එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන අනූ නව දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දු කළේය.
මේ බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කණ්ඩායම වෙත නිල වශයෙන් ලිඛිතව දැනුම් දී නිදහසට කරුණු විමසා සිටීමට ද, එම කණ්ඩායම එසේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා විනය කමිටුවක් පත් කර විනය පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ද කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ තීරණ ගනු ලැබුවේ එම පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් "සිරිකොත" පක්ෂ මූලස්ථානයේ දී සිකුරාදා (29) උදෑසන රැස් වූ අවස්ථාවේදීය.
මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ ආණ්ඩුව සමග එක්වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂය කිසිසේත් සූදානම් නොමැති අතර ඊට ව්‍යවස්ථානුකූල සහ නීතිමය පදනමක් ද නොමැති බවය.
Lanka Newsweek © 2021