Saturday 19th of September 2020

English Tamil
Advertiesment


අහිංසක මිනිසකුගෙ වේදනා ස්වරය - රම්සි රාසික්


2020-06-27 1348

(රසික ගුණවර්ධන)


ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය චින්තන යුද්ධයකට ideological war මුහුණ පා ඇත. රට තුළ ක්‍රියාත්මක වන ජාතිවාදී කල්ලි ඉතාමත් සූක්ෂ්ම ආකාරයට දියත් කරනු ලබන මෙම චින්තන යුද්ධයට මුහුණ දීමට නොහැකි ආකාරයට මුස්ලිම්වරු හතරවටින්ම වටකරනු ලැබ ඇත.

දියත්වන ප්‍රබල බුද්ධි ප්‍රහාරයට එරෙහිව කිසිත් කළ නොහැකිව මුස්ලිම් සමාජය ඒ දෙස තුෂ්නිම්භූතව බලා සිටී.
ජාතිවාදී සතුරන් සාර්ථකව ඔවුන්ගේ අරමුණ කරා ළඟා වෙමින් සිටී. මේ ප්‍රබල බුද්ධි ප්‍රහාරය හමුවේ මුස්ලිම්වරු පරාජය වෙමින් සිටී.

මුස්ලිම්වරු වහාම චින්තන ජිහාදයකට (මතවාදී අරගලය) සූදානම් විය යුතුය. එය මුලු මහත් ශ්‍රී ලාංකික පොදු සමාජය වෙනුවෙන් ඔවුන්ගේ කරමත පටවා තිබෙන ආගමික වගකීමකි. රට සහ එහි සියලු පුරවැසියන් වෙනුවෙන් පෑන සහ කී-බෝඩය අවියක් කරගනිමින් චින්තන ජිහාදයක (මතවාදී අරගලය) ට සූදානම් වීමට කාලයයි මේ. රටේ තවත් ජනකොටසක් වන මුස්ලිම්වරුන්ට එරෙහිව ගෙනයන වෛරී ප්‍රචාරණයට මුහුණ දීමට ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු පවතින සෑම අවකාශයක්ම යොදාගනිමින් මතවාදී අරගලයක් මගින් ජනතාවට සත්‍ය වටහාදීම පිළිබඳව මේ අවස්ථාවේ මුස්ලිම්වරු වඩාත් අවදානය යොමුකළ යුතුය.

ඉහත සටහන උපුටා ගන්නා ලද්දකි. ඒ රම්සි රාසික්ගේ ෆේස් බුක් ගිණුමෙනි. රම්සි රාසික් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු අත් අඩංගුවට පත් වන්නේ මේ සටහන හේතුවෙනි. එහි ඔහු සඳහන් කරන “චින්තන ජිහාද්” යන වචනය හේතුවෙනි.
එම සටහන පළකිරීමෙන් අනතුරුව ඔහුට එල්ල වන තර්ජනත් සමඟ ඔහු නැවත ෆේස් බුක් වෙත තවත් සටහනක් යොදයි. මේ එම සටහනයි.

චින්තන අරගලය ideological war සම්බන්ධයෙන් මම පලකළ පෝස්ටුවත් සමගම අපගේ පජාතිකවාදීන් සහ රට විරුවන් බොහෝ සේ කලබලයටත් කෝපයටත් පත්වී ඇති බව පෙනේ. ඔවුන්ගෙන් දිගින් දිගටම මට මරණ තර්ජන එල්ලවෙමින් තිබේ. කාලාන්තරයක් තිස්සේ දියත් වෙමින් පවතින සැලසුම් සහගත මුස්ලිම් විරෝධී ප්‍රචාරණයට එරෙහිව ප්‍රචණ්ඩත්වයෙන් තොරව පෑන සහ කීබෝඩය හසුරුවමින් මතවාදී අරගලයක නිරතවිය යුතු බවට මා දැක්වූ අදහස් සමහරුන්ට අනුව අන්ත ජාතිවාදී ප්‍රකාශයක් වී ඇත.

සමහරු කෙලින්ම මට මරණ වරෙන්තු නිකුත් කරන අතරේ තවත් සමහරු මගේ පෝස්ටුව ජාතිවාදී පෝස්ටුවක් ලෙස අර්ථ දක්වමින් මාව අත්අඩංගුවට ගත යුතු බවට අදහස් දක්වති. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ මගේ කට වැසීමය. මෙවැනි තර්ජන ගර්ජන මුහුණු පොත තුළ මට හොඳින් හුරු පුරුදු ඒවා වන නමුත් මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පවතින පරිසරයක් තුල අපට තවදුරටත් කතාකිරීමට කිසිවක් ඉතිරිව නැති බව මගේ හැඟීමයි. අප පැතූ නිදහස් නිවහල් රටක සේයාවක් හෝ දකින්නට නැත.

දැන් තීරණයකට එලඹිය යුතු කාලය පැමිණ තිබේ.

මගේ පෝස්ටුවට ලැබුණු ප්‍රතිචාර සහ නානඳුනන පුද්ගලයන්ගෙන් ලැබුණු ඉන්බොක්ස් මැසේජ් දුටු මගේ වැඩිමහල් දුව කම්පනයටත් බියටත් පත් වී සිටියි.

ඇයට දුන් පොරොන්දුවක් සහ මට ආදරය කරන තව බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත තවදුරටත් දේශපාලන හෝ ජාතික ගැටලු සම්බන්ධ කිසිදු පෝස්ටුවක් සිංහල භාෂාවෙන් පල නොකිරීමට තීරණය කළෙමි.

පියෙක් ලෙස මගේ දරුපවුලේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වීමට මම බැඳී සිටිමි. දැනුවත්ව මගේ දූ දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළීමට මට කිසිදු උවමනාවක් නැත.

(මට ජාතිවාදියා කියන අයට මීට පෙර අභියෝගයක් එල්ල කළෙමි. ඒ පසුගිය අවුරුදු 10 තුළ මුහුණු පොතේ මගේ පෝස්ටුවක මා ජාතිවාදී වෛරී ප්‍රකාශයක් සිදුකළ එක් අවස්ථාවක් හෝ පෙන්වන ලෙසය. එම අභියෝගය තවදුරටත් වලංගු වන බව මතක් කරමින් මා නිහඬ වෙමි)

මේ සටහන් දෙකෙන් පසුව රම්සි පසුගිය අප්‍රේල් මස නව වනදා දහවල් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන, ඔහුට අයි. සී. සී. පී. ආර්. පනත (2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය) යටතේ නඩු පවරනු ලබයි. මෙම පනත යටතේ නඩු පැවරූ විට ඇප ලබා ගත හැකි වන්නේ මහාධිකරණයකිනි. ඊට පහළ අධිකරණයකින් මේ සඳහා ඇප ලබාගත නොහැකිය.

රම්සිගේ සටහන අවධානයෙන් කියවා බැලුවහොත් එයින් ඉතාම හොඳින් පැහැදිලි වන්නේ ඔහු “ජිහාද්” යන වචනය භාවිතා කර ඇත්තේ අන්තවාදයට විරුද්ධව යන්නය. ජිහාද් යන වචනයේ සරල තේරුම යුද්ධය වුවත්, රම්සි කියන්නේ මුස්ලිම් සමාජය පිළිබඳව සමාජයේ ඇති දුර්මත ඉවතලෑමට මතවාදී කාර්යක නියැලිය යුතු බවයි. මෙය එක්තරා ආකාරයක සංඝායනාවක ස්වරූපයකි.

සහරාන්ලාගේ අන්තවාදි ඉගැන්වීම්, හැසිරීම්, ගැටුම් නොදැකපු පොලීසිය. බොදු බල සේනාවේ ජාතිවාදී, හැසිරීම්, ඉගැන්වීම්, ප්‍රකාශ නොදුටු පොලීසිය. ඒවාට එරෙහිව කටයුතු කරන පුද්ගලයකුගේ වචනයක එල්ලීම කෙතරම් විහිලු සහගතද? අපට ඇසීමට ඇත්තේ, පොලීසියේ ඉන්නේ බබාලද? යනුවෙනි.

කෙසේ වෙතත් අප කටුගස්තොටට ගියේ රම්සිගේ නිවෙස සොයාගෙනය. ඒ රම්සි ගැනත්, අදාළ සිදුවීම පිළිබඳවත් කතා කරන්නටය.

 

ෂර්මිලා, රම්සිගේ බිරිඳ. ඇය මේ වන විට සිටින්නේ දැඩි මානසික පීඩනයක බැව් බැලූ බැල්මටම කිව හැකිය. තමන්ගේ මවත්, අපත් දෙස බලා සිටිනා කුඩා ගැහැණු දරුවාටද පිරිමි දරුවාටද ඒ පීඩනය ඒ ලෙසින්ම දැනෙනා බව සහතිකය.
“එදා කට්ටියක් ඇවිල්ල රම්සිගෙන් කට උත්තරයක් ගන්න තියනව එයාට එන්න කියල කීව. මම ඇහුව ඔයාල කවුද කියල, ඒත් එයාල මුකුත් කීවෙ නෑ. එතන හැමෝම හිටියෙ සිවිල් ඇඳුමෙන්. එතකොට රම්සි බාත් රූම් එකේ ඉඳල එළියට ආව. එතකොටම එයාගෙ ෆෝන් එක එයාල ගත්ත. එයාලගෙන් එක්කෙනෙක් කීව, “ඔයා කරන දේ නම් හරි, වැරදි දේවල් කියන එක හොඳයි” කියල. අනිත් එක්කෙනා ප්‍රින්ට් අවුට් ගත්ත කොළ වගයක් අතේ තියාගෙන සැරෙන් කතා කරා. “ඔයා ජිහාත් කියල දාල තියනවනෙ” අරක මේක කියල. ඊට පස්සෙ රම්සි ඒක ගැන පැහැදිලි කළත් එයාල කීව මේකෙ ජිහාත් කියල දාල තියනවනෙ කියල. එතකොට කට උත්තරයක් ගන්න ඕනෙ කියපු අය කීව, දැන් අපි මෙයාව අත් අඩංගුවට ගන්නව කියල. අපි දන්නෙ නෑ මේ අය කොළඹින් ආපු අය කියල. මෙයා අයි. ජී. පී. ටත් පැමිණිල්ලක් දාපු නිසා කටුගස්තොටින් ඇවිල්ල කියලයි අපි හිතුවෙ.” ෂර්මිලා පවසන ආකාරයට කට උත්තරයක් ලබා ගැනීමට නිවසට පැමිණි පිරිස රම්සි අත් අඩංගුවට ගැනීමට තීරණය කළ ද ඔවුන් තමන් පිළිබඳව හඳුන්වා දීමක් සිදු කර නැත.


“මම ඇත්තටම මෙයා ෆේස්බුක් එකේ ලියන දේවල් ගැන දන්නෙ නෑ. හැබැයි එයා අපට කියල තිබ්බ එයාට විවිධ තර්ජන තියනව, කවුරුහරි මට මොනවහරි කරයි, මාව අරගෙන යයි කියල. හැබැයි අපි හිතුවෙ එයා ඒව විහිලුවට කියනව කියල. හැබැයි එයා එදා උදේ බයෙන් වාගෙ හිටියෙ. පස්සෙ එයා කීව මම ඇන්ටි්‍ර එක දාල තියෙන්නෙ දැන් බය වෙන්න දෙයක් නෑ කියල.” ෂර්මිලා පවසයි.

 

“මෙයා දාපු පෝස්ට් එකෙන් පස්සෙ මෙයාට ගොඩක් තර්ජන ආපු නිසා මෙයා කටුගස්තොට පොලීසියට ගිහිල්ල තියනව පැමිණිල්ලක් කරන්න. හැබැයි ස්ථානාධිපතිතුමා හිටියෙ නෑ කියල මෙයාගෙ පැමිණිල්ල බාර අරගෙන නෑ. ඒක නිසා මෙයා අයි. ජී. පී. ට පැමිණිල්ලක් ඊමේල් කරා.” රිකාස්, රම්සීගේ සොහොයුරා පවසයි. රම්සිට මේ තර්ජන සියල්ලක්ම පාහේ පැමිණ ඇත්තේ ඔහු ෆේස් බුක් හි ලියනු ලබන සටහන් හේතුවෙනි. ඔහුගේ එම සටහන් කියවන විට පෙනෙන්නේ ඔහු අන්තවාදී අදහස් පතුරන්නෙකු නොව, රැඩිකල් අන්තවාදයට එරෙහිව අදහස් පළකරන්නෙකු ලෙසය. ඒ අනුව ඔහුට අන්‍යාආගමික අන්තගාමී බලපෑම් පමණක් නොව මුස්ලිම් අන්තගාමීන්ගේද තර්ජන පැවති බව අනුමාන කළ හැකිය.


“එයා අවුරුදු දාසයේ ඉඳල ලෙඩෙක්. එයාට දැන් ලෙඩ ටිකක් වැඩි වෙලා බෙහෙත් කර කර හිටියෙ. බෙහෙත් වලට යන වියදම වැඩි නිසා එයා බෙහෙත් අඩු කරගෙන තමයි බීවෙත්. එයාගෙ කකුල් වල තුවාල තියනව. එයා ඒවට බෙහෙත් දාගන්න ඩොක්ටර් කෙනෙක් ළඟටවත් යන්නෙ නෑ. එයාමයි බෙහෙත් දාගන්නෙ, මොකද නැත්තන් එයාට අමාරුයි. ඉස්සර මමත් බෙහෙත් දැම්ම, පස්සෙ මට ඒ තුවාල බලද්දි මටත් කලන්තෙ එනව. තුවාල එච්චරකට ලොකුයි. සුදුපාටට ඇතුලෙ ඔක්කොම පේනව. එයාට ගන්න ගෝස් පවා ස්ටීම් කරල ගන්නෙ. නැත්නම් තුවාට වලට විෂබීජ ගිහිල්ල තුවාල පැසවනව.” රම්සිට නිතර දෙවේලෙ බෙහෙත් කළ යුතු නිසා පවුලේ උදවියට ඒ පිළිබඳවත් කනස්සලු වීමට සිදුව ඇත.


එයාට කීවෙ බෙහෙත් ටික එක දවසකට විතරක් ගන්න, වැඩිය ගන්න එපා, හෙට අනිවාර්යෙන්ම එන්න පුලුවන් කියල. නැත්තන් අපට එයාට බෙහෙත් ටික ලෑස්ති කරල දෙන්න තිබුණ. එයාට බෙහෙත් නැතුව දවසක්වත් ඉන්න බෑ. එයාට ආතරයිටිස් තියනව. කකුල් දෙකේ නිතරම එන, සුව නොවෙන තුවාල තියනව. ඒ වගේම එයා ගොඩක් කල් බෙහෙත් ගන්න නිසා, වකුගඩු, හාට් එක, ආමාශය ගොඩක් හානි වෙලා තියෙන්නෙ. එයා දැන් බෙහෙත් ගන්නවද නැද්ද කියලවත් අපට දැනගන්න විදිහක් නෑ.” රිකාස් පවසයි. ඔහු සිය සොහොයුරාට ඖෂධ ලබා දීම පිළිබඳව සොයා බැලීමට විවිධ උත්සාහ ගෙන ඇතත් එය අසාර්ථක වී ඇත. අද පවතින කෝවිඞ් වසංගත තත්වය හේතුවෙන් රැඳවියන් නැරඹීමේ අවස්ථාවද තාවකාලිකව නවතා ඇති නිසා ඔවුන්ට ඔහු සමඟ කතා කිරීමට හෝ හැකියාවක් නැත.


“දෙපාරක් හරි තුන්පාරක් හරි එයා ටෙලිෆෝන් එකෙන් කතා කරා, උපරිම තත්පර තිහක් ඇති. විනාඩියක්වත් නෑ. කිසිම දෙයක් කියාගන්න වෙලාවක් නෑ. එයා “මොකද වෙන්නෙ” කියල අහද්දිම වෙලාව ඉවරයි. එයා අන්තිමට කෝල් එකක් අරගෙන මාසෙකට වැඩියි. දුවයි පුතයි දෙන්න තාත්තට ගොඩක් සමීපයි. ඒ දෙන්න නින්දෙන් ඇහැරල කෑ ගහල අඬනව.”
“මෙයා කලින් රාජ්‍ය සේවකයෙක්. සෞඛ්‍ය ප්‍රශ්න නිසා මෙයා අවුරුදු හතලිස් අටෙන් ඒකෙන් ඉවත් උනා. ඊට පස්සෙ එයා සකාත් හවුස් (ධනවත් මිනිසුන්ගේ ධනය දුප්පතුන්ට බෙදා දීම සඳහා ධනය එක් රැස් කරන ස්ථාන) එකක ටෙම්පරි වැඩ කරගෙන හිටිය. මෙයා අත්වාරු වලින් යන්නෙ. මෙයා වැඩ කරන තැනට උනත් හැමදාම යන්නෙ නැහැ. අමාරු උනොත් කෝල් එකක් දීල එන්නෙ නෑ කියනව. දවසක් ඇවිදල ආවොත් අමාරුවට දවස් දෙකක් නිදාගන්නව. හැබැයි එයාට සමාජසේවය කරන්න තියන උවමනාවට අමාරුවෙන් උනත් යනව.” රියාස් පවසයි.


“හයිකෝට් නඩුව තිබුණ මැයි විසි අට. එදා ඇප දෙයි කියල නීතිඥවරුත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන දෙන්නෙකුට එන්න කීව අත්සන් කරන්න බලාගෙන. ඒ උනාට එදා නීතිපති දෙපාර්තුමේන්තුවෙන් ආවෙ නෑ. ඒක නිසා නඩුව මාස එක හමාරකටත් වැඩිය පස්සට ගියා.” රම්සිගේ සොහොයුරා, රියාස් රසීක් පවසයි. නීතිපති දෙපාර්තුමේන්තුව නොපැමිණීම නිසා රම්සිට තවත් මාස එකහමාරක් සිරගත වීමට සිදුව ඇත. එය කෙතරම් දුරට සාධාරණ කාරණයක්ද? ඇවිද ගැනීමට නොහැකි තරම් තුවාල ඇති, ඉන් බොහෝ කාලයක සිට පීඩා විඳින රෝගියකු වරදකරුවකු හෝ නොවී සැකකරුවෙකු වූ පමණින් මෙසේ සිරකර තබා ගැනීමත්, නීතිපති දෙපාර්තමේන්තුව නඩු දිනයේ නොපැමිණි නිසා ඔහුට තවත් මාස එකහමාරක් සිර වී සිටීමට සිදුවීමත් සිවිල් පුරවැසියන් විග්‍රහ කරගත යුත්තේ කෙසේද?

-රාවය-
Advertiesment