Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


විසදුමක් සදහා අර්බුදයේ හරය තේරුම් ගැනීම


2020-06-05 1362

(වික්ටර් අයිවන්) 

පසුගිය සතියේ "ලංකාව කබලෙන් ලිපට වැටීම "යන තේමාව යටතේ ලියා සිංහල හා ඉන්ග්‍රීසි භාෂා දෙකකින් පලවන පුවත් පත් දෙකක හා සමාජ මාද්‍යවල පලවූ ලිපිය කියවූ අය අතුරෙන් සමහරෙක් නගා තිබුන ප්‍රදාන ප්‍රශ්නය වූයේ ලංකාවේ අර්බුදයට තිබෙන විසදුම කුමක්ද යන්නයි. හරි විසදුමක් සදහා අර්බුදය කෙරෙහි බලපා තිබෙන කේන්ද්‍රිය ප්‍රශ්න හදුනා ගත යුතුය. එවිට ඒවාට ලබාදිය යුතු ප්‍රායෝගික විසදුම් හදුනා ගත හැකිය.

ඒ සදහා කරන විවරනයක් 1948 දී ලැබූ නිදහසින් ආරම්භ කල හැකිය. පසු කලක මහා ප්‍රශ්න බවට පත්වන ප්‍රශ්න වල මූලයන් ඒ ලැබූ නිදහස තුල අන්තර්ගත වී තිබුනේ යැයි කිව හැකිය.

 

ලැබූ නිදහසට ආවේනික සීමා.

ලංකාව නිදහස හිමිකර ගත්තේ ඒ සදහා දරන බලවත් සමාජ උත්සහයකින් තොරවය. එය ලබාගත් නිදහසකට වඩා තෑගි වශයෙන් ලැබුන නිදසක් ලෙස සැලකිය හැකිය.බලවත් උත්සහායකින් තොරව ලොතරැයි දිනුමක් වැනි දෙයකින් ධනයක් හිමි කරගත් පුද්ගලයෙකුගේ හැසිරීම බලවත් උත්සහායකින් ධනවත් වූ පුද්ගලයෙකු ගේ හැසිරීමට සමාන නැත. පලමු කී පුද්ගලයා උපයාගත් ධනය මහන්සියෙන් උපයාගත් ධනයක් නොවන නිසා එම ධනයේ නියම වටිනාකම ඔහු දන්නේ නැත. බොහෝවිට එවැනි අය ධනය වැය කරනුයේ මහන්සියෙන් ධනය උපයා ගත් කෙනෙකුට වඩා පලදායි නොවන නාස්තිකාර අකාරයකටය. නිදහස ලැබී මෙන් පසු ලංකාවේ හැසිරීමද ලොතරැයි දිනුමක් හිමිකරගත් පුද්ගලයෙකු ගේ හැසිරීමට සමානය.

ලංකාවට වෙනස්ව ඉන්දියාව නිදහස ලබාගත්තේ ඒ සදහා දරන බලවත් සමාජ උත්සහායක ප්‍රතිපලක් වශයෙනි. ඒ සදහා විශාල කැපකිරීම් කිරීමට ඉන්දියානු ජනතාවට සිදුවිය. නිදහස දිනාගැනීමේ අරමුණ ජයගැනීම සදහා ක්‍රියාකාරි මහජන සහාය අත්‍යාවශය කොන්දේසියක් වීම නිසා ඒ සදහා වර්ග, කුල, ආගම් බේදවලට තිබෙන පිලිගැනීම දුර්වල කොට බේදයකින් තොරව සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙන පිලි වෙතක් තුල ඉන්දියානු ජාතිය ඒකාග්‍ර කරීමට හේතුවන පිලිවෙතක් අනුගමනය කරන්නට ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ නායකින්ට සිදු විය. එම පිලිවෙත දේශය මුල් කරගත් අබිමානයකින් එකට බැදුනු ,ප්‍රජාතන්ත්‍රවාදි හා බහුත්ව වාදි ආකල්පවලින් යුතු සමාජයක් ඇති කිරීමට හේතුවිය. ඒ සියල්ලට අතිරේකව ඉන්දියානු නිදහස් අරගලය ඉන්දියාවට අවශ්‍ය පරිනත නායකයින් බිහිකරන ක්‍රියාදාමයක් ලෙසද ක්‍රියා කලේය.

එහෙත් ලංකාව නිදහස දිනා ගැනීම එවැනි ප්‍රබල සමාජ උත්සහයක පලයක් නොවීම නිසා වර්ග, කුල, ආගම් බේදවලට තිබෙන පිලිගැනීම දුර්වල කොට බේදයකින් තොරව ලංකාවේ ජීවත්වන සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂය ගෞරවය ලබා දෙන ප්‍රවේශයක් තුල ජාතිය ගොඩනගා ගැනීමක්ද සිදු නොවීය. ප්‍රජාතන්ත්‍රවාදි, ලෞකීකවාදි හා බුහුත්වවාදි වටිනාකම් සමාජ ගත කිරීමක් සිදු නොවීම නිසා සමාජය නවීන වීමක් සිදු නොවූ අතර පරිනත නායකයින් බිහිවීමක් ද සිදු නොවීය.

 

නිදහසින් පසු අයාලේ යාම

 

බ්‍රිතාන්‍යන් ලංකාවට නිදහස්දී රට අත හැර යන අවස්තාව වන විට හිමිකරගෙන තිබුනු දියුණුව අනුව ලංකාව තිබුනේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය. ඒක පුද්ගල ආදායම අනුව ලංකාව දෙවැනි වූයේ ජපානයට පමණය. එහිදීද රටවල් දෙක අතර තිබුන පරතරය විශාල නොවීය. අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා පැවති දර්ශක අනුවද ලංකාව ආසියානු රටවල් අතර සිටියේ පලමු හෝ දෙවැනි ස්ථානයේය. යටිතල පහසුකම් වලදීද ලංකාව කැපී පෙනෙන තත්වයක් හිමිකරගෙන සිටියේය.

එහෙත් නිදහසින් පසු ලංකාවේ පාලන බලය අතට ගත් ස්වදේශීය නායකයින්ට ලංකාව හිමිකර ගෙන සිටි එම දියුණුව ආරක්ෂා කරගනිමින් අඛන්ඩ වර්ධනයක් කරා ගෙන යන්නට අවශ්‍යය පරිනත බාවය හා ශික්ෂනය නොතිබුනි. ඔවුහූ බාහිර පෙනුමෙන් නවීන වුවද අභ්‍යන්තර හරයෙන් වැඩවසම් විය. ඔවුන් කෙරෙහිද වර්ග බේදය, කුල බේදය හා ආගම් බේද බලපෑවේය. ප්‍රජාතන්ත්‍රවාදි නියායධර්ම ගැන තිබුන අවබෝධයද උසස් තත්වයක නොතිබුණි.

සමාජයේ පැවති වර්ග, කුල හා ආගම් බේද වලට තිබෙන පිලිගැනීම දුර්වල කොට නූතන ලාංකේය ජාතිය ගොඩනගන පිලිවෙතක් අනුගමනය කරනවා වෙනුවට පටු දේශපාලන වාසි සදහා වර්ග, කුල, ආගම් බේද වර්ධනය කරන පිලිවෙතක් අනුගනය කලේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම ආරක්ෂා කරන පිලිවෙතක් අනුගමනය කරනවා වෙනුවට පටු දේශපාලන වාසි සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පිලිවෙතක් අනුගමනය කලේය.

ඔවුන්ගේ එම වර්ගවාදි හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන පිලිවෙත් සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථිකය අවුල් කිරීමට හේතුවී ලංකාව සාමකාමි ලෙස ඉදිරියට යන රටක් වෙනුවට කෙලවරක් නැති තරමට ලේ හලමින් ආපස්සට ගමන් කරන අසමත් රටක් බවට පත්විය.

 

අසමත් බවේ අත්තිවාරම්

 

ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම ලංකාවේ අසමත් බාවය කෙරෙහි බලපෑ කේන්ද්‍රිය හේතුව ලෙස සැලකිය හැකිය. නිදහස ලැබෙන අවස්ථාව වන විටත් සිංහල හා දෙමල සමාජයේ පීඩිත කුලවල ජනයා අතරත් සුලු වර්ග වලට හා සුලු ආගම් වලට අයත් ජනයා අතරත් අනාගතය පිලිබද හැගීම් ඇති කිරීමට හේතු වී තිබුණි.

වර්ග වාදයේ පලමු ගොදුර බවට පත්වුයේ බර්ගර් ජනයා ය. එම ජන වර්ගය ලංකාවේ සේවය කල යුරෝපිය ජනයා අතර ඇතිවූ මිශ්‍ර විවාහවලින් ඇතිව තිබූ සංඛ්‍යාවෙන් විශාල නොවූ ජන වර්ගයක් විය. ඔවුහූ සිංහල දෙමල මුස්ලිම් ජන වර්ග වලට වෙනස්ව සුදු හමක් ඇති ඉන්ග්‍රීසි භාෂාව කතා කල උගත් ජන කණ්ඩායමක් විය. රාජ්‍යය සේවයේ කොදු නාරටිය සකස් වී තිබුනේ ඔවුන් ගෙනි. ආකල්ප අතින් ගත් විට සිංහල දෙමල හා මුස්ලිම් ජන වර්ග වලට වඩා නවීන අදහස් දරන්නන් වූහ. එහෙත් එම ජන ප්‍රජාව ගැන සමාජයට තිබුනේ අවක්ඥා සහගත ආකල්පයකි. ඔවුන් හදුන්වන ලද්දේ තුප්පහි ලන්සින් හෝ කැරපොතු ලන්සින් වශයෙනි. තමන්ට මේ රටේ අනාගතයක් නැති බව තේරුම් ගත් ඔවුහූ නිදහසත් සමග තොග ගණනින් ලංකාව අතහැර ඔස්ට්‍රේලියාව වැනි රටවලට සන්ක්‍රමනය වූහ. ඒ නිසා ලංකා සමාජය නවීකරනය සදහා යොදාගත හැකි වැදගත් සමාජ ප්‍රාග්ධනයක් රටට අහිමි විය.

වර්ග වාදයේ ඊලග බිල්ල බවට පත්වුයේ ඉන්දියානු වතු කම්කරුවන්ය. සොල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පලමුව නිදහස් ලංකාවේ පලමු අගමැති වරයා පුරවැසි අනපනත් මගින් දීර්ග කාලයක් එකදිගට ලංකාවේ ජීවත් වූ වතු කම්කරුවන්ටද පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීමට හේතු වන ලෙස ක්‍රියා කලේය.1947 පැවති පලමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉන්දියානු වතු කම්කරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නියෝජිතයින් ගණන හතකි.වතු කම්කරු නියෝජිතයින් තරග නොකරන මැතිවරණ කොට්ඨාශවලදී වතු කම්කරුවන් ඡන්දය පාවිච්ච් කලේ සමසමාජ අපේක්ෂකයින්ටය. ඩී.ඇස් සේනානායක තමන් ගේ ප්‍රධාන සතුරා ලෙස සලකන ලද්දේ සම සමාජ පක්ෂයයි. ඩී ඇස් ට ආණ්ඩුවක් පිටුවා ගැනීමට අවශ්‍ය තරම් ආසන සංඛ්‍යාවක් ලැබී නොතිබුන අතර තේරී පත්වූ වෙනත් අය සම්බන්ද කර ගනිමින් ආණ්ඩුවක් ගැටගසා ගැනීමට දරන උත්සහායේදී රටේ වෙනත් සුලු ජාතික පක්ෂ ඩී.ඇස්ට ආධාර කරන පිලිවෙතක් අනුගනය කරන විට වතු කම්කරු නියෝජිතයින් සමසමාජ පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියා කිරීම අගමැතිවරයා ගේ කෝපයට හේතු වී තිබුණි. වතු කම්කරුවන් ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීම මගින් තමන්ට එරෙහිව ගිය ඔවුන් මට්ටුකරනවාට අතිරේක සමසමාජ පක්ෂයේ වර්ධනය මැඩලීමත් අගමැතිවරයාගේ අපේක්ෂාව විය. පුරවැසි නීති ඉන්දියානු සම්භවයක් ඇති ජනයා කෙරෙහි ඇතිකල බලපෑම ඉතා විනාශකාරි විය. ඒ නිසා ඔවුන්ට 1977 තෙක්ම එකම නියෝජිතයෙක්වත් පාර්ලිමේන්තුවට තේරී පත් නොවීය.1977 දී තෙරී පත් වුයේද එක නියෝජිතයෙකු පමණය. ඒ වරද නිවරදි කලේ 1988දී ය.

 

බිද වැටීම පරිපූරන වීම

 

වර්ගවාදයේ තුන්වැනි ගොදුර බවට පත්වූයේ ලංකාවේ දෙමල ජනයාය. S.W.R.D බණ්ඩාරනායක 1956 දී බලයට ආවේ ස්වදේශීය භාෂා සම්බන්ධයෙන් එතෙක් දේශපාලන පක්ෂ අතර ඇති කරගෙන තිබූ පොදු එකගතාවන්ට පටහැනිව බලයට පත්වී පැය විසිහතරක් තුල සිංහල භාෂාව රාජ්‍යය භාෂාව කරන බවට සහතික වෙමිනි. අගමැති බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍යය භාෂාව බවට පත්කලේ දෙමල ජනයාට සිය භාෂාවෙන් කටයුතු කරගැනීමට තිබෙන අයිතිය පවා අහිමි කිරීමට හේතුවන ආකාරයටය. ඒ මගින් දෙමල ජනයා කෙරෙහි ඇතිකරන ලද දෙවැනි පෙල පුරවැසි තත්වය වෙනස් කරවා ගැනීම සදහා ඔවුන් සාමකාමි හා අහිංසාවාදි ලෙස එහෙත් බලවත් ලෙස සටන් කලේය.ඒ හැම සටනක්ම බලය යොදා මර්ධනය කලේය.

ඒ සියල්ලට අතිරේකව 1973දී සමගි පෙරමුන ආණ්ඩුව ක්‍රියාවට නගන ලද ප්‍රමිති කරන නීති නිසා දෙමල සිසුන්ට විශ්ව විද්‍යාලවලට ඇතුලු වීමට තිබෙන ඉඩ විශාල ප්‍රමාණයකට සීමාකලේය. එම තත්වය දෙමල තරුණ පරපුරේ බලවත් කෝපයට හේතුවිය.1972 ව්‍යවස්තාවත් ඔවුන්ගේ බලවත් විරෝදයට හේතුවී තිබුණි. ඒ සියල්ලේ අවසාන පලය වූයේ 1976 වන විට වෙනම දෙමල රාජ්‍යයක් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින තැනකට දෙමල ජනයා තල්ලු වීමය.

70වේ දශකයෙන් පසු රටේ ඇතිවූ බිහිසුනු ලේ වැගිරුනු ප්‍රචණ්ඩ ගැටුම් කෙරෙහි වර්ගය, කුලය හා ආගම වැනි සාධක බලපෑවේය. එම ප්‍රචණ්ඩ ගැටුම් විශාල ජීවිත විනාශයකටඅතිරේකව විශාල දේපල විනාශ‍යක් ද ඇති කලේය. එම ගැටුම් ආර්ථිකය දුබල කරනවාට අතිරේකව රටේ සමාජ-දේශපාලන ක්‍රමයද අවුල් හා විකෘති කොට ඒවා ජරාජීරන තත්වයකට පත් කිරීමට හේතුවිය.එහිම ප්‍රති පලයක් වශ‍යෙන් 1977 සිට වස්තු කොල්ලය රාජ්‍යය පාලනයේ නිත්‍ය ලක්ෂනයක් බවට පත්වූ අතර එම තත්වය රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය දූෂණයෙන් කුණුවූ තත්වයකට පත් කිරීමට හේතු විය.2009 දී අභ්‍යන්තර යුද්ධය ජයගන්නා අවස්ථාව වන විට රටේ සමාජ-දේශපාලන ක්‍රමය සේම ආර්ථිකයද තිබුනේ ඒවා නැවත ප්‍රති නිර්මානය කරගැනීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරන ඇතිකර ගැනීමෙන් තොරව ඉදිරියට යා නොහැකි තත්වයකය. එහේත අභ්‍යන්තර යුද්ධය ජය ගත් ආණ්ඩුව හෝ ඉන්පසු බලයට පැමිනි යහපාලන ආණ්ඩුව හෝ එම ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව සම්පූර්න කලේ නැත. ලංකාවේ සමස්ථ ක්‍රමය කඩා බිද වැටෙන තත්වයක් ඇතිවී තිබෙන්නේ එහි ප්‍රතිපලක් වශයෙනි. වසංගත තත්වය ලංකාවේ අර්බුදය මත කඩා වැටීම නිසා ලංකාවේ කඩා බිදවැටීමේ ක්‍රියාදාමය වේගවත් වී යැයි කිව හැකිය.

මේ අනුව ලංකාවේ අර්බුදයේ කේන්ද්‍රීය සාධකය නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වීමේ ප්‍රශ්නයයයි කිවහැකිය. දූෂණය වැනි අන්සියලු ප්‍රශ්න කේන්ද්‍රිය ප්‍රශ්නය සමග ගැටගැසී ඇති ද්වීතික ප්‍රශ්න ලෙස සැලකිය හැකිය. ලංකාව මෙම දැවැන්ත අර්බුදය ජය ගත යුතුව තිබෙන ක්‍රමවේදය ඊලග ලිපියෙන් විස්තර කිරීමට බලා පොරොත්තු වෙමි.

Advertiesment