Tuesday 4th of August 2020

English Tamil
Advertiesment


හයවෙනි මහලේ සිට


2020-06-05 1620

(නුවන් උදය වික්‍රමසිංහ)

 

1967 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි හි කළු ජාතිකයන් අතර පැන නැගි අසහනය හමුවේ එක්සත් ජනපද අශ්වාරෝහක හමුදාවේ හිටපු නිලධාරියකු වූ මියාමිහී එවක පොලිස් ප්‍රධානියා මෙන්ම දරදඬු නිලධාරියකු ලෙස කුප්‍රකටව සිටි වොල්ටර් හෙඞ්ලි මෙවන් ප්‍රකාශයක් කර සිටියේය. ‘When the looting starts the shooting starts’ (කොල්ලය ඇරඹුණ සැණින් වෙඩි ප්‍රහාරද ඇරඹෙනු ඇත) ජනතා අසහනය විශේෂයෙන්ම ඇමරිකාවේ කළු ජාතිකයන් අත් විඳින පීඩාවන් හමුවේ ඔවුන්ට සමාන සැලකිලි හිමි කරදීම වෙනුවට කෲර ලෙස සැලකීම සාධාරණීකරනය කරනා ඉහත ප්‍රකාශය නීති විරෝධී කල්ලිවලට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදවීමක් ලෙස පෙන්වන්නට තැත් දැරුවද ඊට හිමිවූයේ අප්‍රසාදය පමණි. දැන් ඊට වසර පනස් තුනකට පසුව 1967ටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී යයි පෙන්වන්නට උත්සාහ දරනා ඇමරිකාවේ වර්තමාන ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම පරණ තැටියම ඇමරිකානු පොලිස් නිලධාර්යකු විසින් ගෙල පාගා මරාදමන ලද ජොර්ජ් ලොයිඞ් ගේ වියොවින් පසුව ඇමරිකාව පුරා හටගෙන ඇති විරෝධතා හමුවේ වාදනය කර තිබේ.

එහෙත් ඉන්දියාවේ මෝදි විසින් උත්කර්ෂයට නංවන ලද වර්ගවාදයට ඉන්දියානුවන් වාර්ගික භේදයකින් තොරව පිළිතුරු දුන් අයුරින්ම මෙවර ඇමරිකානුවන්ද සුදු කළු භේදයකින් තොරව ෆ්ලොයිඞ් ගේ මරණය හමුවේ නැගී සිටීම එක් අතකින් වර්ගවාදයේ කුරිරුබවට එරෙහිව නව පෙරමුණක් පිලිබඳ අපේක්ෂාවන් දල්වයි. මේ වන විට අප රටද ඇතුළුව ලොව පුරා දේශපාලකයන් විසින් අත්හදා බලමින් සිටිනා ජාතිකවාදයේ සළුව යට සඟවන ලද ජාතිවාදයට මෙවර කුළු පහර ඇමරිකාවෙන්, සුදු සහ කළු යන සියල්ලන්ගෙන්ම එල්ලවීම ඉතා වැදගත් බව කිව යුතුය. ඉතිහාසය පුරාම කවර ප්‍රජාතන්ත්‍රවාදී වෙසකින් පෙනී සිටයද ඇමරිකානු දේශපාලන ක්‍රමයේ බරවා කකුලක්ව පවතින කළු විරෝධය මේ මරණයෙන් ඉස්මතුව පෙනුනද ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ තත්වයෙහි ඛේදනීය බව සැමදා විවෘතව පෙනුන දෙයකි. මෙය ඇමරිකානුවන් අතර ප්‍රචලිත මේ කියමනින් පැහැදිලි වෙයි. ‘සුදු ඇමරිකාවට හෙම්බිරිස්සාව හැදුන විට කළු ඇමරිකාවට නියුමෝනියාව හැදෙයි.’ කෝවිඞ් වසංගතය හමුවේ අද වනවිට මේ කියමන නවීකරණය වී ඇත්තේ ‘සුදු ඇමරිකාවට කොරෝනා වැළඳෙන විට කළු ඇමරිකාව මිය යයි, යනුවෙනි. ඊට හේතුව කෝවිඞ් වසංගතය හමුවේ ඇමරිකාව තුළ මිය යන අති බහුතරය කළු ජාතිකයන්වීම නිසාවෙනි. ඔවුන්ගේ ජීවන තත්වය ඇතුළ බොහෝ හේතු මෙලෙස රෝගයට ඔවුන් වඩා පහසුවෙන් ගොදුරු වීමට බලපා ඇති අතර එය වක්‍රාකාරයෙන් පෙන්වා සිටින්නේ ඇමරිකාව කළු ජාතිකයන්ට දක්වන නොසැලකිල්ලේද තරමය.

මෙවර ඝාතනය ඇමරිකානු ජනතාව සසල කර ඇති ආකාරය සුදු සහ කළු යන දෙපාර්ශවයේම නැගී සිටීමෙන් පැහැදිලි වේ. එහෙයින් වීදි බසිනා ජනතාවට ප්‍රහාර එල්ල කිරීමෙන් මෙවර ලද හැකි ප්‍රතිපල අල්පය. තත්වය සමනය කළ හැකි වනු ඇතද ජනතාවගේ සිත් තුළ ඇති කරන ලද පිලිකුල ට්‍රම්ප් ගේ වහසි බසින් සමනය කළ නොහැකි වනු ඇත. මෙතෙක් නොදක්නා ලද තරම් විවෘතභාවයකින් ඇමරිකානු සුදු ජනයා මේ මරණය හමුවේ සිය විරෝධය පලකිරීම මෙන්ම ඇමරිකානු පොලිසිය සිය කනගාටුව පල කරනා ආකාරය අතිශය වැදගත් වෙයි.

අවසන ඇමරිකානු ජනයා ලොවෙහිම වර්ගවාදීන්ට සාමූහිකව දෙන පිළිතුර අපටද ඉතා වැදගත් බව සැලකිය යුතුය. මන්ද යත් අපද පසුගිය කාලය පුරාම වර්ගවාදයෙහි පිලිසරණ දේශපාලන සහ ආගමික ක්ෂේත්‍රය තුළ ඉතා නරක අන්දමින් අත්හදා බලමින් සිටිනා බැවිනි. පසුගිය කෙටි කාලය තුළ විශේෂයෙන්ම කෝවිඞ් අර්බුදය හමුවේ පවා රටෙහි ප්‍රධාන යයි කියනා මාධ්‍යවල හැසිරීමේ සිට දේශපාලකයන් දක්වාම දක්නට ලැබුනේ ජාතිවාදය සරණ යාමට ඇති කැමැත්තයි. සැමට එක හා සමානව නීතිය බලපැවැත්වීමට අපේ අසමත් බවට නිවැරදි පිළිතුරු නොසොයා මුසල්මානුවන් ඉලක්ක කරගෙන පසුගිය කාලයේ දියත් කරන ලද පිලිකුල් සහගත උපායන්හී වක්‍රාකාරයෙන් ප්‍රවර්ධකයන් බවට අපේ මාධ්‍ය පත්ව සිටි ආකාරය ඉතාම කනගාටුදායකය. කෙසේ වෙතත් දැන් අනපේක්සිතව සහ අපේක්ෂා නොකල පරිදි ඉක්මනින් ඇමරිකාවෙන්ම වර්ගවාදයට එරෙහි ගින්න ඇවිල යාම මේ කාලකණ්නි චක්‍රයෙහි අවසානය සනිටුහන් කිරීමට මහඟු සේවයක් කරනු ඇති බව නිසැකය.
සෑම ජනවර්ගයක් තුළම අන්තවාදී අදහස් දරන්නෝ සිටිති. එහෙත් ප්‍රබුද්ධ මිනිසුන්ගේ ප්‍රයත්නය විය යුත්තේ ඒ අන්තවාදී සුළුතරයට එරෙහිව නැගී සිටීමයි. එසේ කිරීමට අප දක්වන අසමත්කම මෙන්ම ලොව පුරා වර්ගවාදය දේශපාලන මෙවලමක් ලෙස භාවිතා කිරීමට බල ලෝභීන් විසින් නිරතුරුවම දරනු ලබනා උත්සාහය අප දැනටමත් ගෙනවිත් ඇත්තේ කෝවිඞ් 19ටත් වඩා බරපතල ව්‍යසනයක් කරාය. එය අපේ ද දේශපාලකයන් වටහා ගතයුතුව තිබේ. මන්ද යත් පසුගිය මැතිවරණයන්හිදී ජාතිවාදය අභ්‍යාස කිරීම අපේ දේශපාලන පද්ධතිය තුළ බහුලව දක්නට ලැබුණ බැවිනි.

මේ වන විට ෆ්ලොයිඞ් ගේ අවසන් වදන් ලොව පුරා සංසරණය වෙමින් පවතියි. ඔහු සිය පීඩකයාට පවසන වදන් මෙපරිදිය. ‘මනුස්සයෝ මගෙ මූණ. මං කිසිම බරපතල දෙයක් කළේ නෑ. කරුණාකරල කරුණකරල, මට හුස්ම ගන්න බෑ, මනුස්සයො මට හුස්ම ගන්න බෑ, මගෙ ඇඟ උඩින් අයින් වෙනව, මට හුස්ම ගන්න බෑ.’ අද වන විට මුළු ලොවෙහිම අති බහුතරයක් ජනතාව සිටිනුයේ ෆ්ලොයිඞ් ගේ වදන් වරනැගිය යුතු තැනකය. අපේ ගෙල මත පීඩනය ඇති කරන බලලෝභී දේශපාලකයන්ට අපද මෙවදන් පැවසීමට කාලය එළඹ තිබේ.

ෆ්ලොයිඞ් ගේ මරණය තවත් එක් මරණයක් ලෙස නොසලකන ලෝකයක් උදෙසා අපගේද ක්‍රියාකාරීවීම මේ අවස්ථාවෙහි අත්‍යවශ්‍යය. එවන් පොදු ක්‍රියාකාරීත්වයක් උදෙසා සාමූහිකත්වයන් ඇති කරගැනීම යනු හෙට දවසේදී අපේ ජීවිතය දිනාගැනීමට කරනා මැදිහත්වීම බව අප වටහා ගත යුතුය. කෝවිඞ් 19 අර්බුදය ඉදිරියට යනු ඇත්තේ ලොවෙහි දේශපාලන කඳවුරු තුළ විවෘත මෙන්ම සැඟවුණු යුද්ධය අතරිනි. අප එහිදී සමාන වනුයේ තෝරු මෝරු අතර හාල්මැස්සන්නටය. ඉදින් අපේ දේශපාලක අවස්ථාවාදීන් විසින් අඹරා අපට දෙන ගුලි ගිල දමා සෑම ජන වර්ගයකට ඉන්නා අන්තවාදීන්ට පොර අල්ලන්නට ඉඩ දෙමින් නිහඬවීමට වඩා අප කල්පනා කළ යුත්තේ අපේ ගෙල මත ඇති වියගසින් මිදෙන්නට මාවතක් සොයා ගැනීමටය. ආරුමුගම් තොණ්ඩමාන් ගේ මලගම අපේ දේශපාලනයේ අවස්ථාවාදීකම මනාව පෙන්වූවා පමණක් නොව කෝවිඞ් හමුවේ මෙතෙක් මහා වීරයන්ව සිටි නිලධාරීන් ඇතුළු බොහෝ පිරිස් විහිළුකාරයන් බවට පත් කළේය. මේ කිසිවක් අහම්බ නොවන බවත් සැලසුම් සහගත දේශපාලනයක පියවර බවත් අප අමතක කළ යුතු නැත. ෆ්ලොයිඞ් ආයාචනාත්මක ස්වරයෙන් තම හුස්ම ඉල්ලා සිටි විට එය නොතකා හැරීමේ ප්‍රතිපලය වූයේ යටින් ඇවිලෙමින් පැවති ගිනි කන්ද සක්‍රීය වීමයි. දැන් ඉල්ලිම සටන් පාඨයක් වී තිබේ. එයට උත්තරය මූනිස්සම ලෙස පාලකයන් කල්පනා කරන්නේ නම් ඉතිහාසයෙහි කුණු බක්කිය දැනටමත් ඔවුන්ට විවෘතය. කැරැල්ලට පිලිතුර මූනිස්සම යයි කල්පනා කරනා ට්‍රම්ප් මෙන්ම ට්‍රම්ප් ගේ බාප්පා මහප්පා, බෑණලා වන අන් සියළු දේශපාලකයන්හටද තමන් හමුවෙහි පෙල ගැසෙනා මිනිස් පවුරට හිස නමන්නට දිනයක් එනු ඇත. එය අද හෝ හෙට නැතිනම් තව කාලයකින් විය හැකිය. එය ඉක්මන් හෝ පසු වන්නේ අපේ මැදිහත්වීමේ ප්‍රමාණය අනුව බව අප අමතක නොකල යුතුය

 

(රාවය) 

Advertiesment