Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


මේ සිස්ටම් එක වෙනස් කළේ භාතිය - සන්තුෂ් - මහින්ද දේශප්‍රිය


2020-07-05 1315

"කලාවෙන් ව්‍යුක්ත වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ" ඔහු පැවසුවේ එසේය. සැබවින්ම කලාවෙන් ඈත්ව කිසිවෙකුට ජීවත් විය නොහැකිය. එය "අපි පිට්ච් එක ලෑස්ති කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මැච් එක ගහන්න" යැයි මාධ්‍ය ඉදිරියට පැමිණ නිරන්තරයෙන් මැතිවරණ නීති රෙගුලාසි කියන ඔහුටද අදාළය. ඔහුගේ ජීවිතයේ වැඩිමනක් කැප කර ඇත්තේ රාජ්‍ය සේවයටය. මැතිවරණයක් යැයි කියූ සැණින් සියල්ලන්ටම සිහිපත් වන්නේ ඔහුය. හෙතෙම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියය. නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ මැතිවරණ ගැන දොඩවන ඔහු සිනමාලෝලියෙක් යැයි ඔබට විශ්වාස කළ හැකිද? ලහි ලහියේ මහමැතිවරණයට සූදානම් වන වකවානුවක ඒ වැඩකටයුතු සියල්ල පසෙකලා ඔහු අපි සමඟ කතාබහ කළේ කලාව ගැනය. කලාව ඔහුගේ ජීවිතයට කළ බලපෑම ගැනය. මේ දිගහැරෙන්නේ ඒ සංලාපයයි.

 

ඉස්කෝලේ යන කාලේ කලා විෂයක් හැදෑරුවාද?

 

මම ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ. කලා විෂයන් කියලා ජාතියක් අපේ කාලේ තිබුණේ නැහැ. හය වසරේ ඉඳන් අට වසරට යනකන් අපිට අනිවාර්යයෙන්ම චිත්‍ර හදාරන්න තිබුණා. හයේ පංතියේදි යන්තම් නැටුම් විෂය හැදෑරුවා.

 

ඉස්කෝලේ කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?

 

ඉස්කෝලේ එක එක ශිෂ්‍ය සංගම් තිබුණනේ. මම ඒවායේ පොඩි පොඩි කලා වැඩ කරලා තියෙනවා. වේදිකා නාට්‍යවල සංවිධාන වැඩවලට එහෙම ගිහින් තියෙනවා. ඒත් අපේ ඉස්කෝලේ නාට්‍ය කරපු අය හිටියා. ජයශ්‍රී චන්ද්‍රජිත් කියන ප්‍රකට නාට්‍යවේදියා අපේ ඉස්කෝලේ. ඒ වගේම වික්‍රම සෙනෙවිරත්න අපේ ඉස්කෝලේ හිටියේ.

 

විශ්වවිද්‍යාලේ යන කාලේ කලා වැඩවලට සම්බන්ධ වුණාද?

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ කලා කවය කියලා එකක් තිබුණා. අපි ඒකේ ක්‍රියාකාරීන් වෙලා හිටියා. කලා නිර්මාණ ගැන විචාර විවේචනවලට සම්බන්ධ වුණා. ඒ කාලේ ඉතින් අපේ රඟපෑවේ දේශපාලනය කියන නාට්ටියේ තමයි. (සිනාසෙමින්)

 

මුලින්ම සිනමාශාලාවක චිත්‍රපටයක් බලපු දවස මතකද?

 

අපේ ගෙදරින් මට අවුරුදු දහතුන වෙනකොට තනියම එහෙ මෙහෙ යන්න කල්ලි ගැහෙන්න කිසිම බාධාවක් තිබුණේ නැහැ. 1968දී මම අටේ පන්තියේදි තනියම හෝල් එකට ගිහින් චිත්‍රපටි බලලා තියෙනවා. ගෙදර අය එක්කත් ගිහින් චිත්‍රපටි බලලා තියෙනවා. ටික ටික තරුණ වෙද්දි යාළුවෝ එක්ක චිත්‍රපටි බලන්න පුරුදු වුණා. 1971දී කලබලත් එක්ක චිත්‍රපටි බලන එක නතර කළා. 1972දී ආයිමත් චිත්‍රපටි බලන්න පටන්ගත්තාට පස්සේ දිගටම එන හැම චිත්‍රපටියක්ම බැලුවා. සමහර දවසට චිත්‍රපටි එක දිගට තුන හතර බලලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ හිටපු කාලෙත් මම චිත්‍රපටි බලන පුරුද්ද නතර කළේ නැහැ. ඒ කාලෙත් එක දිගට චිත්‍රපටි දෙකක් බලපු දවස් තිබුණා. ඊටපස්සේ මම වැඩිදුර ඉගෙන ගන්න ඉන්දියාවට ගියා. ඉන්දියාවේ ඉන්නකොටත් සෙනසුරාදට ගිහින් තනියම චිත්‍රපටි දෙක තුන එක දිගට බැලුවා.

 

එහෙම ගිහින් බලපු චිත්‍රපටි මොනවාද?

 

පවුලේ අය එක්ක ගිහින් බැලුවා රන්මුතුදූව, සන්දේශය, සුදු සඳේ කළු වලා, අදට වැඩිය හෙට හොඳයි වගේ චිත්‍රපටි. සූරචෞරයා, ධීවරයෝ, ගැරවරයෝ වගේ චිත්‍රපටි තනියම ගිහින් බැලුවා. අම්බලන්ගොඩ නගරේ යාළුවොත් එක්ක කල්ලි ගැහුණේ "තුෂාරා" වගේ චිත්‍රපටි ආපු කාලේ. ඒ කාලේ ආපු හැම චිත්‍රපටියක්ම එකක් නෑර බැලුවා. අනුර - අම්බලන්ගොඩ, රීගල් - අම්බලන්ගොඩ, කටුගස්තොට - සීගිරි මේ හැම හෝල් එකකම චිත්‍රපටි බලලා තියෙනවා.

 

ෆිල්ම් බලද්දි ටිකට් එකේ ගාණ මතකද?

 

සත පනස් පහයි ගැලරියෝ බැලුවොත්. ඉඥජධදඤ ජතචඵඵ එකේ රුපියලයි සත දහයයි. ජ්ඪපඵබ ජතචඵඵ එකේ මට මතක විදිහට රුපියලයි සත හැත්ත පහයි. මේ තුනේම මම ෆිල්ම් බලලා තියෙනවා.

 

දෙතුන් සැරේ බලපු චිත්‍රපටි තිබුණාද?

 

අපොයි ඔව්. වැලිකතර, සත්සමුදුර වගේ චිත්‍රපටි දෙතුන් සැරේ බලලා තියෙනවා.

 

ඒ කාලේ කැමතිම නළුවා කවුද?

 

එහෙම එක නළුවෙක්ට කියලා විශේෂ කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ඒ කාලේ අමරසිරි කළංසූරියට පොඩි කැමැත්තක් තිබුණා. කළංට තිබුණා අමුතු දඩබ්බර ගතියක්. මම ඒකට කැමතියි. ඔහු එක්ක මගේ මිත්‍රත්වයක් තිබුණා. ඒ කාලේ කළංව තමයි කොල්ලො අනුකරණය කළේ. ශර්ට් එකේ බොත්තමක් පහළට ගලවලා ඒ කාලේ කට්ටිය හිටියේ කළං වගේ.

 

විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

 

එහෙම කෙනෙක් හිටියේ නැහැ. බුදුඅම්මෝ... නිළියක් බඳීන්න ඕනේ කියලා හිතුණෙම නැහැ ඒ කාලේ. (සිනාසෙමින්) ඒ කාලේ යාළු වෙලා හිටපු කෙල්ලෝ තමයි බඳීන්න හිතාගෙන හිටියේ. අඩුම ගාණේ කැමතිම නිළියක් හිටියෙත් නැහැ. චිත්‍රපටිය බැලුවා. ඒක රසවින්දා. එච්චරයි. රඟපාන අය කරන්නේ වෘත්තියක්. රඟපාන්න එන අය ගැන එහෙම හිතිලා නැහැ.

 

චිත්‍රපටියක් බලන්න ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීම මොකක්ද?

 

අපි ෆිල්ම් බලන්න යන්නේ කොල්ලෝ කල්ලිය එකට. අපි ගිහින් දහයක් පහළොවක් ගැලරියේ වාඩි වෙලා ෆිල්ම් බලන්නේ. ඒ ගැලරියේ ගෑණු ළමයි නැහැ. ඒ නිසා ගෑණු ළමයින්ට ඇහැදාගන්න බැහැ. ඒ වගේම අපි ෆිල්ම් බලපු කාලේ හෝල් එක ඇතුළේ සිගරට් බොන්න පුළුවන්. ඉතිං අපි රංචුව වාඩි වෙන තැන දුම්වලාවක් වගේ. මෙලෝ යකෙක් වාඩි වෙන්නේ නැහැ අපි ළඟින්.

 

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

 

"පරසතුමල්" මම කැමති චිත්‍රපටියක්. දෙතුන් වතාවක්ම බැලුවා. දැන් වුණත් තිබුණා නම් රෙකෝඩින්ග් එක දාලා බලනවා. ධර්මසේන පතිරාජගේ චිත්‍රපටිවලට විශේෂ කැමැත්තක් තිබුණා. බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, සත්සමුදුර මේවා ආසාවෙන් බලපු චිත්‍රපටි. ඒ අතරිනුත් "සත්සමුදුර"ට වැඩි කැමැත්තක් තියෙනවා. ඒ තේමා ගීතය නිසා.

 

ජීවිතයට සමීපතම චිත්‍රපටි ගීතය මොකක්ද?

 

"සත්සමුදුර" තමයි ඉතින්. "සිනිදු සුදුමුදු තලාවේ" කියද්දි මට දැනෙන්නේ මම වෙරළේ වාඩි වෙලා ඉන්නවා වගේ හැඟීමක්. ඒ ගීතයේ තනිකරම මුහුදේ තියෙන ගීතවත් බව, රළු බව, කලාත්මක බව, චණ්ඩ බව මේ හැමදේම තියෙනවා. ගීතය අහනකොට මට දැනෙනවා මම ගෙදර ඉන්නවා කියලා. මොකද අපි වෙරළත් එක්ක හැඳුණු මිනිස්සු. ඒ නිසා ඒ ගීතය මට හරිම කිට්ටුයි.

 

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

 

මම අවුරුදු තිහකින් හෝල් එකක චිත්‍රපටි බලලා නැහැ. 1988දී තමයි අන්තිමටම හෝල් එකේ චිත්‍රපටියක් බැලුවේ මගේ බිරිඳ එක්ක ගිහින්. එයත් චිත්‍රපටිලෝලියෙක්. අපි අන්තිමටම බැලුවේ "මායා". එතකොට මගේ බිරිඳට පුතා හම්බෙන්න ඉන්නවා. අපි දෙන්නා බැඳපු මුල් කාලේ ඉඳන්ම ගිහින් චිත්‍රපටි බැලුවා. පුතා හම්බුණාට පස්සෙ අපි තීරණය කළා චිත්‍රපටි හෝල් එකේ බලන එක තේරුමක් නැහැ කියලා. මොකද ඉන්පස්සේ චිත්‍රපටි ටෙලිවිෂන් එකේ පෙන්නන්න ගත්තා. ඒ වගේම 1988 - 89 කාලේ කලබල ආවා. චිත්‍රපටිශාලා වැහුවා. ඡන්ද කීපයක් එක දිගට ආවා. ඉතින් චිත්‍රපටි බලන එකත් මඟඇරුණා. කොහොමටත් මම ඉන්දියාවේ හිටපු කාලේ හින්දි ෆිල්ම් බලලා බලලා ඒ වෙනකොට හින්දි ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා හිටියේ.

 

හින්දි සිනමාවේ ඔබ ප්‍රිය කරන දේවල් ගැනත් අපි කතා කරමු?

 

මම 1986 - 87 ඉන්දියාවේ හිටියේ. එහෙ ඉන්නකොටත් මම ගිහින් ෆිල්ම් බැලුවා තනියම. ඒ කාලේ මම කැමති ප්‍රාන් සිකන්ඩ්ට. "ඛචදණඥඥප" වගේ චිත්‍රපටියක් බැලුවොත් අමිතාබ් බච්චන් සහ ප්‍රාන් තමයි ඒකේ වීරයා. මම ප්‍රාන්ට තමයි කැමති.

 

ජීවිතයට සමීපතම ගීතයක් තියෙනවද?

 

එකක් කියලා නැහැ. ගොඩක් තියෙනවා. ඒ අතරින් ගලන ගඟකි ජීවිතේ, ආදරයේ උල්පත වූ අම්මා, කුමටද සොබනියේ කඳුළු සලන්නේ, බිම්බරක් සෙනඟ ගැවසුණු වගේ සිංදුවලට මම කැමතියි. හැට පැනලා වයසට ගියාට මම භාතිය - සන්තුෂ්ගේ ගීත පවා අහනවා. මම ඒ දෙන්නට බොහොම කැමති කෙනෙක්. ඔවුන් තමයි මේ ඵරඵබඥථ එක වෙනස් කළේ. මම ඒ දෙන්නව හඳුන්වන්නේ "සදාකාලික තරුණ ගායකයෝ" කියලා.

 

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

 

ගුණදාස කපුගේ තමයි. කපුගේගේ කටහඬ තමයි අපේ හඬ. ඒ තමයි විමුක්තියේ හඬ. කපුගේගේ සින්දු තමයි අපිට ගැලපුණේ. අපේ ජීවිතයත් එක්ක වැඩිපුරම සම්බන්ධ වුණේ කපුගේගේ සින්දු. ඔහු අපේ හිතවතෙක්.

 

කලාව කියන දෙය මහින්ද දේශප්‍රිය කොහොමද දකින්නේ?

 

මිනිසාගේ සතුටට, විවේකයට කලාව අත්‍යවශ්‍යයි. මිනිසා ශ්‍රමය වැය කරලා ආර්ථිකය හදාගෙන විවේකය ලැබුණු වහාම ඉතිරි කාලය කලාව සඳහා යොමු කරනවා. කලාවෙන් ව්‍යුක්තව මිනිසාට ජීවත් වෙන්න නොහැකියි. මානව ශිෂ්ටාචාරේ මුල් කාලේ කලාව බිහිවෙන්න ඇත්තේ චිත්‍ර ඇඳලා, උරුවම් බාලා, අභිනයෙන් රඟපාලා වෙන්න පුළුවන්. පස්සේ එක එක විපර්යාස එක්ක බිහිවෙච්ච කලාවෙන් බැහැර වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ.

 

ලංකාවේ වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස මොකක්ද?

 

දැන් කලාව මුදල් මත දුවන එකක් වෙලා තියෙන්නේ. ජීඩිත ජනයාට ඔවුන්ගේ කලාව සඳහා අවස්ථාවක් නැහැ. කලාව සම්පූර්ණයෙන් තියෙන්නේ සල්ලි තියෙන අයගේ අත උඩ. දක්ෂ කලාකරුවෝ ඉන්නවා. ඔවුන්ට කලාවෙන් යැපෙන්න බැහැ. තවත් රැකියාවක් කරන අතරවාරයේ තමයි ඔවුන්ට කලාව කරන්න වෙලා තියෙන්නේ. බොහෝ දක්ෂ චරිත හැංගිලා ඉන්නවා. තරගකාරී ලෝකයේ තරගයට මූණදෙන්න පුළුවන් කෙනා තමයි ඉස්මතු වෙන්නේ. එහෙමයි කියලා අද තියෙන සංගීත තරගවලට විරුද්ධ කෙනෙක් නෙමෙයි මම. අපිට හැමදාම පැල්කවි කිය කිය ඉන්න බැහැනේ. ඒ නිසා ලෝකේ තනියායක් වුණාම ලෝකේ වෙනස් වෙද්දි අපිත් වෙනස් වෙන්න ඕනේ.

 

කලාකරුවන් දේශපාලනයට එන එක ගැන ඔබේ අදහස මොකක්ද?

 

වෙනත් වෘත්තිකයන්ට දේශපාලනයට එන්න පුළුවන් නම් කලාකරුවන් දේශපාලනය කරන එකේ වරදක් නැහැ. නමුත් ඔවුන් ලබාගන්න ජනප්‍රියත්වය උඩ ඇවිත් දේශපාලන චරිතයක් නොවී කලාවෙන් ලබාගත්ත ජනප්‍රියතාවයෙන් බැබලෙනවා නම් ඒක තේරුමක් නැහැ. ඔවුන් දේශපාලනයට එන්න ඕනේ ව්‍යවස්ථාදායකයට එන්න ඕනේ ඒ අදාළ කාර්ය කරන්න. කලාව දියුණු කරන්න දේශපාලනයට ඇවිත් වැඩක් නැහැ. කලාකරුවෝ දේශපාලනයට ආවොත් වෘත්තිමය දේශපාලකයෝ වෙන්න ඕනේ.

 

චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

 

අපෝ නැහැ. මට කන්න බොන්නවත් වෙලාවක් නැතුව ඉන්නේ. මේ කාලේ ඡන්දේ නිසා අවිවේකියි. විශ්‍රාම ගිය කාලෙක වැඩිම වුණොත් චිත්‍රපටියක් හදන තැනක බලන් ඉන්න පුළුවන්. නිෂ්පාදනය වගේ ලොකු වැඩ කරන්න බැහැ.

 

විශ්‍රාම ගියාට පස්සේ චිත්‍රපටයක රඟපාන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

 

අනේ නැහැ. බැරි වැඩ කරන්න බැහැ.

 

විශ්‍රාම ගියාට පස්සේ පරණ පුරුදු බයිස්කෝප් බැලිල්ල ආයිමත් ජීවිතයට එයිද?

 

ඔව්. මම හිතන් ඉන්නේ ඊටපස්සේ දිගටම චිත්‍රපටි බලන්න තමයි. අවුරුදු තිහක් මඟඇරුණු චිත්‍රපටි කීයක් තියෙනවාද බලන්න? කොහොමත් ජීවිතේ රඟමඩලක්නේ. ඒක දිහා බලාගෙන මම ඉන්නවා.

 

 

-සරසවිය- 

 

 

 

Advertiesment