Saturday 24th of October 2020

English Tamil
Advertiesment


රාජ්‍යය ප්‍රති නිර්මාණය කර ගැනීම


2020-07-05 1707


(වික්ටර් අයිවන්)

 

නූතන ජාතිය ගොඩ නගා ගැනීමේ ප්‍රශ්නය හා නූතන ජාතික රාජ්‍යය ගොඩ නගා ගැනීමේ ප්‍රශ්නය ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය ප්‍රති නිර්මාණය කර ගැනීම සදහා දියත් කරන වැඩ සටහනකදී විසදාගත යුතුව තිබෙන ප්‍රධානතම ප්‍රශ්න දෙක ලෙස සැලකිය හැකිය. එකම ප්‍රශ්නයක ප්‍රධාන පැති දෙකක් ලෙස සැලකිය හැකි එම ප්‍රශ්නය නිදහසේ සිටම විසදා ගැනීමෙන් වැලකී සිටි රට අවුල්ජාලයක් බවට පත් කිරීමට හේතුවූ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.

වර්ගය, ආගම අහෝසි කිරීමේ හැකියාවක් නැත. ඒවා තවත් බොහෝ කලක් පවතිනු ඇත. එහෙත් කුල ක්‍රමය හා ඒ ආශ්‍රයෙන් පවතින උස් පහත් බේදය නුතනයට නොගැලපෙන මිනිසුන් නින්දාවට හා පීඩාවට ලක්කරන යල්පැනගිය දුෂ්ට ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. එය දකුණේ සිංහල තරුණ කැරලි දෙක කෙරෙහි සේම උතුරේ කැරලි ගැසීමටද බලපෑවේය. කුල ක්‍රමය මත පදනම් වූ සේවා බුක්ති ක්‍රමය අහෝසිකල යුතු අතර එම සේවා මුදලට මිලදී ගත යුතු ක්‍රමයක් ඇති කල යුතුය. අනාදිමත් කාලයක් තිස්සේ විහාරවලට දේවාලවලට එම වැඩවසම් සේවාවන් සැපයුවන්ට ප්‍රමාණවත් තරමින් ඉඩම් ලබා දෙන ඉඩම් ප්‍රති සංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුය. කුල බේදයට හා ඒ ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන උස්පහත් බේදයන්ට තිබෙන පිලිගැනීම අහෝසි කරන හා පීඩිත කුලවල ජනයාට සමාන මනුෂ්‍ය ගරුත්වය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රතිසංස්කරණ ඇති කල යුතුය.

නිදහසේ සිට වර්තමානය දක්වාම සුලු වර්ගවලට හා ආගම් වලට මුහුන දෙන්නට සිදුවූ වෙනස්කම් හින්සා පීඩා ගැන කරුණු සොයා බැලිය යුතුය. වර්ගය හෝ ආගම මත පුද්ගලයින් හෝ සමාජ කණ්ඩායම් පීඩාවට පත් කිරීමට ඉඩ නොලැබෙන, ඒ සියලු දෙනාට සමාන මනුෂ්‍ය ගරුත්වය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන වර්ග හා ආගම් අතර සාමකාමි සහජීවනයකට ශක්තිමත් පදනමක් ලබාදෙන ප්‍රතිසංස්කරණ ඇතිකල යුතුය. ඔවුන් කෙරෙහි වැරදි හැගීමක් ඇතිකිරීමට හේතුවන ලෙස ලියවී තිබෙන නිල සාහිත්‍ය පොත්පත්ද නැවත සංස්කරණය කල යුතුය. ලාංකික ජාතියේ සංයුතිය පිලිබද අර්ථකතනයක් ව්‍යවස්ථාවටත් ඇතුලත් කල යුතුය.

 

රාජ්‍යය ප්‍රති නිර්මාණය කිරීම

 

නිදහස ලබා ගැනීමත් සමග බ්‍රිතාන්‍යන් ගෙන් ලැබී තිබුන රාජ්‍යය නිදහසේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස ප්‍රතිසංවිධානය කරගැනීමේ අවශ්‍යතාවක් තිබුනද ඉන්දියාවේ මෙන් ලංකාවේ ඒ දේ සිදුවුයේ නැත. නිදහසින් පසු බලයට පත්වූ ස්වදේශීය නායකයින්ට ප්‍රජාතන්ත්‍රවාදී ‍රාජ්‍යයක් නිසිලෙස පවත්වාගෙන යායුතු ආකාරය ගැන හරි අවබෝධයක් තිබුනේ නැත. ඔවුන් ඡන්දයෙන් තේරී පත්වු පාලකයෝ වුවද රට පාලනය කලේ උරුමයෙන් තේරී පත්වූ වැඩවසම් රජවරුන් සේය. ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරනයකදී ව්‍යවස්ථාවට හා මානව හිමිකම් වලට ලැබිය යුතු අති ව්ශාල වැදගත්කම ගැන ඔවුන්ට නිසි අවබෝධයක් තිබුනේම නැති තරම්‍ ය. ව්‍යවස්ථාව හා අයිතිවාසිකම් උල්ලංඝණය නිරන්තර‍යෙන් සිදුවූ දෙයක් විය. විධායක ජනාධිපති ක්‍රමයකට මාරුවීමෙන් පසු ව්‍යවස්ථාව හා මානව හිමිකම් උල්ලංඝණය කරන ප්‍රතිපත්තියට අතිරේකව පාලක පක්ෂය භාරයේ තිබෙන පොදු දේපල කොල්ල කෑමද රාජ්‍යය පාලනයේ නිත්‍ය ලක්ෂනයක් බවට පත් විය.

එම තත්වය ලිහිල් ආකාරයකට ගොඩ නැගී තිබුන ජාතික ඒකාග්‍රතාව කඩා බිද දැමීමට හේතු වීමෙන් නොනැවතී ආණ්ඩුක්‍රමය අවුල් කොට රාජ්‍යය කොල්ලකාරි රාජ්‍යයක් බවට පත් කිරීමට හේතුවිය. ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමයක් තුල අධිකරණය වෙත පැවරී තිබෙන යුතුකම් හා වගකීම් හරියාකාරව ඉටු කරන අධිකරණ ක්‍රමයක් තිබුනේ නම් රාජ්‍යයේ කඩා බිද වැටීමේ ක්‍රියාවලිය මේසා විශාල ප්‍රමාණයකට දුර දිග යන තත්වයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. අධිකරණයේ හැසිරීමද යහපත් හෝ පලදායක නොවීය. බොහෝවිට අධිකරණය කලේද පාලක පක්ෂය සමග කල්ලි ගැසී ව්‍යවස්ථාව හා මහජන අයිතිවාසිකම් උල්ලංඝණය කරන ප්‍රතිපත්තියක් අනුගනය කිරීමය. ඒ මගින් ව්‍යවස්ථාව හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රදාන වගකීම පැවරී තිබුන අධිකරණය ඒ සියල්ල උල්ලංඝණය කරන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කලේය.

 
අධිකරණය

ඒ අර්ථයෙන් අධිකරණය රාජ්‍යයේ ප්‍රදාන බල මණ්ඩල තුන අතුරින් රාජ්‍යයේ හා සමාජ ක්‍රමයේ ඇතිවී තිබෙන පරිහානිය කෙරෙහි වැඩියෙන්ම වග කිවයුතු ආයතනය ලෙස සැලකිය හැකිය. සාමාන්‍ය නඩු කටයුතු නීතියට අනූකූලව සාධාරනව හා කාර්යක්ෂමව පවත්වාගෙන යනවාට අතිරේකව ව්‍යවස්ථාව හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින ස්වාධීන අධිකරණයක් ඇතිකර ගැනීම රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගැනීමේ වැඩ සටහනක තිබිය යුතු අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය.

ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ නායකයින් අධිකරණය සලකන ලද්දේ එම නිදහස් අරගලය විසින් මුදාහරින ලද සමාජ විප්ලවය ඉදිරියට ගෙනයන එම විප්ලවයේ ආරක්ෂාව භාර රැකවල් දූතයා ලෙසය. ව්‍යවස්ථාව හා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම බාර දෙන ලද්දේද අධිකරණයටය. ඉන්දියානු අධිකරණය එම අපේක්ෂා හොදින් ඉටුකරන ලද අතර වර්තමානයේ ඉන්දියානු ශ්‍රේෂ්ටාධිකරණය සැලකෙන්නේ ලෝකයේ තිබෙන හොදම ශ්‍රේෂ්ටාධිකරණයන් ගෙන් එකක් ලෙසය. අධිකරණ ක්‍රමයක් සදහා ලංකාවෙ දර්ශනය විය යුත්තේද ඒ සමාන දර්ශනයකි.

අධිකරණයේ පරිහානිය කෙරෙහි බලපෑ හේතු සොයා බලන තැනකට යායුතු අතර මහජන මතයට, බලහත්කාරයට හෝ දේශපාලන බලපෑමට යට නොවී නීතියට හා සාධාරණත්වයට අනුකූලව කාර්යක්ෂමව ක්‍රියා කරන අධිකරණ ක්‍රමයක් ඇති කරගත යුතුය. අධිකරණයට අධිකරණ විමර්ශන බලය තිබිය යුතුය.

 

ව්‍යවස්ථාදායකය හා විධායකය

 

සම්බාව්‍ය ලිබරල් මතය අනුව ව්‍යවස්ථාදායකය,විධායකය හා අධිකරණය යන රාජ්‍යය යේ ප්‍රදාන බලමණ්ඩල තුන තිබිය යුත්තේ එක බල මණ්ඩල දෙකම හෝ එකක් ග්‍රහනයට ගත නොහැකි ආකාරයටය. එහෙත් අපේ රටේ පවතින තත්වය ඊට වෙනස් ය. පාලක පක්ෂය බලවත් වූ හැම අවස්ථාවකම අනෙක් බල මණ්ඩල දෙකද පාලක පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියා කරන තත්වයක් පෙන්නුම් කළේය. එවැනි තත්වයන් නැවත ඇති වීමට ඉඩක් නැති විධිවිධාන ඇති කල යුතුය. බලමණ්ඩල තුනේ වෙනස් කාර්යභාරයන් හා ඒවා වෙන් වෙන් වශයෙන් නොකල යුතු වැරදි ගැන අර්ථකතනයක් ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතුය. ව්‍යවස්ථාව උල්ලංඝණයන් සදහා දිය යුතු දඩුවම් ගැන අර්ථකතනයක් ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතුය. එවැනි වැරදි කරන අයට එරෙහිව විශ්වාසභංග යෝජනා හෝ දෝෂාබියෝග ඉදිරි පත්කිරීමේ බලය මහ ජනයාටද ලබා දෙන විධිවිධාන ඇති කලයුතුය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සකස් කරන්නේම මහජන නියෝජිතයින්ට හා රාජ්‍යය නිලධාරින්ට පොදු දේපල කොල්ල කෑමට හෝ ඒවායින් අයුතු ප්‍රයෝජන ලැබීමට ඉඩක් නොලැබෙන ආකාරයටය. මහජන නියෝජිතයින් ලෙස සැලකෙන ජනාධිපතිවරුන්ට, කැබිනට් ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට හෝ රාජ්‍යය නිලධාරින්ට ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුල රජය සමග ව්‍යාපාර කිරීමට ඉඩ දෙන්නේ නැත. එවැනි වැරදි සැලකෙනුයේ දරන තනතුරු අහිමි කිරීමද ඇතුලු වෙනත් දඩුවම් වලටද යටත් බරපතල වැරදි ලෙසය.

එම සම්ප්‍රදාය 1978 දක්වා ලංකාවේද හොදින් ක්‍රියාත්මක විය. විධායක ජනාදිපති ක්‍රමයක් ඇතිකර ගැනීමෙන් පසු තමන් බාරයේ තිබෙන පොදු දේපල ජනාදිපතිවරුන්ද, මැතිඇමතිවරුන්ද, මන්ත්‍රීවරුන්ද, ආණ්ඩුව සමග කල්ලි ගැසී ක්‍රියා කරන රාජ්‍යය නිලධාරින්ද එකට එකතු වී කොල්ල කන ක්‍රමයක් ස්ථාපිත විය.

 

පොදු දේපල කොල්ලය

 

රජයේ වටිනා වතු ඉඩම් නාමික මිලකට හිමිකර ගැනීමට ඉඩදීම, රජයේ බලපත්‍ර ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර සදහා නාමික මිලට බලපත්‍ර ලබාදීම, රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකරන්නට ඉඩ දීම, රජයේ ව්‍යාපාර මිලදී ගන්නට ඉඩදීම එම වස්තු කොල්ලය සදහා යොදා ගැනුනු මාර්ග විය. එම කොල්ලකාරි ක්‍රමය රජයේ ආයතන ක්‍රමය දූෂණයෙන් කුණු කිරීමට හේතුවීමෙන් නොනැවතී රජය බංකොලොත් කිරීමට හේතුවන වැදගත් සාධකයක් ලෙසද ක්‍රියා කලේය.

මෙම දේපල කොල්ලයට අදාලව සිදුවූ ක්‍රියා මුලුමනින් නීතියට පටහැනි විය. එහෙත් රටේ ජනාධිපතිවරුන් ඔවුන්ට ලැබී තිබුන මුක්තියේ රැකවරණය යොදා ගනිමින් තමන්ට රැකවරණය ලබා ගත්තා සේම එසේ කරන ගජ මිතුරන්ටද රැකවරණය ලබා දුන්නේය. ඒ මගින් එවැනි වැරදි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්වයක් ඇති කළේය.

රාජ්‍යය පාලනය වෙලාගෙන තිබෙන මෙම බිහිසුනු පිලිකාව ඉවත් කිරීම රාජ්‍යයේ සැබෑ ප්‍රතිනිර්මාණයක් සදහා නැතිවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. රාජ්‍යය නායකයාට තමන් බාරයේ තිබෙන පොදු දේපල පරිත්‍යාග කිරීමට, බදු දීමට, විකිණීමට හා පවරාදීමට ලැබී තිබෙන අභිමත බලය දැඩි පරීක්ෂාවට ලක්කරන හා එය නීතියට අනුකූලව සිදුවන ක්‍රියාදාමයක් බවට පත්කරන විධිවිධාන හා සංවිදාන ක්‍රම ඇති කල යුතුය. මහජන නියෝජිතයින්, රජයේ නිලධාරින් හා ඔවුන් වෙනුවෙන් වෙනත් අයවලුන් රජයේ ව්‍යාපාර කිරීම,පොදු දේපල අත්පත් කරගැනීම හෝ ඒවා අයුතු පරිහරණය ඔවුන් දරණ තනතුරු අහිමි කරන, ඔවුන්ගේ දේපල රාජසන්තක කිරීමට හේතුවන හා සිර දඩුවම් පැමිණවීමට හේතුවන බරපතල වැරදි බවට පත්කල යුතුය. මෙතෙක් එම විෂයෙහි සිදුවී තිබෙන වැරදි ගැන සොයා බලන තැනකට යායුතුය. ඒ ගැන තොරතුරු මහජනයාට දැන ගන්නට සැලැස් විය යුතුය.(ඉතිරි කොටස ලබන සතියට)

 

 

Advertiesment