Friday 19th of April 2024

English Tamil
Advertiesment


රනිල්ට අකිලව එපා වෙලා-හොඳටම බැනලා 


2020-06-09 7643

අකිල කලකිරිලා-මැතිවරණ ව්‍යාපාරයත් කඩා වැටිලා 

 

ජාතික සේවක සංගමය වැනසුවේ අකිල විරාජ්ලු..!

 

"සිරිකොත" උණුසුම් කළ වෘත්තීය සමිති හමුවේ ඇතුල් පැත්ත මෙන්න..! 


නිරෝධායන නීති රීති උල්ලංඝන කරමින්ද, කිසිදු සැලසුමකින් සහ සොයා බැලීමකින් ද තොරව වෘත්තීය සමිති නියෝජිත හමුවක් "සිරිකොත" මූලස්ථානයේ සඳුදා (08) සංවිධානය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

මේ රැස්වීමේ දී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර එම වෘත්තීය ක්‍රියාකාරීන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පල කරමින් "සිරිකොත" මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පවත්වා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට එක්වූ පුවත සියලුම විද්‍යුත්, මුද්‍රිත සහ ඩිජිටල් ජනමාධ්‍ය වාර්තා කර තිබෙන නමුත් කිසිදු ජනමාධ්‍යයක් මේ සිද්ධියේ ඇත්ත අභ්‍යන්තර තත්ත්වය හෙළිදරව් කර නොමැත.

මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මේ රැස්වීමේදී මෙසේ ආවේගයෙන් යුතුව ක්‍රියා කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද විරෝධය පල කර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට එක් වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්තනෝමතික, අදුරදර්ශී සහ නිවට ක්‍රියාකලාපයට එරෙහිවය.

මේ රැස්වීම ආරම්භයේදීම එම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දැඩි ආවේගයෙන් යුතුව චෝදනා එල්ල කරමින් ප්‍රශ්න කර සිටියේ, දුරකතනයටවත් සම්බන්ධ කර ගත නොහැකි සහ හමුවීමට පවා නොහැකි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික සේවක සංගමයේ සභාපතිවරයා වශයෙන් දේශපාලන පලි ගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද කියාය.

ජාතික සේවක සංගම් ඉතිහාසයේ අසාර්ථකම සභාපතිවරයා වන අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අතිශය කලකිරීමට පත්ව ඇති අතර සංවිධාන ජාලය මුළුමනින්ම බිඳ වැටී ජාතික සේවක සංගමය මේ වන විට වලපල්ලට ඇද වැටී ඇතැයි ද එම වෘත්තීය සමිති ක්‍රියාකාරීහූ චෝදනා කර සිටියහ. 

මේ රැස්වීම අවසන් වූ වහාම අකිල විරාජ් කාරියවසම් මහතා තමා වෙත කැඳවා, ඔහු දැඩි ලෙස දෝෂාරෝපණයට සහ විවේචනයට ලක් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේ මේ පසුබිම මතය.

දස දෙනෙකුගෙන් හෝ පනස් දෙනෙකුගෙන් හෝ සිය දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායම් රැස්වීම් පමණක් සංවිධානය කරන ලෙසට තමා උපදෙස් දී තිබියදී, නිරෝධායන නීති රීති අනුව මීටරයේ පරතරයවත් තබා නොගෙන මෙවැනි විශාල රැස්වීමක් සංවිධානය කළේ කුමක් නිසාදැයි අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ප්‍රශ්න කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා තමාට නොදන්වා මෙම අභ්‍යන්තර සාකච්ඡාව ජනමාධ්‍යට විවෘත්ත කිරීම සම්බන්ධයෙන් ද අකිල විරාජ් කාරියවසම් මහතාට බැන වැදී ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙසේ දිගින් දිගටම චෝදනා, විවේචන සහ ඇනුම් බැනුම් එල්ල වන තත්ත්වය හමුවේ අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විට මානසික වශයෙන් කඩා වැටී අතිශය කලකිරීමට පත්ව සිටින අතර ඔහුගේ මහා මැතිවරණ ව්‍යාපාරය ද අඩාල වී ඇත.

Advertiesment