Monday 21st of September 2020

English Tamil
Advertiesment


කනිකා කපූර් කොවිඞ් වෛරසයෙන් ඉන්දියාව කළඹයි


2020-05-31 1436

මේ අවදානම් සමයේ වෛද්‍ය උපදෙස් නොතකමින් හිතුවක්කාරී ලෙස ක‍්‍රියා කරනා සුළු පිරිසක් නිසා බොහෝ රටවල් අනතුරේ වැටී සිටින බව නොරහසක්. බොහෝ විට මෙලෙස හැසිරෙන්නේ නූගත්, මෝඩ හෝ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්. එසේ වුවද සමාජයේ ප‍්‍රකට ජනප‍්‍රිය පුද්ගලයන්ද මෙසේ වගකීමක් නොමැතිව ක‍්‍රියා කොට සමාජයට අනවශ්‍ය ප‍්‍රශ්න ඇති කළ අවස්ථා වාර්තා වෙනවා. ඔවුන් මෙසේ හැසිරෙන්නේ තමන්ගේ අධිමානය නිසාද යන්න සිතා ගන්නට බැහැ. මේ සිද්ධිය වාර්තා වන්නේ අපේ අසල්වැසි ඉන්දියාවෙන්. පුද්ගලයා තමයි ජනප‍්‍රිය ගායිකා කනිකා කපූර්.
 
ලන්ඩන් සංචාරයකින් පසු ඇය පසුගිය මාර්තු 09 වෙනිදා ආපසු ඉන්දියාවට පැමිණ තිබෙනවා. එහිදී ඇයට උපදෙස් දී තිබෙන්නේ දින 14 ක් ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙසින්. එහෙත් ඇය එම උපදෙස් නොතකා සාද කිහිපයකට සහභාගි වීම නිසා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. එසේ වූයේ මාර්තු 20 වන දින PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඇය කොවිඞ් 19 ආසාදිතයකු බව තහවුරු වීම නිසා. කනිකා ලක්නව්හි පැවති සාද තුනකට සහභාගි වූ බව ඇගේ පියා වූ රජීව් කපූර් පැවසුවද ඇය එය ප‍්‍රතික්ෂේප කරනවා. කනිකා කොවිඞ් 19 ආසාදිතයකු බව පල වීමෙන් පසු රාජස්ථාන් හිටපු මහ ඇමතිනී වසුන්දරා රාජ් ඇගේ ට්විටර් ගිනුමෙහි පළ කළේ ඇය සහ ඇගේ පුත‍්‍රයා සහභාගි වූ සාදයකදී කනිකා තමන්ට හමු වූ බවයි. මේ නිසා ඇයට සහ පුත‍්‍රයාට ස්වයං නිරෝධායනයකට ලක් වීමට සිදුව ඇති බව ඇය සඳහන් කරනවා. මේ සාදයට විශේෂිත පුද්ගලයන් හා රාජ්‍ය තාන්ත‍්‍රිකයන් කිහිප දෙනෙක්ද සහභාගි වී ඇති නිසා වාර්තා වන්නේ තත්ත්වය බරපතල බවයි. රාජස්ථාන් හිටපු ඇමතිනී වසුන්දරා සහ ඇගේ පුත‍්‍රයා වන ඉන්දීය ලෝක් සභා මන්ත‍්‍රී දුෂ්‍යන්ත් සිං හා ඊට අමතරව උත්තර් ප‍්‍රදේශ් ඖෂධ හා සෞඛ්‍ය ඇමති වූ ජායි ප‍්‍රතාප් සිං ද මෙම සාදයට සහභාගි වී තිබෙනවා. වඩාත් බරපතල සිද්ධිය නම් ඉන් පසු දුෂ්‍යන්ත් සිං ඉන්දීය පාර්ලිමේන්තු සැසි වාරයකටද සහභාගි වී තිබීමයි.
 
 කනිකාගේ මේ වගකීම් විරහිත ක‍්‍රියාව නිසා ඉන්දීය රාජ්‍ය තන්ත‍්‍රය මුහුණ දී තිබෙන්නේ බරපතල ගැටළුවකට. කනිකා කොවිඞ් ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු ජායි ප‍්‍රතාප් සිං, වසුන්දරා රාජ් හා දුෂ්‍යන්ත් සිං ට අමතරව තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 6 දෙනෙක්, මධ්‍යම රජයේ ඉහළ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් දෙදෙනෙක්, උත්තර් ප‍්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තුන් දෙනෙක් හා තවත් නිලධාරීන් කිහිප දෙනෙක්ම ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙනවා. වඩාත්ම බරපතල කාරණය වන්නේ මන්ත‍්‍රී දුෂ්‍යන්ත් සිං ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ද හමුවී තිබීමයි. මේ නිසා ජනාධිපති නිල නිවස වූ රාෂ්ට‍්‍රපති භවන් හි සියළු සැලසුම් අවලංගු කර ඇති අතර ජනාධිපතිවරයාගේ සියළු හමු දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
 
 ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කනිකාට එරෙහිව පැමිණිලි කරමින් කියා සිටින්නේ ඇය ලන්ඩන් සිට ලක්නව් ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ ඇයට දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමුවන ලෙස අවවාද කළද ඇය එය නොසලකා හැර ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඇයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසනවා. එසේ වුවද තමාට විරුද්ධව නැගෙන චෝදනා එකහෙළා ප‍්‍රතික්ෂේප කරන කනිකා පවසන්නේ ඇය තම පවුලේ සාමාජිකයින් සමඟ කල්ගත කළා මිස වෙන කිසිදු ප‍්‍රසිද්ධ උත්සවයකට සහභාගි නොවූ බවයි. ඇගේ එම ප‍්‍රකාශයත් සමගම, කනිකා විශාල පිරිසක් සමඟ හෝලි උත්සවයකට සහභාගි වන වීඩියෝවක් හා දේශපාලන ක‍්‍රියාකාරීන් සමඟ ඇය සහභාගි වූ සාදවල ඡුායාරූප රාශියක් අන්තර් ජාලයට නිකුත් වී තිබෙනවා. ඇගේ නොසැලකිලිමත් හැසිරීම, පරස්පර විරෝධී හා සාවද්‍ය ප‍්‍රකාශ නිසා සමාජ මාධ්‍යවල දැඩි විවේචනවලට ඇය ලක්ව තිබෙනවා.
 
 අදාල පනතේ 269 හා 270 වගන්ති වූ ජීවිතයට මාරාන්තික රෝග ආසාදන පැතිරවීමට කරන නොසැලකිලිමත් ක‍්‍රියාව යටතේ ගායිකාවට විරුද්ධව නඩු පවරන බව ක‍්‍රිෂ්ණ නගර්හි පොලිස් කොමසාරිස් දීපක් කුමාර් සිං පවසා තිබෙනවා.
 
 මේ වනවිට ඇයට පීසීආර් පරීක්ෂණ 5 ක් සිදු කර ඇති බවත් කනිකා තවමත් කොවිඞ් 19 වෛරසය ආසාදිත බවත් වෛද්‍යවරු පවසනවා. මේ අනුව කනිකා කපූර් තවමත් සංජේ ගාන්ධි අනුස්මරණ පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යා ආයතනයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. එහෙත්, රෝහලෙන් තමනට සපයන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව ඇය බලධාරීන්ට පැමිණිලි කොට තිබෙනවා. ඊට පිළිතුරු දෙන රෝහල් පරිපාලනය පවසන්නේ ඇය කාර්ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවයි.
 
 ,”රෝහලේ පවත්නා ඉහළම පහසුකම් අපි කපූර්ට සපයා තිබෙනවා. ඇය තාරකාවකගේ රැුස් පිට නොකර රෝගියෙකු ලෙස සහයෝගය ලබා දුන්නා නම් හොඳයි. යනුවෙන් රෝහල් බළධාරීන් පවසා තිබෙනවා.

 

 

-දිවයින- 
 

Advertiesment