Saturday 19th of September 2020

English Tamil
Advertiesment


එජාපයට එරෙහිව ආණ්ඩුව සජිත්-ජලනි බලය පෝෂණය කරන හැටි 


2020-05-21 6203

රජයට භාර දුන් කාර්යාලය කැබිනට් පත්‍රිකාවකින් යළි ගත්තේ මෙහෙමයි

 

කැබිනට් අනුමැතිය ලැබුණේ අප්‍රේල් දෙවැනි සතියේ  

 

ජන මාධ්‍යටත් තොරතුරු හංගලා 

 

 

කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරන ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාල ගොඩනැගිල්ල විපක්ෂ නායක නිල නිවස ලෙස නම් කරමින් එම නිවෙස හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යළි ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

රජය මේ පියවර ගෙන තිබෙන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් රාජ්‍ය අමාත්‍යවරුන් පදිංචිව සිටි නිල නිවෙස් යළිත් ඒ අයටම ලබා දීමට ගනු ලැබූ තීරණය යටතේම වේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන්ට ඒ අයගේ නිල නිවාස යළි ලබාදීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට විපක්ෂ නායක කාර්යාල ගොඩනැගිල්ල විපක්ෂ නායක නිල නිවස ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙත යළි  ලබාදීමේ යෝජනාවද ඇතුළත් කර ඇති අතර මේ වන විට ඊට අනුමැතිය ද හිමිව ඇත.

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් කර තිබූ ඉල්ලීම මත රජය විසින් කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරන ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාල ගොඩනැගිල්ල විපක්ෂ නායක නිල නිවස ලෙස නම් කර ඔහු වෙත ලබා දී ඇත්තේ 2020 අප්‍රේල් මස දෙවෙනි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගිනි.

මේ ගොඩනැගිල්ල පසුගිය කාලය පුරාම විපක්ෂ නායක කාර්යාලය ලෙස භාවිත කළ අතර 2013 අග භාගයේදි විපක්ෂ නායක කාර්යාලය එම ගොඩනැගිල්ල සංවර්ධනය කිරිමට ද පියවර ගෙන තිබිණ. අනතුරුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ලෙස පත් වූ පසු ඔහුට විපක්ෂ නායක නිල නිවස ලෙස කොළඹ, ජාවත්ත ප්‍රදේශයෙන් රජයේ නිවාසයක් ලබා දී තිබුණි.

විපක්ෂ නායක කාර්යලය විපක්ෂ නායක නිල නිවස ලෙස නම් කර ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට භාවිතා කළ ද, එම ගොඩනැගිල්ල තවමත් භාවිතා වන්නේ කාර්යාලයක් ලෙස වන අතර පාර්ලිමේන්තුවෙන් මෙම නිල නිවස වෙනුවෙන් කුලි ගෙවන්නේ විපක්ෂ නායකට වෙන් කළ වැය ශිර්ෂයේ මුදලිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 2020 මාර්තු 03 වන දින සජිත් ප්‍රේමදාස මහතා විසින් විශාල මාධ්‍ය ප්‍රචාරයක් ද ලබා ගනිමින් විපක්ෂ නායක කාර්යාලයේ යතුර විපක්ෂ නායක ලේකම්වරයාට භාර දුන්නේ තව දුරටත් ඔහු විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි නොකරන බව පෙන්වමිනි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා විශේෂයෙන් අවධාරණය කර සිටියේ රාජ්‍ය දේපොළක් වන විපක්ෂ නායක කාර්යාලය මැතිවරණ සමයේ සිය දේශපාලන වැඩ කටයුතු වෙනුවෙන් යොදා ගෙන රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීමට තමා සූදානම් නොමැති බවය.

කෙසේ නමුත් පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡා ඇතුළු දේශපාලන වැඩ කටයුතු විපක්ෂ නායක කාර්යාලයේ සිට යළි ඇරඹු අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ මාධ්‍ය අංශයෙන් ජන මාධ්‍යවේදීන් කළ විමසීමේදි කියා සිටියේ රජයට මුදල් ගෙවා මාධ්‍ය හමු පැවැත්වීමට කාර්යාලය ලබා ගත් බවය. 

රජයට භාර දුන් කාර්යාලයක් නැවත මුදල් ගෙවා ලබා ගත නොහැකි අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තිබිය යුතුය. මේ අනුව පැහැදිළි වන්නේ සජිත් ප්‍රේමදාස මහතා රටට ජනතාවට සේම ජන මාධ්‍යයටත් බොරු කරමින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමේ රජයේ කුමන්ත්‍රණයේ නිරතවී සිටින බව යැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.

 


 

Advertiesment