුල පුද්ගලයෙකු බව ද සඳහන් කළේය.

එවැනි අත්දැකීම් සහ හැකියාවන් සහිත වෘත්තීයවේදීන් ජාතික දේශපාලනයේ සිටින්නේ ඉතා අතලොස්සක් බව පෙන්වා දුන් කෙනඩි ගුණවර්ධන මහතා රට ගොඩනැගීමට නම් රවී කරුණානායකලා වැනි ප්‍රායෝගික දේශපාලකයින් ජාතික දේශපාලනයට වැඩි වැඩියෙන් අන්තර් ග්‍රහණය කර ගත යුතු යැයි ද පැවැසීය.

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පෙන්වා දෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසන්ධනයක් සිදු කරමින් පාක්ෂිකයා බල ගන්වා පක්ෂය යළි ජයග්‍රහණය කරා මෙහෙයවීමට අදාළව එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා මේ වන විටත් පක්ෂයට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය (පෙරස්ත්‍රොයිකාව) ඉතාම වැදගත් සේම අතිශය කාලෝචිත සහ ප්‍රායෝගික බවය.  

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපර්තම්නේතුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය හැක්කේ රවී කරුණානායක සාධකය සමගින් වන අතර ඔහු පක්ෂයේ ඉදිරියට ආ යුතු බවය. 

මුදල් ඇමතිවරයා වශයෙන් රවී කරුණානායක මහතාගේ භූමිකාව සහ ඔහුගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ ව්‍යාපාර අධ්‍යන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගෙන් "lankanewsweek" කළ විමසුමකදී ඔහු මෙසේ පැවැසීය.

"ඇත්තටම රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කළ මෙහෙවර සහ ඔහුගේ දේශපාලන-ආර්ථිකය ගැන අපට කරන්න කිසිම තක්සේරුවක් ඉතිරි වෙලා නැහැ.1926 සිට ගෝලීය මූල්‍ය පිළිබඳ ප්‍රමුඛතම මාසික සඟරාව වන ලොව ප්‍රකට "Financial Times" සමූහයට අයත් "The Banker" සඟරාව විසින් 2017 සඳහා ආසියා-පැසිෆික් කලාපයේ "හොඳම මුදල් ඇමති" සම්මානය රවී කරුණානායක මහතාට පුද කරමින් ජාත්‍යන්තරය ඒ තක්සේරුව  ඉහළින්ම කර තිබෙනවා.

ආර්ථික වේදියෙකු ලෙස මෑත දේශපාලන ඉතිහාසයේ මම දුටූ හොඳම අය-වැය යෝජනාවලිය වන්නේ මුදල් ඇමතිවරයා වශයෙන් 2015 දී රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අය-වැයයි. ඒ අනුව රවී කරුණානායකගේ කකුලෙන් නොඇද එම අය-වැය යෝජනාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඔහුට ඉඩ දුන්නා නම් රට මේ වන විට විශාල දියුණු මට්ටමක පවතින අතර එසේ වුණා නම් තවමත් බලයේ සිටින්නේ යහ පාලන ආණ්ඩුවයි."

මේ කාරණය සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ පැවැසීය.

"පීඩිතයාගේ සිට ඉහළම ව්‍යවසායකයා දක්වා වූ සියලු දෙනා ඒ ඒ මට්ටමෙන් මුහුණ දෙන ආර්ථික සහ මුල්‍ය ප්‍රශ්න පිළිබඳව හිටපු මුදල් ඇමතිවරයා සේම වරලත් ගණකාධිකාරීවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස රවී කරුණානායක මහතාට හොඳ අවබෝධයක් සහ කියැවීමක් තිබෙන බව ඔහුගේ ක්‍රියා මාර්ග, තීන්දු තීරණ සහ වැඩ පිළිවෙළ මගින් මනාව පැහැදිළි වනවා.

යහ පාලන රජයේ මුදල් ඇමතිවරයා ලෙස ඔහු රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීම ඇතුළු අති විශාල සහන රැසක් ජනතාවට ලබා දුන්නේ සාර්ව ආර්ථිකයට ගැටලුවක් ඇති නොවන අයුරින් රජයේ වියදම් පියවා ගනිමිනුයි. සියලු දෙනාගේම සුභ සාධනය වැඩි කළ යුතුය යන ආර්ථික සිද්ධාන්තයේ සිටිමින් කටයුතු කළ ඔහු කිසිදු පාර්ශවයක සුභ සාධනය කප්පාදු කිරීමට ක්‍රියා කළේ නැහැ."     

Advertiesment