Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


COVID-19 ට එරෙහි ජනපති සටන ඉන්දියාව අගයයි 


2020-05-30 23630

COVID-19 වසංගතය මර්දනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජය නායකත්වය ලබා දෙමින් ගෙන යන වැඩ පිළිවෙළ ප්‍රසංශනීය බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අවධාරණය කර සිටියි.  

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සිකුරාදා (29) පැවැත්වූ ද්වීපාර්ශවික සාකච්ඡාවේදීය.

ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම පිළිබඳව  ඉන්දියානු නව මහ කොමසාරිස්වරයා වෙත කරුණු තහවුරු කළ ජනාධිපතිවරයා 2020.05.23 වැනිදා ඉන්දීය අගමැතිවරයා සමග දුරකථනයෙන් කළ සුහද සාකච්ඡාව සිහිපත් කරමින් වත්මන් දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දුන් නොමසුරු සහය පිළිබඳව ඉන්දීය රජයට සහ ජනතාවට සිය ස්තූතිය පුද කළේය. 

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා COVID- 19 වසංගතය මර්දනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජය නායකත්වය ලබා දෙමින් ගෙන යන වැඩ පිළිවෙළ ප්‍රසංශනීය බව එහිදී අවධාරණය කර සිටියේය.

දෙරටේ සුබ සිද්ධිය වෙනුවෙන් දැනටමත් එකඟ වී ඇති හවුල් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවේ අවධාරණය කර සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර වශයෙන් තෘතීයික අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මය සේම කෘෂි පාදක නිෂ්පාදන කෙරෙහි ඔහුගේ අවදානය යොමු කරවීය.

සිය කැමැත්ත පරිදි තෝරා ගන්නා ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යත්ව ලාභීන්ට තවත් අවස්ථා සලසා දීමට ඉන්දියාව සූදානම් බව නව ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මෙහිදී කියා සිටියේය.

ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාවට අමතරව දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී මතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, COVID-19 වසංගතය නිසා උද්ගතව ඇති අභියෝග ජය ගැනීමට කලාපයේ රටවල් අතර අන්‍යොන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද පෙන්වා දුන් අතර ඊට නව ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එකඟ විය.

Advertiesment