Saturday 26th of September 2020

English Tamil
Advertiesment


රනිල් කවුද-වැරදුණේ කොතැනද-ගොඩ යන්නම බැරිද..?


2020-05-26 2343

ඉදිරි දශකයේ දී එජාපයට අත් වන ඉරණම 

 

මිනිස්සු ඉල්ලන්නේ උගත් අහංකාරයින් නොවේ 

 

ප්‍රායෝගිකත්වය අවුන්සයක්වත් නැති හොන්ඩර ගණනක න්‍යාය කන්නද..?

 

නායකයාටයි-ගෝලයින්ටයි නොමැති සමාජ සංස්කෘතික ආභරණ 

 

ඉංග්‍රීසි ලාලසාව සහ සිංහල ශබ්ද බාහුල්‍යයේ දරිද්‍රතාව 

 

නායකයාගෙයි-අලස ගෝලයින්ගෙයි මනෝ ලෝකයේ සිර කරුවෙකු වූ එජාපය

 

වෙනස්වීම කෙරෙහි රනිල් දක්වන කුසීතකමේ තරම  

 

දේශපාලනය ගැන දනී-එහෙත් බලය ගැනීමට නොදනී 

 

බුදු බණ දනී-පිළි නොපදියි 

 

දැනුම ඇත-බෙදා ගැනීමක් නැත

 

මේ ලිපියවත් කියවා රනිල් මනුස්සයෙක් වුණොත් රට ගොඩය 

 

 
(දේශප්‍රිය නානායක්කාර)    

 

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් ප්‍රාමාණික දැනුමක් උපයා ගත්, සමස්ථ ලෝකයා ඉදිරියේ  ශ්‍රී ලාංකේය ජාතියට ගෞරවයක් ගෙන දෙන විවිධාකාරයෙන් ආදර්ශමත් සැබෑ දේශපාලනඥයෙකී. 

ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා පමණක් නොව ඔහු ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (International Democrat Union) කීර්තිමත් සාමාජිකයෙකු වන අතරම ඕස්ට්‍රේලියාව බංගලාදේශය, කැනඩාව, චීන තායිවානය, චිලී, එල් සැල්වදෝරය, ඉන්දියාව,ඉන්දුනීසියාව,දකුණු කොරියාව,මාලදිවයින මොන්ගෝලියාව නේපාලය, නවසීලන්තය සහ එක්සත් ජනපදය යන රටවල් 14ක් නියෝජනය වන ආසියා පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (The Asia Pacific Democrat Union (APDU) සභාපතිත්වයද දරනු ලබයි. 

එපමණක් නොව සමස්ථ පෘතුවි පුරවරයේම මහත් සේ පිළිගැනීමට ලක් වී ඇති "මැසචුසෙට්ස්" - කේම්බ්‍රිජ් හි පිහිටි පෞද්ගලික පර්යේෂණ විශ්ව විද්‍යාලයක් වන මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (Robert E. Wilhelm Fellow) අන්‍යෝන්‍ය දැනුම සහ පුහුණුව ලබා ගැනීම සඳහා කටයුතු කරන සාමාජිකයෙකි. එපමණක් ද නොව ඔහු ආර්ථික විද්‍යාඥයින්, දාර්ශනිකයන්, ඉතිහාසඥයින්, බුද්ධිමතුන් සහ ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ චින්තනයේ ප්‍රධාන එකමුතුවක් වන ස්විට්සර්ලන්තයේ "මොන්ට් පෙලරින්" සංගමයේද කීර්තිමත් සාමාජිකයෙකි.

එනමුත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නොගැළපෙන සිරිත් චාරිත්‍ර රාශියක සිර වී ඇති හෙයින්  රනිල් වික්‍රමසිංහ යනු ජන හද මන පුබුදුවාලන අසිරිමත් දේශපාලන චරිතයක් නොවේ යැයි ජන සමාජය පුරා වැපිරී පැතිරී ඇති මතයෙකි. ඔහුට දියුණු ජාතින්ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමේ හැකියාව 100%ක් ඇතත්, සිංහල ජන මනස සහ බෞද්ධ සිරිත් චාරිත්‍ර අවබොධ කර ගැනීමට සේම ඒ අනුව තම දේශපාලන සියත් බව නොහොත් ප්‍රති පුද්ගල විශේෂ භාෂණය  අභ්‍යාස කිරිම සම්බන්ධයෙන් ඔහු අපේක්ෂිත පමණට සමත් නැත.

එහෙත් ඔහු සතු දැනුම් සම්භාරය අනුව ඔහු කල්පනා කළ හොත් ඔහුට, ඔහුව වෙනස් කර ගැනිම සුළු අභියෝගයකි . නමුත් ඔහු උත්සාහ කරනුයේ ඔහුව වෙනස් කර ගැනිමේ  සුළු අභියෝගය පසෙක තබා ඒ වෙනුවට ශ්‍රී ලාංකේය මහා සමාජය වෙනස් කිරිමටය. බුදුන් වහන්සේට අනුව වෙනස් වීම පමණක්ම ස්ථීරය.එහෙත් රනිල් වික්‍රමසිංහයන් දේශපාලනය සහ තමන්ගේ චරිතය වෙනස්වීම කෙරෙහි දක්වනුයේ කුසීත ආකල්පයකී.

සිංහල මහා සමාජය වෙනස් කිරිමේ  රනිල් වික්‍රමසිංහගේ උත්සාහය වසර 20කට වැඩි කාළයක් ඇතුළත දී අසාර්ථක වී ඇත්තේ ඔහුගේ නොයෙක් විධ සංකල්ප හා සැබැඳුණු උත්සාහයන් සාම්ප්‍රදායික බෞද්ධ ජන සංස්කෘතිය හමුවේ පිළිගැනීමට ලක් නොවීමෙනී.අනෙක් අතට ඔහුගේ තීරණාත්මක දේශපාලන දුර්වලතාවය වී ඇත්තේ බලය  තහවුරු කර ගැනිමට ඔහු සහ ඔහුගේ අහංකාර අලස කණ්ඩායම දක්වන අසමත් බවයි. 

උක්ත දුර්වලතාවන් අවුරුදු 20 ක් තිස්සේම වරින්වර ඔප්පු වි ඇති හේතුවෙන් ඔහු මෙන්ම ඔහු වටා සිටින මිත්‍රයින් සහ ඉංග්‍රිසි භාෂණයේ ලාලසාවට ලැදි සිංහල භාෂාවේ ශබ්ද බාහුල්‍යය (Perissology) නොමැති අලස හිතවතුන් ප්‍රධානව  අනෙකුත්  සුළු පිරිස සිංහල බහුතරයේ පිළිගැනිමට ලක් වී නොමැත. දේශපාලනිකව අලස මිත්‍රයන් පක්ෂයට කිසි විටෙකත් යමක් එකතු කරන්නේ හෝ ප්‍රකාශ කරන්නේද නැත. “The lazy one says "Everything has been said and done, I have nothing to add.”

එම නිසා ඔහු කෙසේ වෙතත්, ඔහුගේ කණ්ඩායම ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ සාම්ප්‍රදායික මනෝ මූලික සිතුම් පැතූම් සහ ජන සංස්කෘතික සාරධර්ම හමුවේ සම්පූර්ණයෙන් දේශපාලනිකව අසාර්ථක වී ඇත. බෞද්ධාගම  සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධතාවයට දීර්ඝ ඉතිහාසයක් ඇත. බොහෝ විද්වතුන් බෞද්ධ සමාජයේ පදනම් ප්‍රජාතන්ත්‍රවාදී යැයි පිළි ගැනීමට පසුබට නොවන අතර මේ කාරණය පිළිබද රනිල් වික්‍රමසිංහගේ දැනුම පරික්ෂා කිරීමට රිසි නම් ඔහුගේ දේශපාලනය සහ ධර්මය කෘතිය කිය විය යුතුය. සැබවින්ම ඔහු මේ සියල්ල හොදින්ම අවබෝධ කර ගෙන ඇති බව ස්ථිරය. විසදුම පිළිබදව ඔහු අකර්මන්‍යය වී ඇත්තේ මක් නිසාද යැයි එක්සත් ජාතික පාක්ෂිකයාට ඇත්තේ දීර්ඝ කාලීන පසු තැවිල්ලකි .

උක්ත තීරණාත්මක දේශපාලන අසමත්කම් හේතුවෙන් අභිමානනීය එක්සත් ජාතික පක්ෂය සුළුතර පක්ෂයක් බවට පත් වී ඇති බවට වන භාවිකථනය සත්‍යයක් ම මිස කිසිම අයුරකින් අතිශෝක්තියක් නොවේ. ඩි.එස් - ඩඩ්ලි - ජේ.ආර් එක්සත් ජාතික පක්ෂය සිංහල ජනසමාජයේ පිළි ගැනීමට ලක් කිරිමට දරා ඇති උත්සාහය අති මහත් බව පක්ෂ ඉතිහාසය සහ ඔවුන්ගේ නොයෙක් විධ කෘතීන් සේම නොයෙක් විට රචිත ලේඛන කියවීමෙන් හොඳින්ම හෙළිදරව් වේ. එනමුත් රනිල් වික්‍රමසිංහයන් සහ ඔහුගේ “අලස මිත්‍රයන් ” ඔවුන්ගේ ලොකයේ එක්සත් ජාතික පක්ෂය හිර කර ගෙන සිටින බව පසුගිය දශක දෙකේ දී අවශ්‍ය  තරම් සාක්ෂි සහිතව ඔප්පු වී ඇති බව පියාපත් ලැබූ  ජන මතයකි. 

ප්‍රාග් ඉතිහාසගත සිංහල මහා සමාජයේ සිතුවිලි හඳුනා නොගෙන ඉංග්‍රිසි ප්‍රජාතන්ත්‍රවාදය (1215-1689 මැග්නා කාර්ටා සිට තේජාන්විත විප්ලවය දක්වා වූ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ) සමාජ ගත කිරිමට නොහැකි බව ඔහුගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ඔප්පු කර පෙන්වා ඇත්තේ මැතිවරණ 20 කට වැඩි ප්‍රමාණයක් පරාජය අත් පත් කර ගැනීමෙනී. ජේ.ආර් ජයවර්ධනයන්ගේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  සමානුපාතික නියෝජන ක්‍රමය නොවන්නට එක්සත් ජාතික පක්ෂයට පාර්ලි‌‌මේන්තු මැතිවරණයකදී මන්ත්‍රී ධුර 50ක් යනුද ඉතාමත් ගොරෝසු  ඉලක්කයකී.

ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවේ (2016) සඳහන් වි ඇත්තේ විහාරස්ථාන 12,205ක් ඇති මුත් නිවැරැදි දත්ත සහිත විහාරස්ථාන 9912 ක් ඇති බවයී. උපසම්පදා භික්ෂුන් වහන්සේලා 16,549 නමක්ද, සාමණේර ස්වාමින්වහන්සේලා 16,993 නමක්ද, වශයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමින් වහන්සේලා 33,538 නමක් වැඩ සිටින බවයි. මෙම විහාරස්ථානවලින් වැඩි කොටසක වැඩ සිටින භික්ෂුන් වහන්සේලා 20,000 කට වැඩි  සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහයන්ගේ දේශපාලන ස්වීයත්ව ව්‍යුහයට (political personality structure) ආකර්ෂණිය නැත. 

වෘත්තීය දේශපාලනඥයින් සහ පෞරුෂත්ව ව්‍යුහයන් පිළිබදව රචිත කෘති රාශියකි. රනිල් වික්‍රමසිංහ උක්ත පොත් පමණක් නොව ග්‍රන්ථ කතුවරුන්ද දැන හදුනන බව නිසැකය. බහුතර භික්ෂුන් වහන්සේලා රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ස්වීයත්ව ව්‍යුහයට ආකර්ෂණිය නොවුණත්, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ භික්ෂු විද්‍යා පීඨ ආදී නොයෙක් ශාසනික සේවාවන් වෙනුවෙන් කර ඔහු කර ඇති  දේශපාලන මැදිහත්වීම ප්‍රශංසනීය මෙන්ම ගරු කටයුතුය.

ඕනෑම ආගමක් කියවා මතකයෙන් උච්චාරණය කිරිමට වඩා ආගම්වල ක්‍රියාත්මක වන ඓතිහාසික සංස්කෘතික සිරිත් විරිත් සහ චාරිත්‍රවල හැසිරීම් රටාව ජන නායකයෙකු විසින් ප්‍රගුණ කර ගත යුතු සමාජීය සංස්කෘතික දේශපාලන ආභරණයකී. ආගමට දේශපාලනය කිසිදු සම්බන්ධයක් නැතැයි පවසන අය ආගම යනු කුමක්දැයි නොදනී. (Those who say religion has nothing to do with politics do not know what religion is. Mahatma Gandhi.)

රනිල් වික්‍රමසිංහයන් සහ ඔහුගේ ඉංග්‍රිසි කථා කිරීමේ ලාලසාව ඇති  සුළු පිරිස බහුතර රට වැසියන්ගේ ස්වදේශාභිමානය ආමන්ත්‍රණයට කිසිදු සමත් බවක් දක්වන්නේම නැත. ස්වදේශාභිමානය, දේශානුරාගය, සංස්කෘතික සිරිත් චාරිත්‍ර යනු වේදිකා දේශපාලනයේ ඉතාමත් වටිනා සමාජිය ආභරණයෝය. රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ අලස දේශපාලන මිත්‍රයන්ට උක්ත සමාජ සංස්කෘතික ආභරණ ඇත්තේම නැත. 

නමුත් රනිල් වික්‍රමසිංහට දේශානුරාගය සහ ස්වදේශාභිමානය පිළිබඳව විද්‍යාත්මක ස්වීය දැනුමක් ඇති අතර ඔහු විශ්වීය සමාජය පිළිබදව අවබෝධයෙන් කටයුතු කරනුයේ ජන සමාජය සමග නොව සිය පුද්ගලික සිතුවිලි සමග පමණක්මය.  ඔහුගේ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නගර සභා ආදී ආයතනවල ජනතා නියෝජිතයන් සමග ඔහු සිය දැනුම බෙදා නොගන්නා ආත්මාර්ථකාමීයෙකු යැයි සිතෙන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් යෝජනා පිළිබදව පවා ඔවුන් නිවැරදිව නොදන්නා හෙයිනි. 

ඔහු වටා සිටින සමාජ සංස්කෘතික බලය ඉදිරියේ ප්‍රායෝගික නොමැති (Impracticable) පුද්ගලයන් ඔහුගේ දේශපාලන ආලෝකයට මුවාවී සිටීම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අවාසනාවට හේතු වී ඇත. මේ හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සදාචාරය, හෘද සාක්ෂිය සහ සහභාගිත්වය දුර්වල වී ඇත. මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජීව ගුණය කඩාකප්පල් වී ඇත. පාක්ෂිකයන්ගේ සිත් සතන් නායකයින් විසින් නිරහංකාරව ප්‍රමුදිතව පවත්වා නඩත්තු කිරිමට සමත් විය යුත්තේ පාක්ෂිකයන්ගේ ජීව ගුණය යනු පක්ෂ සංවිධානයේ න්‍යෂ්ටික බලවේගය වන හෙයිනි.

නමුත් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කණ්ඩායමට ග්‍රාමීය බහුතර එක්සත් ජාතික පාක්ෂිකයන් මතක් වනුයේ මැතිවරණයකදීය. එම හේතුවෙන් පාක්ෂිකයන්ගේ දේශපාලන ජීව ගුණය දිය වී ඇත. ඕනෑම ජන සංස්කෘතියක දේශපාලනය නැමැති සිතුම් පැතුම්වල සිය පක්ෂයේ දෘෂ්ටිවාදය ක්‍රමවත්ව,සාරවත්ව සාම්ප්‍රදායික වටිනාකම් අනුව වැපිරීමට අසමත් නායකයින් ජන හදවතේ ජිවමාන වන්නේ නැත. සිංහල බෞද්ධ ජන සංස්කෘතිය කෙතරම් බලවත්දැයි අවබොධ වනුයේ "මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසුය"යැයි චිර ප්‍රසිද්ධ කියමන අනුවය. උක්ත කියමනෙන් පැහැදිළි වනුයේ සාමාජීය සාරධර්ම සහ සිරිත් චාරිත්‍රමය වටිනාකම් පිළිබඳව අපේ සමාජය දක්වන උනන්දුවයි.

වික්ටෝරියානු සදාචාරයේ කුළුණු මත පදනම් වී ඇතැයි උපකල්පනය කළ හැකි නාගරික ජන සමාජයට වඩා ග්‍රාමීය ජන පදනමේ බෞද්ධ උරුමයේ සාරධර්ම වික්ටෝරියානු සදාචාරයට වඩා පෞරාණිකත්වයයෙන් බලවත්ය. සිංහල බෞද්ධ උරුමයේ පොදු ආකල්ප, දේශපාලන සහ සමාජ සංස්කෘතික බලය  නිවැරැදිව අවබොධ කර ගැනීම නව්‍යකරණය හඳුන්වා දීමේදී ඉතා තීරණාත්මකය. 

ඓතිහාසික සම්ප්‍රදායන් ගුරු කර ගනිමින් වික්ටෝරියානු සදාචාරාත්මක සිරිත් චාරිත්‍ර සමග ඉවසීමෙන් ඒකාත්මික වී නිවැරැදි විද්‍යාත්මක කරුණු සමගින් වෙනස නොහොත් නව්‍යකරණයට අවශ්‍ය ජන මතය  ජන සමාජයේ සෑම ස්ථරයක් වෙතම නිපුණත්වයෙන් සංන්නීවේදනය කිරිමට දේශපාලන පක්ෂ සමත් විය යුතුය. සමාජ වෙනසක් යනු සමාජ ප්‍රගතිය හෝ සමාජ සංස්කෘතික පරිණාමය යන සංකල්පය, පරිණාමීය මාර්ගයෙන් සමාජය ඉදිරියට යන දාර්ශනික අදහස ය.

සමාජ සංවර්ධනය යනු ළමා කාලය සහ නව යොවුන් විය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ජීවිත කාලය පුරාම මිනිසුන් සමාජ සහ චිත්තවේගීය කුසලතා වර්ධනය කරන ආකාරයයි. සමාජ වෙනස සංස්කෘතික, ආගමික, ආර්ථික, විද්‍යාත්මක හෝ තාක්‍ෂණික බලවේග හරහා මෙහෙය විය හැකිය. වෙනස ප්‍රභව දෙකකින් පැමිණේ. එක් ප්‍රභවයක් වන්නේ දේශගුණය, කාලගුණය හෝ විශේෂිත පුද්ගලයින් සිටීම වැනි අහඹු හෝ අද්විතීය සාධක ය. තවත් ප්‍රභවයක් වන්නේ ක්‍රමානුකූල සාධක ය. 

ක්‍රමානුකුල සාධක මත ඉදිරිපත් කරන ලද රනිල් වික්‍රමසිංහයන්ගේ "යළි පුබුදුමු ශ්‍රී ලංකා" සහ "පංච විධ ක්‍රියාවලිය" අසාර්ථක වීමට හේතුව දේශපාලන සන්නිවේදනයේ බලවත් ඌනතාවයන් බව පිළිගත යුතුය. (Political communication(s) is a subfield of communication and political science that is concerned with how information spreads and influences politics and policy makers, the news media and citizens. ... The media acts as bridge between government and public.) - David L. Swanson and Dan Nimmo, also key members of this sub-discipline, define political communication as "the strategic use of communication to influence public knowledge, beliefs, and action on political matters."

දේශපාලනය පවුල කේන්ද්‍රියව ජන සංස්කෘතික සිතුම් පැතුම් පිබිදෙන සන්නිවේදන ක්‍රියා ජාලයකින් විවිධාකාරයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ ශ්‍රී ලාංකේය ගම්බිම් 36,822 ඇතුළත ගෘහ ඒකක 5,207,740ක මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් ජීවත්වන හෙයිනි. උක්ත ශ්‍රී ලාංකිකයන් ජන්ද පොළ වෙත ගෙන ඒමට කටයුතු කිරීම පක්ෂ සංවිධානයේ වගකීමකි. උක්ත වගකීම පසුගිය මැතිවරණ ගණනාවකදීම අපේක්ෂිත අයුරින් ඉටු නොවූයේ ප්‍රායෝගික නොවන පුද්ගලයන්ගේ මැදිහත්වීම හේතුවෙන් මිස පක්ෂයේ ස්වදේශාභිමානය, දේශානුරාගය සහ සංස්කෘතික සිරිත් චාරිත්‍ර පිළිබදව වූ ගැටලු හේතුවෙන් නොවේ. 

ප්‍රජාතාන්ත්‍රික සමාජයක ආවේනික ලක්ෂණ වනුයේ නොයෙකුත් අදහස් උදහස් සදහා පැවැත්මක් තිබීමයි. ප්‍රජාතන්ත්‍රවාදී බලයේ මරමස්ථාන වන පවුල්, ආගමික සංවිධාන, සංස්කෘතික සමිති, ක්‍රීඩා සමාජ, ආර්ථික ආයතන, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, ග්‍රාමීය සමිති, අසල්වාසීන්ගේ සමිති, ගෙවතු සමාජ, මානව හිමිකම් සංවිධාන, සංගීත කණ්ඩායම්, සාහිත්‍ය සමිති, ආදී සමිති එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන බවක් මහා සමාජයේ දක්නට නැත. 

19 සියවසේ විසු ඉංග්‍රීසි ජාතික නීතිය පිළිබද න්‍යාය වාදියෙකු වූ ජෝන් ඔස්ටින් (John Austin (legal philosopher) කලකිරුණු ජනතාව සහ දේශපාලනය පිළිබදව කරන ලද විග්‍රහය රනිල් වික‍්‍රමසිංහයන්ට අමතක වී ඇතැයි සිතිය නොහැක. සමාජය නිදහසේ සහ ප්‍රජාතාන්ත්‍රික ජීවන ක්‍රමයේ අරමුණු වෙතට තල්ලු කිරීම සදහා ස්වදේශාභිමානය ප්‍රඥාවන්ත ලෙස පාවිච්චි කිරීම සදහා මූලෝපායික වැඩ පිළිවෙළක් යනු දේශානුරාගය ඔප් නැංවිය හැකි ක්‍රමයකි.

ඩි.එස් සේනානායකයන් රචිත "ස්වදේශාභිමානය සහ කෘෂිර්මය" සේම ඩොනල්ඩ් ස්නොඩ්ග්‍රාස් රචිත (D.R. SNODGRASS) "නිදහසින් පසු විසි පස් වසරක ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය" (SRI LANKA’S ECONOMIC DEVELOPMENT DURING TWENTY FIVE YEARS OF INDIPENDENCE ) යන කෘති කියැවීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්වදේශාභිමානය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත හැකිය. 

එමෙන්ම ජේ.ආර් ජයවර්ධනයන්ගේ “Sermons of the Buddha”,  “ Buddhist Essays”  “Buddhism and Marxism”  යන කෘතී පරිශිලනය කිරිමෙන්ද, ජනාධිපති ලේඛනාගාරයේ ඇති 1957 ඔක්තෝම්බර් 05 වන දින සහකාර පොලිස් අධිකාරී D.S. සෙබස්තියන්ගේ වාර්ථාව කියැවීමෙන් ද, J.R. Jayawrdene Mss File 301 පිටු අංක 66 අධ්‍යනය කිරීමෙන් සහ රනිල් වික්‍රමසිංහයන්ගේ "දේශපාලනය හා ධර්මය" සේම "අනාගතය අභියොගය" යන ග්‍රන්ථ කියවිමෙන් ද එක්සත් ජාතික පක්ෂයේ ස්වදේශාභිමානය පිළිබඳව ඉතා තිව්‍රව අවබොධ වනු ඇත.

මගේ පුද්ගලික අදහස රනිල් වික්‍රමසිංහයන් තමාගේ සිරිත් විරිත් සහ චාරිත්‍ර ජන ආකර්ෂණීය ආකාරයට පුහුණු වී අභ්‍යාස කිරිමට තවදුරටත් අසමත් වීමෙන්, එක්සත් ජාතික පක්ෂය ඉදිරී දශකය පුරා බලවත් පසුබෑමකට ලක්වන බවයි. ඒ මක්නිසාද ‍යත්..! ගෝලීය මානව පවුලේ ඕනෑම ජන සමාජයක අපෙක්ෂාව වනුයේ තමන්ගේ ජීවිතවලට සමීප හිතවත්කමේ ජීව ගුණය සපිරී දේශපාලන නායකයන් මිස උගත්කම හෝ දැනුම පමණක් ඇති අහංකාර පුද්ගලයන් නොවන බවට ලිඛිත ලෝක දේශපාලන ඉතිහාසය සාක්ෂි දරනු ඇති හෙයිනි.

 


 

Advertiesment