Saturday 11th of July 2020

English Tamil
Advertiesment


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන හිටපු අගමැති කට අරියි 


2020-06-05 17926

 

මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් සමගි බලය ආණ්ඩුවට ඔක්සිජන් ගැහුවා 

 

මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා නීතිමය පදනමක් නැහැ

 


මහ මැතිවරණය 2020 ජුනි 20 වැනිදා පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළේ සිය පක්ෂය ඒ කරුණ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි නිසා යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ද, ඒ කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ක්‍රියා කළේ නැතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු පෙන්වා දුන්නේ කොළඹ 07, පස් වැනි පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවසට බදාදා (03) පෙරවරුවේ පැමිණ සිටි එම පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් අමතමිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අනුව එක්සත් ජාතික  පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැරූ මතය සනාථ විණැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ය .

ඉහත කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට යන අවස්ථාවේ දී තමා එහි නීතිමය පසුබිම ද අධ්‍යයනය කිරීමෙන් පසු අදාළ පියවරට නොඑළැඹීමට තීරණය කළ බවද හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් පසුව සිය අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා සඳහන් කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ සිවිල් සංවිධාන සියල්ලක් ම සහාය දක්වන්නේ සමගි ජන බලවේගයට බවයි .

මාරාන්තික COVID-19 නව කොරෝනා වසංගතයේ හමුවේ සම්පූර්ණයෙන්ම අසාර්ථකත්වයට පත්ව සිටින රජයට ඉහත පෙත්සම් ගොනු කිරීම මගින් අමතර ඔක්සිජන් දීමට සමගි ජන බලවේගය ක්‍රියා කර ඇතැයි ද රවි කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව කැඳ විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ගොනු කළ නඩුවට ද ඉහත නඩුවේ තීන්දුවෙන් බලපෑමක් එල්ල විය හැකි යැයි තමන්ගේ මතය බව ද රවි කරුණානායක මහතා එහිදී  පැවසීය.

Advertiesment