Sunday 20th of September 2020

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුව මාස හයක් වසා තැබීම ව්‍යවස්ථා විරෝධීයි


2020-05-28 6637

සෞඛ්‍ය අධ්‍යක්ෂ නොකියා කියන්නේ පාර්ලිමේන්තුව අවශ්‍ය බවයි   

 

ජනපති කළ යුත්තේ පාර්ලිමේන්තුව දිනකට කැදවා යළි විසුරුවා මැතිවරණයකට දින නියම කිරිමයි

 

සෞඛ්‍ය අංශ මැතිවරණයට කොළ එළියක් දුන්නේ නැහැ

 

නිරෝධායන පනත ශක්තිමත් කිරිමට පාර්ලිමේන්තුව අවශ්‍යයි 


සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණය හමුවේ ලිඛිතව කරුණු දක්වමින් කියා තිබෙන්නේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බව විනා මහා මැතිවරණය පැවැත් විය හැකි බව නොවේ යැයි පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී බදාදා (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැහැදිලි කළේය. 

ඒ අනුව මැතිවරණය ක්‍රියාදාමය යනු ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, මැතිවරණ නිලධාරින් පත් කිරීම, ඡන්ද පොළවල් වැඩි කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සහ රජයේ නිලධාරින් බඳවා ගැනීම් ඇතුළු කටයුතු යැයි ද පෙන්වා දුන් හිටපු සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. 

මේ වන විට පාර්ලිමේන්තුව මාස 03ක් වසා දමලා. මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරලා තිබුණා මැතිවරණය පැවැත්වීමට නම් වෛද්‍යවරුන් සහතික කිරිමෙන් පසුව දින 75ක් අවශ්‍යයි කියා. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ.  විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වශයෙන් අපේ රටේ පාලන ක්‍රමයේ කුළුණු තුනක් තිබෙනවා.  ප්‍රජාතන්ත්‍රවාදී රටකට මේ අයුරින් මාස 6ක් පාර්ලිමේන්තුව වසා තබන්න හැකිද යන්න ගැටලුවක්. 

ඒ නිසා තමයි අද අධිකරණයේ මතය විමසන්නේ.  ව්‍යවස්ථාවට වග කියන ජනාධිපතිවරයා ජුනි 2ට පෙර පාර්ලිමේන්තුව කැඳ විය යුතුයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්නම් අධිකරණයට පාර්ලිමේන්තුව කැඳ විය හැකියි. එම නිසා තමයි අද අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ සම්බන්ධව.  අපේ රටේ ව්‍යවස්ථාවේ 4/c  වගන්තිය අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණවලට පවරලා තිබෙනවා.  

පුවත්පත්වල උසස් නීතිඥ මහත්වරු ප්‍රකාශ කරලා තිබුණා පාර්ලිමේන්තුව මැරිලා කියා. එතකොට පාර්ලිමේන්තුව මැරිලා නම් පාර්ලිමේන්තුව කොහොමද අධිකරණවලට උසාවි බලය දෙන්නේ..?  මොකද පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ අධිකරණ බලය උසාවිවලට පවරන්නේ. පාර්ලිමේන්තුව මැරිලා නැහැ. එය ජනාධිපතිවරයාට හෝ අධිකරණයට නැවත අවදිකළ හැකියි. මාස 6ක් පාර්ලිමේන්තුව නැහැ කියන්නේ ඒකාධිපති පාලනයකට අවතීර්ණ වෙනවා කියන එක. 

ඒ වගේම අද රජය කියනවා කොරෝනා ඉවරයි කියලා. ජනවාරි මාසයේ එක රෝගියෙක් සිටියේ නැහැ අප රටේ. නමුත් අද දහස ඉක්මවලා ගිහින්. රජය මොන පදනමකින්ද මේ තත්වය ඉවරයි කියන්නේ. අපි පෙබරවාරි මාසයේ යෝජනා කළා ගුවන්තොටුපළ වසා දමා රටම නිරෝධායනය කරන්න. එසේ කළා නම් අද එක රෝගියෙක්වත් අප රටේ නැහැ.  ඒ වගේම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයට දුන් ලිපිය පැහැදිලි කළා. ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කිරිම ගැන පමණයි. ඒ කියන්නේ ඡන්ද පොළ නියෝජිතයන්, මැතිවරණ නිලධාරින් පත් කිරීම, ඡන්ද පොළවල් වැඩි කිරිමට අවශ්‍ය කටයුතු, රජයේ නිලධාරින් බඳවා ගැනීම් යනාදි කටයුතු පමණයි.  ඔහු  පැහැදිලිව ප්‍රකාශ කරනවා කොරෝනා දෙවන රැල්ලක් ආවොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ කියා.  ඔහු මැතිවරණයට කොළ එලියක් දීලා නැහැ.  මැතිවරණය පැවැත්වීම පිළිබඳව පැහැදිලි නිගමනයක් තවම දීලා නැහැ.  

වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ එම වැඩසටහන මම නැරඹුවා. ඔහු එතනදී ප්‍රකාශ කරනවා නිරෝධායන පනත ශක්තිමත් කළ යුතුයි කියා. එයින් අදහස් කරන්නේ නව නීතිරීති අවශ්‍යයි කියා. නීති සම්පාදනයට වගේම  නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. ඔහු නොකියා කියනවා පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය. සමගි ජන බලවේගය මැතිවරණකට සූදානම්. නමුත් අසම්පූර්ණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා රට මැතිවරණයකට ඇද ගෙන ගිහින් මහා ව්‍යවසනයක් ඇති වුවහොත් රජය එයට වගකියන්න ඕන. 

අපේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මාස 03කට වඩා වසා තබන්න බැහැ. නීත්‍යානුකූලව ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ ජුනි 2ට පෙර පාර්ලිමේන්තුව නැවත වරක් කැඳවලා නිවේදනයක් මගින් නැවත විසුරුවා හැරලා මැතිවරණයකට දිනයක් නියම කරන්න. ඇත්තටම එයයි කළ යුත්තේ. එතුමාට ඕන විදිහට පාර්ලිමේන්තුව ඇද ගෙන යන්න බැහැ. මොන රටේද මාස 6ක් පාර්ලිමේන්තුව වසා තබන්නේ. අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමටයි.        

අපේ පක්ෂ නායකයන් ලිඛිතව දුන්නා පාර්ලිමේන්තුවට විස්වාස භංග යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ කියා. කොරෝනා මර්දනය කිරිමට ආණ්ඩුවට අවශ්‍ය සියලු මුදල් සම්මත කරලා දෙන්න ලිඛිතව පොරොන්දු වුණා. 

මැතිවරණ කොමසාරිස් පැවසූ පරිදි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගෙන මැතිවරණය පැවැත්වුවහොත් ඡන්ද පෝලිම කිලෝමීටර් එකකට වඩා දිගු වෙන්න පුළුවන්. ජනතාව පැය දෙකක් තුනක් පෝලීමේ ඉදලා ඡන්දය භාවිතා කරයිද..?  තව නිලධාරින් දෙගුණයක් යොදවන්න ඕන, වියදම දෙගුණ වෙනවා.  මේ කරුණු නොසලකා ඡන්දය තියන්න පුළුවන්ද..?  මේ ව්‍යවසනය සම්පූර්ණයෙන්ම නතරවීමෙන් පසු මැතිවරණය පැවැත්වුවා නම් රටට හොදයි. ඒකයි අපි කියන්නේ.  
 

Advertiesment