Thursday 1st of October 2020

English Tamil
Advertiesment


විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය


2020-06-14 1762

(වික්ටර් අයිවන් )

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් උසුලාගෙන සිටින ප්‍රධාන කුලුනු තුන ලෙස සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක පරමාධිපත්‍යය බලය තිබෙන්නේ එම රාජ්‍යයේ පුරවැසියන් ටය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මහජනයාගේ පරමාධිපත්‍ය බලය ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය මගින් ක්‍රියාත්මක වන ආකාරය හා එම ආණ්ඩු ක්‍රමය සකස්වී තිබෙන හා ක්‍රියාත්මක වන ආකාරය විස්තර කෙරෙන ලිඛිත ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැලකේ. එය රටේ මූලික නීතිය වන අතර අන් සියලු නීති ක්‍රියාත්මක විය යුත්තේ ඊට යටත්ව හා අනුකූලවය.

ව්‍යවස්ථාදායකය නීති හා ප්‍රතිපත්ති සකසන ආයතනය ලෙස ක්‍රියා කරන විට විධායකය එම නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතනය ලෙස ක්‍රියා කරයි.මෙම ආයතන දෙකම හෝ ඉන් එකක් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථා වලදී ව්‍යවස්ථාව ආරක්ෂා කොට පෝෂණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අධිකරණයටය.

ලංකාවේ කුලුනු තුනේ තත්ත්වය

එහෙත් ලංකා රාජ්‍යයේ ඇති එම කුලුනු තුනේ නිමාව උසස් තත්වයක නොතිබෙනවා සේම. කුලුනු තුනේ ක්‍රියාකාරිත්වයද විධිමත් හෝ ප්‍රශස්ත තත්ත්වයක නොපවතී. එම ආයතන ක්‍රම තුන අතර තිබිය යුතු තුලනය විධිමත් තත්වයක නොපවතී. මෙම ආයතන තුනම ඒවා වෙත පැවරී තිබෙන යුතුකම හා වගකීම් ඉටුකිරීමට අසමත්ව තිබෙන අතර එම අසමත්භාවය දීර්ඝ කාලින වශයෙන් පවතින නිරන්තරයෙන් වර්ධනය වන දෙයක් බවට පත්වීම තුළ මේ කුලුනු තුනම තිබෙන්නේ හොදටම ජරාජීර්ණ වී ගරා හැලෙන තත්ත්වයකය. නැතහොත් කඩා බිඳ වැටීමකට ආසන්න තත්ත්වයකය.

නිදහසේ සිටම රටට තිබුනේ ව්‍යවස්ථාවට ගරු නොකරන පාලක පක්ෂවල පටු වාසි සලකා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායකයකි. විධායකයේ තත්ත්වයද ඊට වෙනස් නොවූ අතර විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරගැනීමෙන් පසු විධායකයද පටු අරමුණු සදහා ව්‍යවස්ථාදායකයේද සහාය ලබා ගනිමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය. ව්‍යස්ථාදායකය හෝ විධායකය ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදී ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන අධිකරණයද තමන් වෙත පැවරී තිබෙන එම වගකීම ඉටු කිරීමට අසමත් විය.

ව්‍යවස්ථාදායකය හෝ විධායකය තනි තනිව හෝ එකට එකතුවී ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන අධිකරණයක් රටට තිබුණේ නම් ලංකාවේ චිත්‍රය මේ තරම් අවලස්සන නොවන්නට ඉඩ තිබුණි. ලංකාව ජාතිය ගොඩනගා ගැනීමට අසමත්ව තිබුනද අධිකරණය ව්‍යවස්ථාවේ දර්ශනය මත පදනම් වී සුලු ජාතින් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන පිලිවෙතක පිහිටා ක්‍රියා කළේ නම් ජාතිය කැබලි නොවන්නට ඉඩ තිබුනා සේම ඒ සදහා දෙනු ලබන නඩු තීන්දු ජාතියේ සැකිල්ල තනන අත්තිවාරම වන්නට ඉඩ තිබුණි.

17 වැනි හා 19 වැනි සංශෝධනවලින් අපේක්ෂා කළ වැදගත්ම දෙයක් ලෙස සැලකිය හැක්කේ දේශපාලන අධිකාරියෙන් එල්ලවන ඇඟිලි ගැසීම්වලින් ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතන නිදහස් කරගැනීමය. එහෙත් ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කළ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය අධිකරණය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, පොලීසිය හෝ මහබැංකුවේ ක්‍රියාකාරිත්වය යහපත් කිරීමට හේතුවී නැත. අපට ඇත්තේ ආණ්ඩු බලය වෙනස් වූ පමණින් වෙනස් වන කොමිෂන් සභා ක්‍රමයකි. ආයතන ක්‍රමයේ ඇති වී තිබෙන ගරා හැලීම හා කුණුවීම සරල ප්‍රතිසංස්කරණ වලින් ජය ගත නොහැකි තැනක තිබෙන බව ඉන් හොඳින් පෙන්නුම් කරයි.

අධිකරණය

බ්‍ර්තාන්‍ය පාලන කාලයේදී දියුණු අධිකරණ ක්‍රමයක් රටේ තිබුණි. ඒ කාලයේ රටේ සිටි බලවත්ම තනතුරුලාභියා ලෙස සැලකිය හැකි ආණ්ඩුකාරයාට එරෙහිව පවා තීන්දු දීමට එම අධිකරණය මැලි නොවීය.

ඉන්දියාව නිදහසත් සමග බ්‍ර්තාන්‍යන්ගෙන් ලැබුණ අධිකරණ ක්‍රමය වෙනුවට ඉන්දියාවට ගැලපෙන අලුත් අධිකරණ ක්‍රමයක් ඇති කර ගත්තේය. එය දේශපාලන ඇඟිලි ගැසීම් වලට ඉඩක්නැති, ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් හා මහජන අයිතිවාසිකම් ගැන මනා අවබෝධයකින් ක්‍රියා කරන ස්වාධීන අධිකරණයකි. වර්තමානයේදී ඉන්දියානු උසස් අධිකරණය සැලකෙන්නේ ලෝකයේ උසස් අධිකරණ අතර තිබෙන හොදම අධිකරණයක් ලෙසය.

ලංකාව නිදහසෙන් පසු නිදහසේ අවශ්‍යතාවන්ට ගැලපෙන නව අධිකරණ ක්‍රමයක් ඇතිකරගන්නා තැනකට නොගියා පමණක් නොව පරණ අධිකරණ ක්‍රමයේ පැවති උසස් ප්‍රමිති තත්ත්වය ආරක්ෂා කරගැනීමටද උනන්දුවක් නොදැක්වුයේය. පරණ අධිකරණ සේවයේ කොඳු නාරටිය ලෙස ක්‍රියා කළේ යුරෝපීය හා බර්ගර් විනිසුරුවරුන් ය. නිදහසත් සමග මේ දෙපිරිසම ලංකාව අතහැර යන්නට වූ අතර එම පුරප්පාඩු පිරවුණේ දියුණු පරිචයක් නොතිබුණු ස්වදේශිකයින්ගෙනි. ඔවුන්ට නීතිය ගැන අවබෝධයක් තිබුණද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ අධිකරණයේ කාර්යභාරය ගැන මනා අවබෝධයක් නොතිබුණි.

නිදහසෙන් පසු අධිකරණය විටින් විට බලයට පත් වන පාලක පක්ෂ සමග කල්ලි ගැසී ක්‍රියාකරන තත්වයකට පත් වීම, ඒ නිසා ඇති වූ අනිසි ඵලයක් ලෙස සැලකිය හැකිය. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් අධිකරණයට කරන පත්කිරීම් කැබිනට් මණ්ඩලය යටතට ගන්නා ලද අතර අධිකරණයට තිබූ අධිකරණ සමාලෝචන බලයද අහිමි කරන ලදී. අධිකරණ සමාලෝචන බලය ලෙස සැලකෙන්නේ ඕනෑම නීතියක් හෝ නව නීති සම්පාදනයක් ව්‍යවස්ථාවට පටහැනිනම් එම නීතිය හෝ නීතිසම්පාදනය අවලංගු කිරීමට අධිකරණයට තිබෙන බලයයි.

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුලත්ව තිබුනද අධිකරණයට නාමමාත්‍රික වශයෙන් මිස පූර්ණ අධිකරණ සමාලෝචන බලයක් ලබා දී නොතිබුණි. ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමෙන් පසු අධිකරණයට කරන දේශපාලන ඇගිලි ගැසීම් වලද වර්ධනයක් ඇති විය. අගවිනිසුරු නෙවිල් සමරකෝන් ගේ පාලන කාලයේදී ආණ්ඩුවෙන් එල්ලවන තර්ජන ගර්ජන තිබියදීත් අධිකරණය කිසියම් විශාල ප්‍රමාණයකට ස්වාධීනව ක්‍රියා කළේය. එම ප්‍රබෝධය වසර 20 ක් තරම් කාලයක් පැවතුන අතර ඉන් පසුව පැමිණි අගවිනිසුරු සරත් එන් ද සිල්වාගේ පාලන කාලයේදී අධිකරණයේ ඇතිව තිබූ එම යහපත් නැඹුරුව තලා පොඩිපට්ටම් කොට විනාශකර දැමීය.

බලයේ සිටින පාලක පක්ෂයක් පටු දේශපාලන වාසි සලකා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදී ව්‍යවස්ථාව ආරක්ෂා කරන පිලිවෙතක පිහිටා ක්‍රියා නොකිරීම ලංකාවේ අධිකරණයට ආවේනික ප්‍රධානතම දුර්වල ලක්ෂණය ලෙස සැලකි හැකිය. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ඉඩදී තිබෙන අවස්ථා ගණන විශාල වන අතර ව්‍යවස්ථා උල්ලංඝනවලදී ව්‍යවස්ථාව ආරක්ෂා කරන පිලිවෙතක පිහිටා ක්‍රියා කර ඇත්තේ අවස්ථා දෙකකදී පමණය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී ව්‍යවස්ථාවේ මූලධර්ම වලට පටහැනිව මන්ත්‍රීකම් අහිමි වීමකින් තොරව ආණ්ඩු පක්ෂයට එකතුවන ක්‍රමයක්ද අධිකරණය හදා දුන්නේය. ඒ නිසා මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන ක්‍රමය ස්ථාපිත වූවා පමණක් නොව ඒ මගින් ආණ්ඩු ක්‍රමය මුළුමනින් විකෘති කිරීමක්ද සිදුවිය. ඒ වරද අද දක්වා අධිකරණය විසින් නිවරදි කර නැත.

ව්‍යවස්ථාදායකය හා විධායකය

1972 දී ඇති කළ වෙනස්කම් තිබියදීත් 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව තෙක් ලංකාවේ පැවතියේ පාර්ලිමේන්තුව මුල් කරගත් ආණ්ඩු ක්‍රමයකි. එම ක්‍රමය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තෝරාපත් කරගන්නා අගමැති ප්‍රමුඛ කැබිනට මණ්ඩලය රාජ්‍ය බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කළේය. ජනරජ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ප්‍රමුඛ තත්ත්වයක් ලැබී තිබුණ ක්‍රමය අහෝසි කොට මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ජනාධිපතිට රාජ්‍යයේ සකලවිධ බලය ලැබෙන ක්‍රමයක් ඇති විය. ඒ සමග පාර්ලිමේන්තුව ජනාධිපතිගේ රබර් මුද්‍රාවක තත්ත්වයට පත් විය.

පරණ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය පැවති කාලයේ දී පාර්ලිමේන්තුවට තේරීපත් වීම හෝ අගමැති, කැබිනට් ඇමති වැනි නිල තනතුරක් ලැබීම මහා පරිමාණයෙන් ධනය ඉපයිය හැකි මාර්ගයක් නොවීය. ඒ කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම තිබෙන ධනය අඩු කරගතැකි මාර්ගයක් විය. ඔවුන්ට ලැබෙන දීමනාද පහළම තත්වයක තිබුණ අතර අයථා ලෙස ධනය උපයා ගැනීමට තිබෙන මාර්ගද හොදින් වසා තිබුණි. කලාතුරකින් හෝ වැරදි කරන කෙනෙකු වේ නම් ඔහුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වන තත්ත්වයක් පැවතුනි.

එහෙත් ජනාධිපති ජයවර්ධන එතෙක් පැවති එම පොහොසත් සම්ප්‍රදාය උඩ යට හැරවීය. මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ලබා නොදෙන වරප්‍රසාද ලබා දෙනවාට අතිරේකව මුලුමනින් නීතියට පටහැනි ලෙස රජය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් පොළඹවා ඒ සඳහා අවස්ථා සලසා දුන්නේය. මොනම ප්‍රජාතන්ත්‍රවාදී රටකවත් මන්ත්‍රීවරුන්ට ව්‍යාපාර කරන්න ඉඩදෙන්නේ නැත. එය සැලකෙන්නේ තනතුර අහිමි කළ යුතු වරදක් ලෙසය. එයට අදාළ ලංකාවේ නීතියද ඊට සමානය.

ජනාධිපති ජයවර්ධන ඒ බව නොසලකා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නාමික මිලකට රජයේ වැවිලි ඉඩම් ලබා දෙමින් ඔවුන් ඉඩම්හිමි වැවිලිකරුවන් බවට පත් කළේය. ඔවුන්ට රජය සමග විවිධ ව්‍යාපාර කරන්නටද ඉඩ දුන්නේය. ඔහු ගෙන් පසු බලයට පත්වූ ජනාධිපතිවරුන්ද එම දූෂිත කොල්ලකාරී හා නීති විරෝධී සම්ප්‍රදායට අලුත් අංග එකතු කරමින් එම සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගියේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් වැඩි පිරිසක් නීති විරෝධි ලෙස රජයේ ඉඩම් ලබා ගත් අතර මත්පැන්, මගී ප්‍රවාහන, ඩියුටි ෆ්‍රී සාප්පු, දැව, ගල්, වැලි, ප්‍රතිඅපනයන වැනි අදායම් උපයන රජයේ බලපත්‍ර ලබාගත් ,රජය සමග ව්‍යාපාර කරන ව්‍යාපාරිකයින් බවට පත්ව සිටිති. මෙම දූෂිත ක්‍රමයෙන් මන්ත්‍රීවරුන් පමණක් නොව ජනාධිපතිවරුන්ද මහා ධනවතුන් බවට පත් කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය.

මෙම දූෂිත කොල්ලකාරි ක්‍රමය ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ නෛතික සුජාතභාවය අහිමිකරනවාට අතිරේකව රාජ්‍යය හා එහි සියලු ආයතන දූෂණයෙන් කුණු කිරීමට හේතුවී තිබේ. එය රට බංකොලොත් තත්ත්වයකට පත් කිරීමට හේතුවූ වැදගත් සාධකයක් ලෙසද සැලකිය හැකිය.

රට ඇදවැටී තිබෙන මෙම අවාසනාවන්ත හා කාලකණ්ණි තත්ත්වයෙන් රට බේරාගත හැකි ප්‍රජාතන්ත්‍රවාදි හා නිත්‍යානුකූල ක්‍රමය කුමක් දැයි ඊළඟ ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තුවෙමි.

Advertiesment